Pages

Sunday, November 06, 2011

දෙනෝදහක් අත ගත්තද සැමියකු නැති ළඳුනේ

රන්බණ්ඩා සෙනෙවිරත්නයන් බොහෝ ගීත රචනා කොට නොමැත. එහෙත් ඔහුගේ ගීත අතළොස්ස තුළ අපූර්වතම ගේය පද රචනා රාශියක් පවතී. ප්‍රථමයෙන් පුවත්පතකට ලියූ කවියක් ලෙසින් එළි දුටු ‘ළඳුනේ’ නමැති ප්‍රශස්ත නිර්මාණය ඒ සඳහා වටිනා නිදසුනකි.

ලොව පැරණිතම වෘත්තිය ලෙසින් ගණිකා වෘත්තිය හැඳින්වීම වරදක් නොවේ. භාරතයේ එය පිළිගත් ස්වයං රැකියාවකි. බුදුන් දවස අම්බපාලී නම් වූ ගණිකාවක ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. කාතෝලික ආගම තුළ මග්දලාවේ මරියා නැමැති ගණිකාවක ගැන කියැවේ. කණවේර ජාතකයේ හමුවන ‘සාමා’ ගේ චරිතය රජ, සිටු මැතිවරුන්ගේ ගෞරවයට පත්වූ ගණිකාවකි. මේ සෑම කතාවස්තුවකදීම ගණිකාවන්ගේ චරිත අවසානයේ අනුකම්පාවට හසුකොට තිබේ.

මා දන්නා පරිදි රංබණ්ඩා සෙනෙවිරත්නයන්ට මේ නිර්මාණය සඳහා පාදක වන්නේ අපූර්ව සංසිද්ධියකි. මහනුවර නගරයේදී ඔහුට එක්තරා මිත්‍රයකු මහමඟ ගමන් කරන තරුණියක පෙන්වා ඈ ගැන විස්තරයක් කරයි.

වලව්වක කුමාරිහාමියක වූ ඈ හිතුවක්කාර විවාහයක් කරගැනීම නිසා නිවසෙන් ප්‍රතික්ෂේප කර තිබේ. පසුකලෙක සැමියා ද අහිමි වීම නිසා ඇය ගණිකාවක වූ බව ඒ මිත්‍රයා පවසයි. එදිනම සවස රංබණ්ඩා සෙනෙවිරත්නයන්ට ඇය දළදා මාලිගාව අසල දී මුණගැසෙයි. සුදුවතින් සැරසී කුඩා දරුවකු සමඟ මල් වට්ටියක් ද අතැති ව සන්සුන් ගමනින් දළදා වඳින්නට යන අයුරු ඔහු බලා සිටින්නේ කම්පිත දෑසෙනි. මේ නිර්මාණයේ නිමිත්ත එයයි.

‘ළඳුනේ’ නැමැති වචනය නිර්මාණයේ මුලට ගෙන එන්නේ ආචාර්ය කේමදාසයන් ය. පදමාලාවේ සංගීතමය භාවයන් එහිදී වඩාත් ම උද්දීපනය වේ. “දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ළඳුනේ” නැමැති ප්‍රකාශයෙන් ඇගේ අසරණ බව පමණක් නොව සමාජයේ කුහකත්වය ද හෙළිදරව් වේ. සාම්ප්‍රදායික සමාජය තුළ ඇගේ නෑදෑයන් විසින් ද ඇයව ගර්හිත බවට පත්කොට තිබේ. එහෙත් රචකයාට මේ දර්ශනය තුළින් සිහිවන්නේ ජීවිතයේ අනේකවිධ පීඩාවන්ට ගොදුරු වූ ‘පටාචාරා’, ‘කිසාගෝතමී’ වැනි අසරණියන් ය.

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම් යන පාර අහන
ඔබ ද පටාචාරාවකී
ඔබ ද කිසාගෝතමියකි..

මේ නිර්මාණය පිළිබඳ ව රචකයා ම තම අදහස් ඉදිරිපත් කොට තිබේ. මා මෙතැන් සිට ඉදිරිපත් කරන්නේ “හිතේ දුකට කියන කවි” නම් ග්‍රන්ථයේ රචකයා දක්වා ඇති අදහස් ය.

”මෙම කවිය ගණිකාවක් ගැන වේ. ගණිකාව යන වචනයේ තේරුම “ගණන් හදන්නීය” එනම් ඇයගේ පහස යම් කිසි මිල ගණනකට දෙන තැනැත්තිය යන්නයි. ආදරය නිසා හෝ බිරියක නිසා හෝ නොව ඇය තම පහස පිරිමියකුට දෙන්නේ නියමිත මිලකට ය. නියමිත මිල ගණනකට පමණි ය. මේ නිසා පිරිමින් ගණනාවක් සමඟ හැසිරෙන කාන්තාවක් ගණිකාවක් නොවේ. කින්නරාවක් පමණි.

පෙර කල නුවර සුරූපීම ළඳ රූප රාජිනිය තෝරා ඇය නගර සෝබනී ලෙස කාටත් පහස ලැබිය හැකි කාන්තාව ලෙස නම් කෙරිණි. ඇයගේ මිල ගෙවිය හැකි කාට වුවද ඇය වෙත යා හැකි විය. රජවරු, සිටුවරු පවා එහි ගියහ. අද කාලේ ගණිකාවක යනු පිළිකුල් කෙරෙන කාන්තාවකි. ඇය දෙනෝදහක් ආශ්‍රය කළ ද කාගේ හෝ බිරිය නොවිණ. නෑයෙක් ඇයට නෑකම නොකියයි.

