Pages

Saturday, January 07, 2012

ස්‌මාරකයෙන් පලිගැනීම

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විරු සිසු ස්‌මාරකය කඩා දමා තිබිණි. ඒ බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙනි. පසුගිය බ්‍රහස්‌පතින්දා වාර්තා වූ මේ නිහීන සිද්ධිය මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් "අ" යන්නවත් ලියන්න හුරු වූ ඕනෑම සංවේදී මනුෂ්‍යයෙක්‌ තුළ දවා හළු කරවන තරමේ ආවේගයක්‌ උපදවනු ලැබීය. එම කලකිරීම මුසු වේදනාවට සාධාරණ හේතු තිබිණි.

ශික්‌ෂිත මිනිස්‌සු ජීවත්වන මිනිස්‌සුන්ටත් වඩා මියගිය මිනිස්‌සුන්ට ගරු කරති. එබඳු සමාජයක මිනීමරුවකු, ස්‌ත්‍රී දූෂකයකු හෝ මංපහරන්නකුගේ සොහොනකට වුවද ගෞරවනීය වටිනාකමක්‌ තිබේ. එබැවින් ස්‌වකීය සංකල්ප ප්‍රකාරව ශුද්ධ වූ යෑයි අදහනු ලබන අරමුණු වෙනුවෙන් සටන් කරන්නට ගොස්‌ මරා දැමූ මිනිස්‌සුන් උදෙසා ආධ්‍යාත්මික වටිනාකම් සහිතව ඉදිවන ස්‌මාරක සිල්ලර දේශපාලන ගනුදෙනු වෙනුවෙන් කඩා කුඩුකර දමන්නට ශික්‌ෂිත මිනිස්‌සුන් පෙළඹෙන්නේ නැත.

කඩා දැමූ විරු සිසු ස්‌මාරකය නිර්මාණය වන්නේ නිදහස්‌ අධ්‍යාපනය ඇරැඹුණ දා සිට එහි අයිතීන් වෙනුවෙන් සටන් කරන්නට ගොස්‌ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිද්ධ වූ ශිෂ්‍ය සටන්කාමීන්ගේ ආත්ම පරිත්‍යාගයන්හි ජීවී සංකේතය ලෙසය. ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ දේශපාලනයෙන් වියුක්‌තව කොතැනකවත් බිහි වන්නේ නැත. එබැවින්ම විරු සිසු ස්‌මාරකය නිර්මාණය කිරීමේ අදහස දේශපාලනිකය. එහෙත් ඒ දේශපාලන රාමුවෙන් පිටතට විහිදී ගිය පුළුල් සමාජයීය අරුතක්‌ එහි ගැබ්වී තිබිණි.


විරු සිසු ස්‌මාරකය

මෙබඳු ස්‌මාරකයක්‌ නිර්මාණය කිරීම පිළිබඳ අදහස සංවාදයට ලක්‌වන්නේ මින් දශක දෙකහමාරකට පමණ ඉහතදීය. ඒ වර්ෂ 1987 මැයි පළමුවැනිදා පැවැති මැයි දින පෙළපාලියේදී කිත්සිරිමෙවන් රණවකට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමගය. මරා දැමෙනවිට කිත්සිරි ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයෙකි.

ඒ නින්දිත මිනීමැරුම රටම කම්පාවට පත් කළේය. එම කම්පනය සරසවිය තුළ තීව්‍රව පැතිරිණි. කිත්සිරිමෙවන් රණවක අනුස්‌මරණ කමිටුව නම් කමිටුවක්‌ ජයවර්ධනපුර සරසවියේ බිහිවූයේ ඒ පසුබිමේදීය. ඔහුගේ පිළිරුවක්‌ සරසවි භූමිය තුළ ඉදිකිරීම සඳහා අදහසක්‌ මේ වන විට ඇති වී තිබිණි.

අනතුරුව එළැඹියේ 88-89 භීෂණ කාලයයි. ඒ වකවානුව තුළ කිත්සිරිමෙවන් රණවකලා බුරුතුපිටින් ඝාතනය වී මහ මඟ පුළුස්‌සා දැමිනි. ඒ අත්දැකීම් සමග රණවක අනුස්‌මරණ කමිටුව විරු සිසු අනුස්‌මරණ පදනම බවට පත්විය. එම පදනම විරු සිසු ස්‌මාරකයක්‌ නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඒ නිදහස්‌ අධ්‍යාපනය 

ඇරැඹුණු දා සිට එහි අයිතීන් ආරක්‍ෂා කරගනු සඳහා ජීවිතය පූජා කළ සමස්‌ත විරු ශිෂ්‍ය ප්‍රජාවටම උපහාර දැක්‌වීමේ පුළුල් අරුත සහිතවය.

