හැත්තෑව දශකය වූ කලී සිංහල ගීත සාහිත්‍යයට රමණීය නිර්මාණ ගණනාවක් දායාද වූ දශකයකි. මේ සඳහා කරුණු කීපයක් බලපෑ බව මගේ පෞද්ගලික හැඟීමයි. නිර්මාණශීලී පද රචකයන් හා සංගීතඥයන් සිටීම, ශ්‍රේණිගත වූ ගායක ගායිකාවන්ට සරල ගී වැඩසටහන් හිමි වීම, රූපවාහිනිය නොතිබීම, ගුවන්විදුලි සිංහල නාලිකා දෙකක් පමණක් පැවතීම, සාහිත්‍යකාමී රසික පිරිසක් සිටීම, ඒ කරුණු අතරින් කීපයකි.
ජනමාධ්‍ය හා රසිකත්වය පමණට වඩා ලිබරල්වාදී වීම හේතුවෙන් ඒ ස්වර්ණමය යුගය බිඳ වැටිණි. එහි විපාක ලාංකික සමාජයට ළඟදීම අත්විඳින්නට සිදුවනු වැළකිය නොහැකිය. හැත්තෑව දශකයේ ගීතය නිහඬව බබළවන්නට දායක වූ මහින්ද අල්ගමයන් ගේ පද මාලාවක් පිළිබඳ ව මා සටහන් තබන්නේ කෘතගුණ සැලකීමක් ලෙසිනි.
“රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන සැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
කවිතා ගුණයෙන් යුතු මේ පද මාලාවේ ආරම්භයේම මැවෙන්නේ චිත්ත රූපයකි. ග්‍රාමීය වැඩවසම් පරිසරයක තම කුඩා දරුවා සමඟ බිරියක මග බලා සිටින්නේ මෙහෙවරට ගිය සිය සැමියා එනතුරුය. ඇයට ඈතින් එන සැමියාගේ රුව පෙනෙයි.
රුක් අත්තන මලක මුදුනක බඹරු නැටීමෙන් ඇගේ පී‍්‍රති ප්‍රමෝදය සංකේතවත් වෙයි. තමන් ජීවත් කරවන්නට වෙර දරන සැමියා පිළිබඳව ඈ තුළ හටගන්නේ අපරිමිත ගෞරවයකි. එසේම අභිමානයකි. ඇය ඇඟිල්ල දිගුකොට තම පුතුට දුර එන පියාගේ රුව පෙන්වන්නේ එම අභිමානය සඟවා ගෙනයි. අතිශයින් සියුම් වූ මානව හැඟීම් ස්පර්ශ කිරීමට කවියා සමත් වන්නේ ඔහු තුළ ඇති බහුශ්‍රැත භාවය නිසාය.
“මුතු පිණි ලැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා
පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ...
සුභාවිත භාෂාව මේ නිර්මාණයේ රසය උද්දීපනය කරවයි. “පිණි මුතුලැල් සැලෙන උදය” “උදා දිමුතු හිරු එළිය” වැනි යෙදුම් සුඛෝච්චාරණයෙන් යුතු යෙදුම් ලෙස හඳුන්වා දිය හැකිය. සුගායනය සඳහා මෙබඳු යෙදුම්වලින් ලැබෙන්නේ මනා පිටිවහලකි.
රචකයා පසුබිම් කරගන්නේ පීතෘ මූලික ග්‍රාමීය සමාජයක් වුවද අද වැනි නාගරීකරණය වූ සමාජයක් තුළ ද මෙය වින්දනය කළ හැකිය. අද සමාජයේ ඇති වෙනස වන්නේ ගැහැනිය ද රැකියාවක් කරන බැවින්, මෙබඳු අනුභූතියකට උරුමකම් කියන්නට නොහැකි වීම පමණකි.