අම්මලාගේ විභාගය හෙවත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 21 දා පැවැත්වීමට නියමිතය. මේ වසරේ පස් වැන්නේ ඉගෙනුම ලබන තවත් දහස් සංඛ්‍යාත දරුදැරියෝ පිරිසක් මේ වන විට ලහිලහියේ විභාගයට සූදානම් වෙති. විභාගයට පෙනී සිටින්නේ දරුවන් වුවත් ඒ සඳහා වඩාත් උනන්දු වන්නේත්, තරග වදින්නේත් ඔවුන්ගේ අම්මලාය. ‘අම්මලාගේ විභාගය’ යනුවෙන් පහේ ශිෂ්‍යත්ව විභාගයට අන්වර්ත නාමයක් පටබැඳී ඇත්තේත් ඒ නිසාය.
පළමු ශ්‍රේණියේදී තමන් අපේක්ෂා කළ පරිදි “උසස්” පාසලකට දරුවා ඇතුළත් කර ගැනීමට අපොහොසත් වන දෙමවුපියන් වැඩි දෙනෙකුගේ අරමුණ පහ වසර ශිෂ්‍යත්වයෙන් දරුවා සමත් කරවා එබඳු පාසලකට ඇතුළත් කරගැනීමයි. තමාට අහිමි වූ ලෝකය දරුවන්ට උරුම කර දීමට සිතීම සෑම දෙමවුපියකු තුළම පවතින අහිංසක පැතුමකි. එහෙත් ඒ පැතුම ඉටුකර ගැනීම සඳහා තම දරුවාගේ ළමා මනසට මෙන්ම ශරීරයට ද ඔරොත්තු නොදෙන තරම් බරක්, වගකීමක් පැටවීමෙන් තමා නොදැනුවත්වම ඔවුන්ට විශාල අගතියක් සිදු කරන බව බොහෝ දෙමවුපියන්ට වැටහෙන්නේ නැත.
ඔරොත්තු නොදෙන බරක්
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවකුගේ වයස සාමාන්‍යයෙන් අවුරුදු 9 - 10 අතර වේ. මේ ළමා වියෙහි අවසන් සමයයි. මේ වයසේදී ළමා මනසට දරා ගැනීමට බැරි තරම් අසාමාන්‍ය දැනුම් සම්භාරයක් දරුවන්ගේ පුංචි ඔළුගෙඩි තුළට රිංග වීමට ගුරු-දෙගුරුන් දරන ආයාසය හේතුවෙන් එතරම් කුඩා වියේදී පවා ආතතියෙන් පෙළෙන, මානසික රෝගවලට ගොදුරු වන ළමයින් අපේ රටේ සිටින බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.
කරාපිටිය ශික්ෂණ රෝහලෙහි මනෝ වෛද්‍ය සායනයට පැමිණෙන පාසල් දරුවන් අතර ශිෂ්‍යත්ව විභාගයට ආසන්න කාලයේදී මසකට මෙවැනි දරුවන් තුන් හතර දෙනකුවත් තමන්ට හමු වන බව එහි මනෝ වෛද්‍ය විශේෂඥ රමණි රත්නවීර මහත්මිය පවසයි. කරාපිටිය රෝහල යනු දකුණු පළාතේ එක්තරා ප්‍රදේශ කිහිපයක් පමණක් ආවරණය කෙරෙන රෝහලක් පමණි. මේ ආකාරයෙන් දිවයින පුරා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන්ගෙන් කී දෙනෙකු මෙවැනි ගැටලුවලට මුහුණ පා ඇත්දැයි අපි නොදනිමු. අධ්‍යාපන අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී තවමත් එවැනි අධ්‍යයනයක් හෝ සමීක්ෂණයක් පවත්වා නැති හෙයින් මෙසේ පීඩාවට පත් වන සමස්ත දරුදැරියන්ගේ සංඛ්‍යාවක් නිශ්චිතව සඳහන් කළ නොහැකිය.
