Pages

Saturday, January 28, 2012

මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද

සිංහල සරල ගීතය ඒකාකාරී පේ‍්‍රම අඳෙීනා වලින් පිරෙමින් පවතිද්දී අතරින් පතර හෝ මේ ඒකාකාරිත්වය බිඳෙන නිර්මාණයක් අසන්නට ලැබීම ඉඩෝරයට පොද වැස්සක් හා සමානය.

නුවන් ලියනගේ නම් වූ පද රචකයා ගේ මේ නිර්මාණය වරක් ඇසු සැණින් ම එහි අන්තර්ගත නැවුම් අනුභූතිය අසන්නා තුළ ප්‍රබෝධයක් ඇති කරවයි. ඒ අනුභූතිය මනොඥ පද මාලාවක දැවටී මියුරු සංගීතයක වේලි සුමියුරු හඬක පැටලී ගලා එන විට එය සුමධුර ගීයක් බවට පත්වේ. කලාතුරකින් මුණ ගැසෙන ඒ වාසනා ගුණය මේ ගීතය තුළ පවතී.

එක්තරා යුවතියක ගේ නැවුම් පේ‍්‍රම ප්‍රාර්ථනා නොසිතූ විරූ අභාග්‍යයකට ගොදුරු වන ආකාරය මේ පද මාලාව තුළ උපේක්ෂාවෙන් හා සංයමයෙන් නිරූපණය වෙයි.

රචකයා ස්වභාවධර්මයේ සිද්ධාන්ත කීපයක් තම රචනය ආරම්භයේ දී භාවිත කරයි. වැස්සෙන් පොළව තෙමෙයි. එහෙත් පොළව තෙමෙන්නෙ වැස්සෙන් පමණක් නොවේ. අහසේ තරු දිලෙයි.

එහෙත් තරු දිලෙන්නේ රාත්‍රියේ පමණක් නොවේ. කුරුල්ලෝ ගී ගයති. එහෙත් ගී ගයන්නේ කුරුල්ලන් පමණක් නොවේ. ඇය තරුණයකුට පෙම් කරයි. එහෙත් ඒ තරුණයා පෙම් කරන්නේ ඇයට පමණක් නොවේ. අභාග්‍යය හා ඛේදවාචකය ඇරැඹෙන්නේ එතැන් සිටයි.


වැසි දිය මහ බිම තෙමුවට

බිම තෙමන්නෙ වැහි විතර ද

රෑ අහසේ තරු තිබුණට

තරු තියෙන්නෙ රෑ විතර ද

විහඟුන් පෙම් ගී ගැයුවට

ගී කියන්නෙ උන් විතර ද

මට නුඹ විතරක් උනාට

නුඹට ඉන්නෙ මං විතර ද...?

මේ පද රචනයේ නිර්මාණශීලී බව රැඳෙන්නේ මේ යෞවනිය ගේ හෝ ගැහැනියගේ උපේක්ෂා සහගත බව පද රචනයෙන් මතුවීම තුළිනි. පේ‍්‍රමය තුළ බොහෝ විට ගැබ් වන්නේ ආත්මාර්ථයයි. තමා ආලය කරන තැනැත්තා හෝ තැනැත්තිය තමාගේ පමණක් කරගැනීමට ඇතිවන සිතුවිල්ල එබඳු යුක්තිසහගත ආත්මාර්ථකාමී සිතුවිල්ලකි. මේ තැනැත්තිය තුළත් එබඳු සිතුවිල්ලක් හටගත්ත ද ඇය පරාජිත බවට පත්වන්නේ තමන් ආලය කරන තැනැත්තාට තව පෙම් සබඳතා කීපයක් ම පැවතීම හේතුවෙනි. එහෙත් ඇය ප්‍රකෝපයට පත් නොවේ. ඒ බලාපොරොත්තු කඩවීම නිහඬ ව දරා ගනී.

“මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද?”

මේ ප්‍රකාශය අතිශයින් නිවුණු උපේක්ෂා සහගත ප්‍රකාශයකි. ඇය මේ තැනැත්තා දෙස බලන්නේ වෛරයෙන් තොර වූ ආකල්පයකිනි. ඇයට ජීවිතය වැරැදී ඇති බව හොඳින් දැනෙද්දී පවා ඇය ඔහුගෙන් වෙන් ව යාමට උත්සාහ නොකරන්නී ය. එහෙත් තම චිත්ත පීඩාව ඔහුට හෙළිදරව් කරන්නට තැත් කරන්නී ය.