ළඳුනි, ඔබ ඔය දොස් අහන්නේ ඔබේ පවකට නොව පිරිමින්ගේ පාප කඳටයි. ඒ පිරිමි අඳුරේ ඔබ වෙත පැමිණ ආදරයෙන් සිප වැලඳ පහස ලබති. එහෙත් දවල් දවසේ ඔබට රවති. මේ මිනිසුන්ට පෙනෙන්නේ ඔබේ තන දෙක පමණි. ඔබගේ හදවත නොපෙනේ. ඔබ කුහුඹුවකුටවත් වරදක් නැති කාන්තාවකි. එහෙත් ලෝකයා ඔබට සලකන්නේ තදබල වැරදි කාරියක් ලෙසට ය. ප්‍රශ්නය ඇත්තේ ඔබ ගැන නොවේ. ඔබ අනෙක් ඕනෑම කාන්තාවක් වාගේම ය. ප්‍රශ්නය ඇත්තේ කුහක මිනිසුන්ගේ වංචනික පිළිවෙත්ය. බොරු සිල්කාරයින්ගේ පපු කුහරයේය.

(හිතේ දුකට කියන කවි – රංබණ්ඩා සෙනවිරත්න)

මේ ගීතය වින්දනය කිරීමට රචකයා දැක්වූ අදහස් පමණක් සෑහේ යැයි සිතමි. තනි අතින් අත්පුඩි ගැසිය නොහැකිය. ඇය සමඟ වරදේ බැඳෙන්නේ පිරිමින් ය. ඒ සියලු පිරිමින් නිදොස් කොට ඇයට පමණක් දොස් කීම සමාජයේ කුහකත්වයයි. ඒ පිරිමින් දැළි කුණු පිසදාගෙන නිදොස් වනවා පමණක් නොව ඇය ව වටහා ගැනීමට උත්සාහ නොකරයි. ඇගේ හදවත නොදැක ළැම දකිමින් මන පිනවා ගනී.
මට ආර්. ආර්. සමරකෝන්ගේ ‘ගේ කුරුල්ලෝ’ නවකතාවෙහි ප්‍රකාශයක් නැවතත් සිහිවේ.

”පිරිමි මඩ දුටු කළ පාගා ගනිති. දිය දුටු තැන සෝදාගනිති. ගැහැනු ඒ අතින් අවාසනාවන්ත ය. පොඩ්ඩක්වත් පලුද්දක් උණොත් විනාශය. කවුරුවත් බාරගන්නේ නැතිය.”

(ගේ කුරුල්ලෝ - ආර්.ආර්.සමරකෝන්)

මේ ගීතයේ සංගීතය සුවිශේෂත්වයක් ගනී. ඉතා අල්ප වාද්‍ය භාණ්ඩ යොදාගෙන මේ කඨෝර භාවයන් හදවත් සසලවන ලෙස කේමදාසයෝ සංගීතවත් කරති.

ගණිකාවක ගේ අවාසනාව කියවෙන මේ ගීතයේ කැටිවුණ වාසනාවක් පවතී. ඒ වාසනාව උදාවන්නේ මේ ගීතය සුගායනය කළ අමරසිරි පීරිසුන්ට ය.

මේ ගීතය ගයන්නට නියමිත ව තිබුණේ වෙනත් ගායකයකුටයි. ඔහුගේ ප්‍රමාදයෙන් නොසන්සුන් වූ කේමදාසයෝ මේ ගායනය වයලීනය වාදනය කිරීමට පැමිණ සිටි අමරසිරි පීරිසුන්ට පැවරූහ. ඒ අහඹු දොරට වැඩීම සුභාවිත සිංහල ගීතයේ වාසනාවක් ම විය. එපමණක් නොව ඔහුගේ ගැඹුරු දාර්ශනික හඬ ගීතය සිසාරා ගමන් කරන අතර සහෘද හදවත් ප්‍රකම්පනය කරවයි.

ගණිකා වෘත්තිය සහමුලින් ම අනුකම්පා කළ යුතු වෘත්තියක් නොවේ. උසස් ජීවන මට්ටමක් පවතිද්දී පාරිභෝගික තෘෂ්ණාව නිසා මේ වෘත්තියේ යෙදෙන ඇතැම් සිනමා, ටෙලි නාට්‍ය නිළියන් සමාජ පිළිලයෝ වෙති’ එසේ ම ව්‍යාපාරික චේතනාවෙන් මේ වෘත්තියෙන් බැංකු ගිණුම් පුරවන්නියෝ සැබෑ වෛශ්‍යාවෝ වෙති. එහෙත් සමාජය විසින් ම මේ තත්ත්වයට ඇද දැමූ අහිංසක ගැහැනුන් කෙතරම් ද? ඔවුහු පටාචාරා, කිසාගෝතමිය ලෙස මතු නිවන් දැකිය යුත්තෝ වෙති.

ධම්මික බණ්ඩාර - Silumina