Pages

Monday, October 17, 2016

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

“මට, ඇති තරම් සල්ලි තියෙනව නම් එහෙම, මම ගම්බද ජීවත් වන රෝගී ගුරුවරුන්ට සෞඛ්‍ය නිකේතනයක් හදල දෙනව. ඔව්, ලොකු ගොඩනැඟිල්ලක් - ඇති පදම් ආලෝකය තියෙන - ඔබ දන්නවනෙ - ලොකු ජනෙල් තියල, සීලිම උසට ගහල, ලොකු මන්දිරයක් හදනව. මම ඒකෙ අලංකාර පුස්තකාලයක් හදනව. හැම වර්ගයෙම සංගීත භාණ්ඩ ගේනව. එළවළු වත්තකුයි, පලතුරු උයනකුයි හදනව. ඒ වාගෙම මීමැසි පෙට්ටිත් ගෙනැල්ල තියනව. මේ මන්දිරයෙ කෘෂි විද්‍යාව, කාලගුණ විද්‍යාව වාගෙ දේවල් ගැන දේශන පවත්වන්ඩ සලස්වනව. ගුරුවරු හැම දෙයක්ම දැනගෙන ඉන්ඩ ඕනෑ. ඔව්, ලොකු උන්නැහැ, හැම දෙයක්ම...”

ගුරුවරුන් ගැන මේ තරම් උද්යෝගයෙන් හා උද්වේගයෙන් කතාකරගෙන කතාකරගෙන යන්නේ, කවරකුදැයි තවම ඔබට නිනව්වක් නැති බව මම දනිමි.

සිහින සිතිවිලිවලියක් බඳු ඒ කතාව, අපේ රටේ හෝ අපේ වැනි වෙනත් රටක හෝ අධ්‍යාපන ඇමතිවරයකුගේවත්, ඊළඟ ආණ්ඩුවක අධ්‍යාපන ඇමතිවරයකු වන්නට සිහින දකින දෙවැනි තුන්වැනි පෙළේ දේශපාලකයකුගේවත් නොවේ.

ඒ වදන්, ඊට වඩා බොහෝ වෙනස් මිනිහකුගේය. ඒ වචන ස්වකීය ප්‍රතිභා මහිමයෙන්ද, අනනුකරණීය ශෛලියෙන් ද ඉතා ගැඹුරු මානව හිතවාදයෙන්ද ලෝක සාහිත්‍යයත්, ඒ මඟින්, අපේ ලෝකයේ චින්තනයත් පොහොසත් කළ උතුම් මිනිහකුගේය.

ඒ අපූරු මිනිහා, රුසියානු මහා ලේඛක ඇන්තන් පව්ලොවිච් චෙකෝප්ය.

චෙකෝප් විසින් “ලොකු උන්නැහේ” යනුවෙන් ආදරයෙන්ද, තරමක් විහිළු තාලයෙන්ද ආමන්ත්‍රණය කරනු ලැබූ, ඔහුගේ මේ දේශනයට සවන්දීගෙන, ඔහු සමඟ වත්තේ ඇවිදිමින් සිටි අනෙක් තැනැත්තාද, එසේ මෙසේ මිනිහෙක් නොවීය. හේ තෙමේ ස්වකීය අනුපම මානවප්‍රේමයෙන්ද, නොසන්සි‍ඳෙන නිර්මාණ ශක්තියෙන්ද ලෝක සාහිත්‍යය සාරවත් කළ මහා ලේඛක ඇලෙක්සි පෙෂ්කෝව් හෙවත් මක්සිම් ගෝර්කිය.

මතු පරම්පරාවල සාහිත්‍ය රසිකයන් හා සහෘදයන් උදෙසා මතු නොව, අනාගතයේ එන අධ්‍යාපනඥයන්, මුල්ගුරුවරුන්, උපගුරුවරුන් හා ඇතැම් විට, රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය භාරගන්නා අධ්‍යාපන ඇමතිවරුන් උදෙසාද, චෙකෝව්ගේ අනාගත වක්කෘත ඒ වචන රාශිය ලියා තැබුවේ, මක්සිම් ගෝර්කි විසින්මය.

“මගේ හීනවලට සවන් දීගෙන ඉඳීම ඔබ වදයක්ද? මේ ගැන කතා කරන්න, මම බොහොම ආසයි. රුසියාවේ ගම්බද පළාත්වලට හොඳ දක්ෂ උගත් ගුරුවරු මොන තරම් අවශ්‍යද කියල ඔබ දන්නවද? මේ රුසියාවෙ, ගුරුවරුන් සඳහා අපි ඉතා හොඳ තත්ත්වයක් ගොඩනඟල දෙන්ඩ ඕනෑ. ඒක ඉක්මනට කරන්ඩත් ඕනෑ. ජනතාවට, හැම පැත්තෙන්ම පිරුණු සර්වසම්පූර්ණ අධ්‍යාපනයක් ලැ‍බුණෙ නැත්නම් එහෙම, රාජ්‍යය බිඳ වැටෙනවා. හරියට, දඹු ගල්වලින් හදාපු ගෙයක් බිඳ වැටෙනව වාගෙ.

