Pages

Wednesday, August 03, 2016

බලාගෙනයි! ‘සෙල්ෆි එල්බෝ’ හැදෙයි!

යන යන තැන සෙල්ෆි ඡායාරූප ගැනීම අද කාලේ තරුණ - තරුණියන්ගේ පුරුද්දක් වෙලා. ජංගම දුරකථනයෙන් තමා විසින් ම තමා ඡායාරූපයට නඟා ගැනීම ‘සෙල්ෆි ගහනවා’ යනුවෙන් ජන වහරට එක් වෙලා. ඒත් පමණට වඩා සෙල්ෆි ගැනීමේ පුරුද්ද නිසා ‘සෙල්ෆි එල්බෝ’ නමැති ආබාධයට ගොදුරු වීමට ඉඩ ඇති බව ඔබ දන්නවාද? තනි අතින් ජංගම දුරකථනය තමා දෙසට එල්ල කරමින් නිතර නිතර සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් ඔබ ඒ සඳහා භාවිත කරන අතේ වැලමිට ඉදිමී වේදනාවට පත් වන ‍බව ඇමෙරිකාවේ නි‍ව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ ලැන්ගුන් වෛද්‍ය මධ්‍යස්ථානයේ පේශි හා කොඳු ඇට‍පේළිය ආශ්‍රිත රෝග පුනරුත්ථාපනය පිළිබඳ විශේෂඥවරයකු වන චාර්ල්ස් කිම් ප්‍රකාශ කර තිබෙනවා.

‘සෙල්ෆි එල්බෝ’ ආබාධයත් හරියට ටෙනිස් ක්‍රීඩාව නිසා ඇතිවන ‘ටෙනිස් එල්බෝ’ නැති නම් ගෝල්ෆ් ක්‍රීඩාව නිසා ඇතිවන ගෝල්ෆ් එල්බෝ වැන්නක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.

එකම ක්‍රියාව නැවත නැවතත් සිදු කිරීමෙන් වැලමිටෙහි මාංසපේශීන් ආසාදනය වෙනවා. මෙසේ ආසාදනය වූ මාංස පේශීන් පහසුවෙන් සෙලවීමට බැරි තරම් දැඩි වේදනාවක් ඇතිවීම මෙම රෝගයේ ලක්ෂණයයි.

“මේ ‍රෝගය බහුලව දැකිය හැක්කේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතරයි. ඔවුන් සිය මහපට ඇඟිල්ල වැඩි වාර ගණනක් දුරකථනයේ යතුරු මත ගැටීමෙන් එහි කණ්ඩරා ඉදිමී වේදනාවට පත් වෙනවා. මෙය වැඩි දියුණු වූ විට ඒ අතින් කිසි දෙයක් කරගන්නට බැරි වෙනවා” මේ පිළිබඳ ව අදහස් දක්වන වෛද්‍යවරුන් පවසනවා.

නූතන තාක්ෂණය හා මිනිස් සිරුර අතර ඇති සනාතන ගැටුම මෙවැනි රෝගවලින් පැහැදිලි වන බව ද ඔවුන් කියනවා. ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල නූතන තාක්ෂණය අධිභාවිතාවේ යෙදෙන යෞවනයන් මුහුණපාන, අලුත් ම සෙ‍ෟඛ්‍ය ගැටලුව ලෙස ඔවුන් මේ ‘සෙල්ෆි - එල්බෝ’ රෝගය හඳුන්වනවා. ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කිරීම, ඡායාරූප මඟින් සංවාද පැවැත්වීම, සෙල්ෆි ගැනීම, ලිවීම, ට්විට් කිරීම වැනි පමණට වඩා ජංගම දුරකථනය භාවිතා කරමින් කරන ඕනෑම ක්‍රියාවකින් මේ ආබාධය ඇතිවිය හැකි බව ඔවුන් කියා සිටිනවා.

මෑත අතීතයේ යෞවනයන් අතර වැඩිපුරම දක්නට ලැබුණු රෝග තත්ත්වය වුණේ ‘කාපල් ටනල් සින්ඩ්‍රෝම්’ නම් වූ රෝගයයි. පමණට වඩා අත හා අතැඟිලි වෙහෙස වීම නිසා අතේ මැණික්කඩුව අසල පිහිටි කාපල් නහරය අවහිර වීමෙන් ආබාධය ඇති වෙනවා. බොහෝ විට වේදනා නාශකවලින් සුව කළ නොහැකි තරම් උග්‍ර වන මේ රෝගයට පිළියම වන්නේ සැත්කමක් සිදු කිරීමයි.

අදින් වසර 10 ක් - 15 කට පෙර යෞවනයන් අතර බහුලව දැකිය හැකි වූයේ පාපැදිවලින් වැටීමෙන් දණහිස පුපුරායෑම හෝ දණහිස්වල ආබාධ. මේ වනවිට වැඩියෙන් ම දක්නට ලැබෙන රෝගය වන්නේ ‘සෙල්ෆි එල්බෝ’ ‍රෝගයයි.

සෙල්ෆි ඡායාරූප ගන්නා විට ඒ සඳහා ලබා දෙන යෂ්ටිය භාවිත කිරීම මේ ආබාධයෙන් වැළකීමට හැකි හොඳම ක්‍රමය වන බව වෛද්‍යවරුන්ගේ උපදේශයයි. ඇමෙරිකාවට බෝවුණු සෙල්ෆි එල්බෝ ආබාධය අපේ රටත් ආක්‍රමණය කරන දිනය වැඩි ඈතක නොවනු ඇති. එහෙයින් සෙල්ෆි ඡායාරූප සෙල්ලමට ඇබ්බැහි නොවී සිටීම නුවණට හුරු ‍බව කල් තබාම පැවසිය යුතුව තිබෙනවා.