“රෝස පතක කවි ලීවේ

සුවඳ දිදී තියාගන්න

මේ විදිහට ගී ගැයුවේ

ඉන්න තැනකදී ඇහෙන්න”

සිත වේදනාවෙන් පිරී ගිය ද ඇය කවි ලියන්නේ පතොක් පතක නොව රෝස පතකයි. එය ඇගේ නිර්මලත්වයේ සංකේතයකි. ඒ නිර්මලත්වයේ සුවඳ ඇය ඔහුට පුද කළ ද ඔහුගෙන් නිර්මල පේ‍්‍රමයක් ඇයට නොලැබේ. ඒ නිසාම ඔහුට ඉන්න තැනකදී ඇසෙන්නට දුක් ගීයක ගයා ඈ නිහඬ වෙයි. යසෝදරාව තුළ පැවති උපේක්ෂා සහගත ගුණය ඇය ප්‍රදර්ශනය කරයි. තමා සහ දරුවා හැර දමා ගිය සිද්ධාර්ථයන්ට ඇය වෛර නොකළ බව ජනකවියා ප්‍රදර්ශනය කරයි.

“කැලේ තිබෙන කොයි දේවත් රස වේවා

මලේ බමරු මෙන් පිරිවර වැඩි වේවා

අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා

ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා
(යසෝදරාවත - ජනකවි)

ඇය පේ‍්‍රම කර ඇත්තේ සමාජය තුළ ජනපි‍්‍රය චරිතයකටයි. ඒ පේ‍්‍රමය මල්ඵල ගැන්වුණු විට ඇය ප්‍රාර්ථනා කරනු ලැබූයේ උස අත්තක මලක් වීමටයි.

ඈ තුළ අහස උසට තිබු ආදරබර ප්‍රාර්ථනා ඒ මඟින් ප්‍රකාශිත වේ.

“උස අත්තක මලක් උනේ

ගව් ගණනක් උඩින් ඉන්න

අවසානේ උරුම උනේ

මල් පොකුරක එකක් වෙන්න

එහෙත් ඇගේ උරුමය අවාසනාවන්ත ය. ඈට සිදුවන්නේ ඔහුගේ පෙම්වතියන් අතර තවත් එක පෙම්වතියක් වීමට පමණි.

“අවසානේ උරුම උනේ

මල් පොකුරක එකක් වෙන්න...



එහෙත් ඒ උරුමය දුකින් වුවද ඇය බාර ගැනීම පද මාලාවේ විශේෂත්වයයි.

තවත් අතකින් මේ ගීතයේ පතුළෙන් නිහඬ ආයාචනාවක් ද ඉස්මතු වෙයි. එනම් තමා ව මල් පොකුරක තවත් එක් මලක් බවට පත් නොකරන ලෙසයි.

රෝහණ වීරසිංහයන් ගේ සංගීතය මෙහිදී සුවිශේෂ මෙහෙවරක් ඉටුකරයි. වැසි දිය මහ පොළවට වැටෙන රිද්මය පවා එහි අන්තර්ගත ය.

සිංහල ගීතය වල් බිහිවෙන සමයක මෙබඳු අපූරු පදමාලා සහ ගායනා පැවතීම පමණක් නොව මේ නිර්මාණ රස විඳීමට රසික පිරිසක් සිටීම ද සතුටට කරුණකි.

මෑත දිනක මට පාසල් සිසුවියක ගී පද මාලා කීපයක්ම ප්‍රදානය කොට ඒවා තත්සර ඇසුරට ලියන ලෙස ඉල්ලා සිටියා ය. පාසල් සිසුවියක “තත්සර ඇසුර” ඇසුරු කිරීම ගැන මම සතුටට පත් වෙමි.

ඒ හෙට දවස පිළිබඳ සුබ ලකුණු ය. මෙහිදී බිංගිරිය මහා විද්‍යාලයේ මල්ෂා රෝෂිණී මධුවන්ති සිසුවියට මා ස්තුති කරන්නේ ඇය මට එකතු කර දුන් පදමාලා අතර මේ පද මාලාව ද පැවතීම නිසා ය.

ආදරය පරාර්ථකාමී විය යුතු ද? යන්න තවදුරටත් සාකච්ඡා කළ යුතුය. එහෙත් උස අත්තක මලක් වන්නට තැත් කරන කිසිදු තැනැත්තියකට මෙවන් ඉරණමක් උරුම නොවේවායි පතමින් නවතිමි.

ධම්මික බණ්ඩාර - Silumina