“ගමේ ගොවීන් අහන ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන්ඩ පුළුවන්කම තියෙන, ගමේ ජීවත් වන පළමුවැනි තැනැත්තා වෙන්ඩ ඕනෑ, ගුරුවරයා. එතකොට තමයි, ගමේ අයට ඔහුට ගරු කරන්ඩ පුළුවන් වෙන්නෙ. ගෞරවයට ලක් වෙන්ඩ, අවධානයට ලක් වෙන්ඩ තරම් තමන්ට බලයක් ඇති වෙන්නෙ, එත‍කොටයි. ගමේ ඉන්න පොලිස්කාරයාට, කඩකාරයාට, පූජකයාට, පාසල් අධිපතියාට, එතනින් ගියාම, පාසල් පරීක්ෂකවරයා කියන මිනිහාට - මම දන්නෙ නෑ මේ හාදයා මොනව කරනවද කියල - චක්‍රලේඛන අකුරට ක්‍රියාත්මක කරන්ඩ හදනවා මිසක් - අධ්‍යාපන තත්ත්වයන් දියුණු කරන්ඩ මිනිහා කරන දෙයක් ඇත්තෙ නැහැ. මේ මිනිස්සු කාටවත් තමන්ගේ තත්ත්වය පහත හෙළන්ඩ බැරි වෙන තරමට, ගුරුවරයාගේ බලය ගමේ තහවුරු කරන්ඩ ඕනෑ....”

චෙකෝප්ගේ කතාව තව බොහෝ දිගය. එහෙත් ඔහු පවසන මේ වැකි කිහිපය අපගේ අවධානයෙන් ගිලිහෙන්නට හැරිය යුතු නැත.

“ජනතාවට උගන්නන්ඩ කියල භාරදීල තියෙන මිනිහෙකුට, මසුරුකමට ගෙවන සොච්චම් වැටුප ගැන අපි ලැජ්ජා වෙන්ඩ ඕනෑ....”

“මම ඔබට කාරණයක් කියන්නම්. ගුරුවරයෙක් හම්බ වුණාම, මට ලොකු අසීරුවක් දැනෙනව. මේ මිනිහගෙ නිවට නියාලුකමට - පිළිවෙළක් නැතිකමට - මට මහත් අපහසුවක් දැනෙනව. මට හිතෙනව, ගුරුවරුන්ගෙ මේ ශෝචනීය තත්වයට මාත් වැරදිකාරයෙක් කියල. ඔව් ඇත්තටම මට එහෙම හිතෙනව...”

තමන්ට මේ සමාජයේ කෙළින් හිටගන්ට බැරි ව‍ුණේ හොඳ ආර්ථිකයක් නැතිකම නිසා යැයි තීරණය කළ අපේ ගුරුපරපුරෙන් කොටසක් කෙළේ, අධ්‍යාපන කඩ දමාගෙන ගණිතය, සත්ත්ව විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ගණන් වැඩි භාණ්ඩ පමණක් නොව, සිංහල, බුද්ධාගම වැනි සිල්ලර බඩුද විකුණන්ට පටන්ගැනීමය. අපේ ගුරු පරපුර ආර්ථිකයෙන්, මිල මුදලින් පමණක් කෙළින් වන්ට ගත් ඒ වෑයමේ ප්‍රතිඵලය වූයේ, මුළු මහත් ගුරු පරපුරේම අභිමානය නැති වී යාමය; ගුරුවරයාද මුදලට විකිණෙන භාණ්ඩයක් බවට පත්වීමය.

තමන්ගේ අභිමානය රැකගත හැක්කේ, චෙකෝප් කියන පරිදි, දැනීමෙන් - විද්‍යාවෙන් - සන්නද්ධ වී, චින්තනයෙන්ද පොහොසත් වූ තරමටය.

කොඳු කෙළින් හිටින්නේ, නිවැරදි අභිමානවත් චින්තනයෙන් මිස, රුපියල් සතවලින්වත්, තාන්න මාන්නවලින්වත් නොවේ.

ජාතිය නමැති මන්දිරය දඹු ‍ගඩොළින් නොව, යුගයටම පවතින දැවුණු ගඩොළින් ගොඩනඟන්නට නම්, ස්වකීය චින්තනයේ අභිමානයම අවශ්‍ය බව, ගුරු පරපුර විසින් පසක් කළ යුත මොහොත එළඹ ඇත්තේය.