දෙමවුපියන් ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් හුරු කරවීම අරඹන්නේ පළමු වසරේ පටන්මය. අවුරුදු පහේදී පාසලට ඇතුළත් කරනු ලබන දරුවාගේ පුංචි මනසට ඔරොත්තු දෙන ආකාරයට පාසල් විෂය නිර්දේශ හා ක්‍රියාකාරකම් සකස් කර තිබුණ ද ශිෂ්‍යත්ව විභාගයම ඉලක්ක කරගත් අම්මලා දරුවන්ට පාසලේදී ලැබෙන දැනුමෙන් හෝ අත්දැකීම්වලින් සෑහීමකට පත් වන්නේ නැත. ඔවුහු පළමු වසරේ පටන්ම දරුවන් අමතර පන්තිවලට යවති. ඇතැම් අම්මලා අවුරුදු තුනේ පටන්ම මේ අධ්‍යාපනික යුද්ධයට දරුවන් තල්ලු කරති.
අමතර දැනුම
දෙමවුපිය ආදරය හා රැකවරණය මධ්‍යයේ පරිසරය ඇසුරෙන් දරුවා ලබන සමාජානුයෝජනයට වඩා පන්තියකින් - පොතපතින් අමතර දැනුම ලබා දෙන්නට අම්මලා වෙහෙසෙති. හැම විටම අනෙක් දරුවාට වඩා තමන්ගේ දරුවාගේ දස්කම් වර්ධනය කර ගැනීමට වර්තමාන මවුවරුන් අතර ඇත්තේ අසීමාන්තික උනන්දුවකි, තරගයකි. අම්මලාගේ මේ අසීමිත උනන්දුවත් තරගකාරී බවත් හේතුවෙන් දැඩි ලෙස මානසිකව පීඩාවට පත් වන්නෝ අහිංසක දරුවෝය.
දිනපතා උදෑසන පහට පමණ ඇරැඹෙන දරුවන්ගේ අධ්‍යාපන චාරිකාව හෙවත් පාසල් - පන්ති ගමන්බිමන් නිම වන්නේ හැන්දෑවේ පහට හෝ හයටය. එහෙමත් නැත්නම් හත - අටට වෙන්නත් පුළුවන. උදෑසන පාසලට යන දරුවා එතැනින් අමතර පන්තියකටත් එතනින් තවත් පන්තියකටත් ආදි වශයෙන් කැඳවාගෙන යනු ලැබේ. කවර වාහනයකින් ගමන් කළ ද මේ ගමන්වලින් දරුවෝ වෙහෙසට පත් වෙති. ළමා මනසට ඔරොත්තු නොදෙන තරම් කරුණු කාරණා, පන්ති ගණනාවකදී, ගුරුවරුන් කිහිප දෙනෙකු ලවා මනසට රිංගවීම අම්මලාගේ පැතුමයි. දරුවාගේ මනසට ඒවා දරාගන්නට හැකි ද නැද්ද යන්න එවැනි අම්මලාට ප්‍රශ්නයක් වන්නේ නැත.
බුද්ධි මට්ටම
කරාපිටිය රෝහලෙහි මනෝ සායනයට පැමිණෙන පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ගේ මවුවරුන් බහුලව නගන චෝදනාව වන්නේ දරුවා වාර විභාගයට ගන්නා ලකුණු ප්‍රමාණය මඳ බවයි. ඒත් දරුවාගේ ප්‍රගති වාර්තා පොත පරීක්ෂා කරන කල පෙනී යන්නේ දරුවා සෑම විෂයකටම ලකුණු 70 - 75 අතර ලබා ඇති බවයි. මෙවැනි අම්මලා දරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ ලකුණු 95 - 100 අතර උපරිමය ලබා ගැනීමය. වයස අවුරුදු දහයක ළමයකු ප්‍රශ්න පත්‍රයකට ලකුණු 70 - 75 ක් ලබා ගන්නේ නම් ඒ දරුවාගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ විය යුතු බව වෛද්‍ය රත්නවීර පවසයි. එහෙත් ලකුණු 99 හෝ 100 ම ගන්නා තුරු ඒ දරුවාගේ මව සෑහීමට පත් නොවෙයි. ලකුණු 100 ම නොගත්තොත් දරුවා ශිෂ්‍යත්වයෙන් අසමත් වෙතැයි මව දැඩි භීතියකින් පෙළෙයි. ඒ භීතිය දරුවාගේ මනසට ද ඇතුළු කරමින් තව තවත් ලකුණු ගත යුතු බව දරුවාට අවධාරණය කරන්නට මව වෙහෙසෙයි. ළමා මනසට දරාගන්නට ඇති හැකියාව සහ මවගේ ඉලක්කය සමඟ ගැටෙන දරුවා කෙරෙන් තමා තුළ තිබූ හැකියාව ද උනන්දුව ද ක්‍රමයෙන් තුරන් වී යයි. ඉගෙනුම දැඩි වධයක්, මානසික පීඩාවක් බවට පත් වේ.