ස්‌මාරකය සඳහා ශිෂ්‍යයෝ මුදල් සෙවූහ. ප්‍රවීණ මූර්ති ශිල්පී ප්‍රභාත් විඡේසේකරයෝ එම ස්‌මාරකය නිර්මාණය කළහ. ඒ වර්ෂ 1992 දීය.

ස්‌මාරකය බිඳ දැමීම

ස්‌මාරකයට මුල්ම ප්‍රහාරය එල්ල වන්නේ වර්ෂ 2002 දීය. එවකට ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිවරයා වූයේ සෙනෙවි එපිටවත්තය. එදවස මෙම ස්‌මාරකය කඩා ජීප් රථයකින් බිම දිගේ ඇදගෙන ගොස්‌ විජයාරාම හන්දියේ දැමීමෙන් අනතුරුව එහි සිරස කුඩුකර මුට්‌ටියක්‌ ඔබා තිබිණි. එම සිදුවීම වන්නේ ජයවර්ධනපුර සරසවි භූමිය තුළම ඩී. වී. සමන්ත ඝාතනය කිරීමත් සමගය.

එසේ කඩා දැමුණු ස්‌මාරකය ශිෂ්‍යයන්ගේම මුදලින් යළිත් පිළිසකර විය. අනතුරුව වර්ෂ 2008 දී එය නැවත වරක්‌ විවෘත විණි. පසුගිය සිකුරාදා යළිත් මේ ස්‌මාරකය කඩා දමා තිබුණේය. මෙවර ඒ කටයුත්ත කර තිබුණේ බෝම්බ ගැසීමෙනි.

වාර්තාවන ආකාරයට එම බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේ පසුගිය බ්‍රහස්‌පතින්දා අලුයම 2.55 ට පමණය. බෝම්බ පිපිරී යන ශබ්දය නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යයන්ට ඇසී තිබිණි. පිපිරීමෙන් හානි වී තිබුණේ ප්‍රතිමාවේ එක්‌ පැත්තකට පමණය. හරියට ඉලක්‌කගතව එල්ලවී නම් කුඩුවී යා හැකිව තිබූ නමුදු බෝම්බය ප්‍රතිමාව අසලින් ලිස්‌සාගොස්‌ පිපිරී තිබුණේය.

ශිෂ්‍ය සංගම් අක්‍රිය කර ඇති ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත, භික්‍ෂු සංගමයේ සභාපති කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන්ට අනුව සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය.

ශිෂ්‍ය සංගම්වල අදහස

බෝම්බය පිපිරී ඇත්තේ පාන්දර 2.55 ටය. එම ශබ්දය ඇසුණු වහාම නේවාසිකාගාර ශිෂ්‍යයන් උන්වහන්සේ අමතා තිබේ. කතාව චන්දානන්ද හිමියන්ගේම වචනයෙන් මෙසේය.

"සිද්ධිය සැල වූ වහාම මම විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශයට කතා කළා. ඒ වෙනකොට ඒ අයත් මේ සද්දෙ මොකක්‌ද කියලා බලනවා. මේ වෙලාවෙ පුළුවන් ඉක්‌මනින් මම විශ්වවිද්‍යාල භූමියට ආවා. එතකොට පාන්දර 3.30 යි. සිකියුරිටි එකෙන් කිව්වා බෝම්බයක්‌ ගහලා කියලා. ස්‌මාරකය ළඟට ගිහින් බලනකොට ඒකෙ කොටසක්‌ විනාශ වෙලා.

මං ඒ වෙලාවෙ ඉඳලා පොලිසියට කතා කරන්න ගත්තා. 119 ගැහුවා. ඒත් මේ මිනිස්‌සු කිසිම ප්‍රතිචාරයක්‌ නෑ. මේ අතරෙ තමයි දැක්‌කෙ උපකුලපතිවරයට හිතවත් එක්‌තරා පුද්ගලික ආරක්‍ෂක ආයතනයක දෙන්නෙක්‌ මෝටර් සයිකල්වල නැඟලා ගේට්‌ටුව පැත්තට එනවා. අපි ඇහුවා ඒ අයගෙන් ඒගොල්ල කවුද කියලා.