මහා රුසියානු ලේඛක ඇත්තන් පව්ලෝවිච් චෙකෝව් ගැන මේ තරම් දුර දිගට කතා කරන්ට සිදු වූයේ, අද දින අපගේ ගේයපද ලීලා තීරුවේදී, ඔහු නිමිත්තට ගත් ගුරුවරයා ගැනම තවදුරටත් කතා කරන්ටය. මෙතැනදී අපට අදාළ වන්නේ, අපේ ගුරුවරයාය.

මීට දශක දෙකකට පමණ පෙර ලියන ලද ගීතයෙකදී, මහින්ද චන්ද්‍රසේකර කියා සිටියේ, අපේ ඒ ගුරුතුමා තමත් ඉස්කෝලේ යන බවකි!

කවර නම්, ගුරුවරයෙක්ද, ඔහු?

“පැන මඩ කඩිති වැවු තාවලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ”

වැහි කාලයේදී මඩ කඩිතිද, වැව් තාවලුද, පැන පාසලට උදෙන්ම අවුත්, සිය සිසු දරුවනටද, නොවැටී යන්නට මඟ නොමඟ පෙන්නා දුන් උතුම් ගුරුතුමෙකි, ඔහු.

ඒ ගුරුවරයා අද වැටී සිටින දුක්ඛදායක තත්වය, ස්වකීය නිර්මාණයේ මුල් අඩෙහිදීම මහින්ද චන්ද්‍රසේකරයන් අපට හෙළිදරවු කරන්නේ මෙබසිනි.

“සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”

ගුණමකු මූසිලයන්ට උඩුමහලට නඟින්ට ඉඩ දී අපේ ගුරුතුමාට තාමත් ඉස්කෝලේ යන්ට සිදු වූයේ, අපේ අධ්‍යාපනයේත්, ඒ අධ්‍යාපන ප්‍රතිපත්තියේත්, අධ්‍යාපනය කරවන්නවුන්ගේත් වරදිනි. පොදුවේ ගත් කල, සමාජ හර පද්ධතියේ වරදිනි. ‍මහින්ද චන්ද්‍රසේකර අප ඉදිරියට ගෙන එන ගුරුතුමා අන්ත අසරණයෙකි. ඔහුට මුදලට විකිණෙන්ටවත් බැරිය! ඔහුගේ ගෙදර ජීවිතය එකම ඛේදවාචකයකි. දීග නොගිය ඔහුගේ දියණිය ගුරු නිවහන තුළ මිලිනව සිටින්නීය.

“සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා”

ගුරු නිවහන තුළ කඳුලට උල්පතක්ව ලොකු හාමිනේද සිටින්නී, බිත්තිය මත ඇඳි සිතුවමක් ලෙසින් නිහඬවය.

“ලොකුහාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා”

ඒ, ගුරු ගෙදර තත්වයයි.

සිසු දරුවන් ඇද වැටී ඇති තත්වය, ඊට දෙවැනි නැත. සාමලාත්, අමරලාත්, බස් පොළේ රටකජු විකුණති. ඒ රටකජු ‍ගොටුවලට ගන්නේ කුමාරොදයේ‍ පොතේ පිටුය.

මහින්ද චන්ද්‍රසේකර සිය ගුරුතුමා මඟින් කියන්නේ, අපේ අධ්‍යාපනයේ සමස්ත අර්බුදයයි. ඒ සඳහා ඔහු කරන නිර්මාණය යථාර්ථවාදී වනු පමණක්ම නොවෙයි. එය රසවත් ගීතයක්ද වෙයි. ගත් වහරද, පුර වහරද, ගැමි වහරද, සමානුයෝජනයෙන් ඔහු යොදාගන්නා බස්වහර ගීතවත්ය. මහින්ද චන්ද්‍රසේකර මඟ නොමඟ, උගත මනා, ඉකිබිඳ, රන්මසු අභරණ, උරණ, බිතු සිතුවමක් වැනි වදන් ගන්නේ ගත් වහරිනි. වැව්තාවලු, ඉස්කෝලේ, පිල්කඩ වැනි වදන් ගන්නේ ගැමි වහරිනි. සෙසු වදන් පුරවහරෙන් ගන්නා ලද්දේ වේ. එකී පද සංයෝජනය තුළ කවිතා ගුණය පමණටම ගේයතා ගුණයද සුරැකී ඇත්තේය. සුනිල් එදිරිසිංහයන්ට තියුණු හඬින් ගයන්නට, මහින්දගේ නිර්මාණයේ සුගේයතා පද ලාලිත්‍යය මොනවට පෙළ ගැසී සිටියි. දෙදෙනාම එක්ව මේ නඟන්නේ, එදා සාර් රුසියාවේ පාලනාධිකාරිය වෙත ඇන්තන් චෙ‍කෝව් දුන් පණිවිඩයේම ප්‍රතිරාවය නොවේදැයි යෝනිසෝමනසිකාරයෙන් සිහි කරනු යෙහෙකිය.

ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