සෙල්ලමට බර ළමා සිතට ශිෂ්‍යත්වය ඉලක්ක කරගෙන දැඩි සේ රැකවල් යෙදෙයි. ගණිත ගැටලු, බරපතළ භාෂා ගැටලු, රචනා, ළමා මනසට ඔරොත්තු නොදෙන තරම් වූ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්තර, දුටු මතින්ම එපා වන තරමට හෙම්බත් වන දරුවෝ අවසානයේදී නිතැතින්ම මානසිකව පීඩාවට පත් වෙති. මතක තබා ගැනීම යනු ස්නායු ක්‍රියාකාරිත්වයෙන් සිදු වන දෙයකි. ස්නායු දැඩිව පීඩාවට පත් වීමෙන් මතක ශක්තිය අඩු වේ.
ඉගෙනීමට පෙර පැවැති උනන්දුව අඩු වීම, නිතර නිදිමත ගතිය, ආහාර අරුචිය, තරහ යෑම, ආවේගශීලී බව, හිසරදය, ක්ලාන්තය මෙන්ම වමනය යන්නට එන්නාක් වැනි හැඟීම මෙවැනි දරුවන් කෙරෙන් දැක්වෙන රෝග ලක්ෂණ වේ. දැඩි ආවේගශීලී බව, නොරුස්නාසුලු බව මෙන් ම තනිව සිටීමට කැමැත්තක් දැක්වීම වැනි මූලික ලක්ෂණ පහළ වූ වහාම දරුවා පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුය. දරුවාගේ අසහනයට හේතුව ඔහුට හෝ ඇයට දරා ගන්නට නොහැකි තරම් වූ පාසල් වැඩ හෝ පන්ති යෑම විය හැකිය. පාසලේදී උගත් දේම යළි යළිත් පන්ති කිහිපයකින් කට පාඩම් කරවීම ළමා මනස වෙහෙස කරවන පීඩාකාරී අත්දැකීමකි.
රෝග ලක්ෂණ
පමණට වඩා ළමා මනස වෙහෙසකර වීම ඉතා හානිදායකය. මොළය පීඩනයට පත් වන විට මොළයේ නිපදවෙන ආතති හෝර්මෝන (stress hormones) වැඩිපුර නිකුත් කෙරේ. කෝර්ට්සෝල් හා ඇඩ්‍රිනලීන් වැනි ආතති හෝර්මෝන වැඩිපුර ශ්‍රාවය වීමෙන් ළමා මොළයට දරන්නට බැරි තරම් පීඩාවක් ඇති වේ. හිසරදය, ක්ලාන්තය, අධික වෙහෙස, නිදිමත, අලස බව, ආවේගශීලී බව මෙන්ම වමනය යන්නට එන සේ දැනීම වැනි රෝග ලක්ෂණ පහළ වන්නේ මෙලෙස ආතති හොර්මෝන පමණට වඩා නිකුත් වී මොළය ආතතියට පත්වීම නිසාය. මෙලෙස ආතතියට පත් වන දරුවෝ පසු කලෙක විශාදය (dipression) නමැති මානසික රෝගයට ගොදුරු වෙති. ආතතිය වැඩි වීමෙන් මොළයේ ස්නායු සංඥාවලට බාධා ඇති වේ. එය කලක් තිස්සේ පැවැතීමෙන් දරුවා මානසික රෝගියකු බවට පත් විය හැකිය.