මේ මිනිස්‌සු අපෙන් අහන්න ගත්තා එතකොට තමුන්ලා කවුද අපෙන් මෙහෙම අහන්න. අපි දෙන්නා මේජර්ලා. අපි ආවෙ සිද්ධිය ගැන පරීක්‍ෂා කරන්න කියලා. මේ මිනිස්‌සු හැසිරුණු විදිහ විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශය දැක්‌කා.

සරසවිවල ආරක්‍ෂාවට ආරක්‍ෂක අංශයක්‌ තියනවා. හැම එකාටම ඒව ඇතුළට රිංගාගෙන අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න එන එක ඉතාම සැක සහිතයි. මුලින්ම අපිට මේ මිනිස්‌සු මෙතනින් ඉවත් කරගන්න වෙහෙසක්‌ දරන්න සිද්ධ වුණා.

මේ වෙනකොට මම පොලිසියට අට පාරකට වඩා කතා කරලා ඉවරයි. මම අන්තිමට මේ අයට කිව්වා පිපිරිලා තියෙන්නෙ බෝම්බයක්‌. පුළුවන් තරම් ඉක්‌මණට එන්න. ළමයින්ගේ ජීවිතත් තියෙන්නෙ අනතුරේ කියලා. ඒත් පොලිසිය එනකොට සිද්ධිය වෙලා පැය දෙකකටත් වැඩියි. හරියටම 4.40 යි.

මේ බාල වැඩේට උපකුලපතිවරයා වගකිවයුතුයි. මොහු මේ ගැන මීට පෙර අපට අනතුරු අඟවා තිබුණා. පසුගිය නොවැම්බර් 23 දා අපේ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයට සීල් තිබ්බා. පහුවදා වෙනකොට සම්ගම් කාර්යාලෙ ගහලා තිබ්බ එක විරු සිසු ඡායාරූපයක්‌වත් නෑ. ඔක්‌කොම අරන් ගිහින්. ඊළඟට අයින් කරන්නේ මේ ස්‌මාරකේ කියලා උපකුලපති පැහැදිලිවම කිව්වා.

දැන් මේ අපරාදෙ අපි පිට දානවා. අපි සැලසුම් සහගතව මේක කළාලු. නැත්නම් උදේ වෙනකොට කළු කොඩි දාලා පෝස්‌ටර් දාලා උද්ඝෝෂණ කරන්න බැරි ලු. 

මේ කියන තත්ත්වය ඉතාම අවිනිශ්චිතයි. ශිෂ්‍යයන් විදිහට අපට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ විරෝධය දක්‌වන්න විතරයි. ඒ නිසා ඕනෑම අවස්‌ථාවක විරෝධතා ව්‍යාපාරයක්‌ සංවිධානය කරන්න තරම් සංවිධාන ශක්‌තියක්‌ සහිතවයි අප ඉන්නෙ.

ඒ සංවිධාන ශක්‌තිය තමයි අපි බ්‍රහස්‌පතින්දා පෙන්නුවේ. ශිෂ්‍යයන්ගේ ජීවිත පවා අවදානම් සහිතවන වටපිටාවකදී අපි දැනුවත් කළ යුතු අංශවලට දන්වලා විරෝධතා ව්‍යාපාරයක්‌ හා පාගමනක්‌ සංවිධානය කළා. සාමකාමීව අපේ විරෝධය දැක්‌වූවා. මේ අපරාදෙ කරුණා කරලා අපි පිට පටවලා අතහෝදගන්නෙ නැතිව හරි පරීක්‍ෂණයක්‌ කරන්න."

උප කුලපති කියන කතාව 

ශිෂ්‍යයෝ එසේ කියන විට බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ ආණ්‌ඩුවේ රූපවාහිනි චැනලයකට ගිය උපකුලපති එන්. එල්. වී. කේ. කරුණාරත්න මේ ප්‍රහාරය ජනතා විමුක්‌ති පෙරමුණ හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය එක්‌ව ශිෂ්‍යයන් කුපිත කිරීම සඳහා කළ දුර්දාන්ත ක්‍රියාවක්‌ බව ප්‍රකාශ කළේය.