මෙවැනි රෝග ලක්ෂණ පළ කරන මුල් අවධියේ ඒවා හඳුනා ගැනීම ඉතා වැදගත්ය. “විභාගයට තව ටික දවසයිනේ පුතේ” කියමින් ඉහත රෝග ලක්ෂණ දුටුවත් ඒවා නොසලකා හැරීම නොකළ යුතුය. දරුවාගේ වෙනස්වීම් හොඳින්ම නිරීක්ෂණය කළ හැක්කේ මවටය. නැතහොත් පන්ති භාර ගුරුතුමියටය. එවැනි ලක්ෂණ හඳුනාගත් වහාම දරුවා සමීපයට ගෙන කතාබහ කර ඔහුගේ ගැටලුව හඳුනා ගැනීම වැදගත්ය. හේතුව “පමණට වඩා වැඩි වැඩ” නම් ඒවා අඩු කිරීම වටී. දරුවාට දරාගත හැකි තරමට වැඩ පැවරිය යුතුය. රෝග ලක්ෂණ වැඩිවේනම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීම සඳහා
දරුවාට ඉලක්ක ලබාදීමේදී හැම විටම උපරීමයම අපේක්ෂා නොකළ යුතුය. දරුවාට හැකි තරම් හොඳින් වැඩ කරන්නැයි කීම වඩා සුදුසුය.
සෙල්ලම් කිරීමට හෝ දරුවා කැමැති පොතක් පතක් කියවීමට, කාටුන් එකක් හෝ ළමා වැඩසටහනක් දෙකක් නැරැඹීමට අවස්ථාව ලබා දෙන්න.
විවේකීව සිටීමට කාලයක් වෙන් කරන්න.
දරුවාගේ හැකියාවන් අගය කරන්න. පත පොතේ වැඩ හැරුණු විට නැටුම්, සංගීතය හෝ ක්‍රීඩා වැනි බාහිර කටයුතුවල යෙදවීම ඉතා වැදගත්ය.
ඉගෙනීමෙහි අගය දරුවාට තේරෙන ආකාරයට පහදා දෙන්න.
පන්තියේදී ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වන කරුණුවලට හොඳින් ඇහුම්කන් දීමට, ගැටලු තැන් අසා දැනගැනීමට දරුවා පුහුණු කරන්න.
පාසලේ ඉගැන්වූ කරුණු දරුවා සමඟ සාකච්ඡා කරන්න. ඔහුට හෝ ඇයට තේරෙන පරිදි කෙටි සටහන් තබා ගන්නට පුරුදු කරන්න.
ස්වයං අධ්‍යයනය (self recitation) සඳහා දරුවා හුරු කරන්න.
පාඩමට අදාළ පිංතූර, කතන්දර හෝ පරිසරය ආශ්‍රිත දැනුම ලබාදීමෙන් විෂය කරුණු හොඳින් මතකයෙහි රැඳේ.
තමාගේ සටහන් අන් දරුවන් හා බෙදා හදාගන්න. සාකච්ඡා කරන්න. ඇතැම් දරුවෝ තනිව පාඩම් කරන්නට හුරු වූවෝය. එවැනි දරුවන් තමාට හුරු පුරුදු ආකාරයට පාඩම් කිරීම වඩා සුදුසුය.
මතක තබා ගත යුතු චක්කර හෝ සූත්‍ර වැනි පාඩම් මතක තබා ගැනීම සඳහා සිහිපද කවි හෝ යෙදුම් සකස් කරගෙන පාඩම් කිරීම වඩා රසවත් වනු ඇත.
කවර ක්‍රමයකට පාඩම් කළ ද දරුවාට අවශ්‍ය තරම් මානසික සුවය සහ නිදහස ලබා දීම ඉතා වැදගත් වේ. කාලය අපතේ යනවා යැයි සිතා කිසිදු ගමනක් බිමනක් නොයා සිටීම, පවුලේ හෝ සමාජයීය අවස්ථාවලට දරුවා සහභාගි නොකර සිටීම ද නොකළ යුතුය. අම්මලාගේ ආශාවන් හා ඉලක්ක දරුවන්ගේ හිස මත පැටවීම වෙනුවට කළ යුත්තේ තමන්ගේම කැමැත්තෙන් හා උනන්දුවෙන් ජීවිතයේ අරමුණු හා අභියෝග ජය ගැනීමට අවශ්‍ය මානසික හා භෞතික පරිසරයක් දරුවාට ගොඩනගා දීමය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ
විශේෂඥ මනෝ වෛද්‍ය
රමණි රත්නවීර
සටහන - සාගරිකා දිසානායක ජයසිංහ