ඔහුට අනුව මේ ප්‍රහාරය පසුපස සිටින්නේ ජ.වි.පෙ. කැරලිකාර කණ්‌ඩායමය. මේ එළිදැක ඇත්තේ එම කැරලිකාර කණ්‌ඩායම සරසවිවල බලය අල්ලාගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයකි. පසුගිය දින කීපය තුළම ඔවුන් හැමෝටම රහසින් පන්ති පවත්වා ඇත. එසේ පන්ති පවත්වා ඇත්තේ "ජන ශූන්‍ය" ප්‍රදේශවලය.

තවද අවශ්‍ය නම් මේ ප්‍රතිමාව ඉදිකිරීම හා විවෘත කිරීම නවත්වා දමන්නට තමන්ට හැකිව තිබූ බවත් ඊට මෙබඳු ප්‍රහාර එල්ල කරවීමට උපකුලපතිවරයා ලෙස තමුන්ට කිසිම වුවමනාවක්‌ නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර මෙම බෝම්බ ප්‍රහාරයට ජනතා විමුක්‌ති පෙරමුණ හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය සෘජුවම වගකිවයුතු බවට තහවුරු වී ඇතැයි ආණ්‌ඩුවේ මාධ්‍ය ප්‍රකාශ කළේය. එහෙත් සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණය කරනු ලබන නිලධාරීන්ට අනුව මේ ලිපිය ලියෑවෙන මොහොත වන විටත් පරීක්‍ෂණ පවත්වන්නේ නිගමනයකට එළඹිය නොහැකි මූලික අදියරේය.

පාලක සභාවේ අදහස්‌

ජයවර්ධනපුර සරසවියේ පාලක සභාව හොබවනා මැදහත් විද්වතුන් නිර්මාණය වී ඇති තත්ත්වය විග්‍රහ කරන්නේ වෙනස්‌ම කෝණයකිනි. ඔවුන්ට අනුව මේ සිටින්නේ තරුණ ශිෂ්‍යයන්ය. ශිෂ්‍යයන් මේ තරම් ආවේගශීලී තැනකට පත් කිරීමේ වගකීම දැරිය යුතු වන්නේ උපකුලපතිවරයාය.

උප කුලපතිවරයා යළිත් සරසවියට පැමිණෙන්නේ මීට දෙමසකට එපිටදීය. එහිදී ශිෂ්‍ය සංගම් අහෝසි නොකරන ලෙසත් ශිෂ්‍යයන්ගේ හැඟීම් හා ආකල්ප තේරුම් ගන්නා ලෙසත්, වේවැලක්‌ අතින් ගත් විදුහල්පතිවරයෙක්‌ ලෙස කටයුතු නොකරන ලෙසත් පාලක සභාවෙන් යෝජනා කෙරිණි. එහෙත් එය පිළිගැනීමට තරම් හික්‌මීමක්‌ ඔහු තුළ නොමැති බව ඔවුන්ගේ විශ්වාසයයි.

සියල්ල හරහා එළිදැක ඇත්තේ විලි ලැඡ්ජා නැති දේශපාලන වියරුවකින් උපදිනා තුට්‌ටු දෙකේ බලු පොරයකි. උපකුලපතිවරයාගේ කතා තුළ ගැබ්ව ඇත්තේ පදනම් රහිත හිතළු හා දේශපාලනිකව උපන් ද්වේශයකි. ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ සමහර කතා තුළ පිළිගත හැකි විශ්වසනීයත්වයක්‌ නැත. එළිපිටම හිරිකිතයකින් තොරව සිදුවන මෙබඳු තුට්‌ටු දෙකේ කුලල් කා ගැනීම් සරසවියකට නොව, රෙදි ඉස්‌කෝලයකටවත් උචිත වන්නේදැයි නොදනිමු.

සියල්ල හරහා සිදුවන්නේ රටේ යථාර්ථය ගැන ප්‍රකාශනයකි. ඇමැතිවරු හැසිරෙන්නේ දේශපාලන අයි.ආර්.සී. කාරයන් ලෙසිනි. එම ඇමැතිවරු ස්‌වකීය අත නුපුළුස්‌සාගෙන කොස්‌ඇට බාවාගත හැකි පිස්‌සු පූසන් බවට විශ්වවිද්‍යාල උපකුලපතිවරු පත් කරගෙන සිටිති. අශිෂ්ඨත්වයේ සිව් කොණ යළි යළිත් සලකුණු වන විට ඒ සීමාව තුළ නොවිය හැකි දුර්දාන්තයක්‌ නැත.

අප ජීවත්වන්නේ එහෙව් රටකය.

ජානක ලියනආරච්චි - Sunday Divaina