Pages

Wednesday, July 27, 2016

ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය

මහාචාර්ය ජෝ හැන්ඩ්ල්ස්‌මන් මහත්මිය පසුගිය දා ඇමෙරිකානු ජනාධිපති කාර්යාලයයේ විද්‍යා හා තාක්‌ෂණ ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ තනතුරට පත් කරනු ලැබුවා ය. නියෝජ්‍ය අධ්‍යක්‌ෂ තනතුරක්‌ වුව ද මෙය ඇමෙරිකාවේ බලවත් තනතුරකි. මන්ද යත් ඇමෙරිකාව තුළ මෙන්ම මුළු ලෝකය තුළ ම විද්‍යාවේ (සැබැවින් ම අද සංස්‌කෘතිය පවා පාලනය වන්නේ විද්‍යාවෙනි) ආධිපත්‍යය පතුරුවන්නේ මේ ආයතනය (විද්‍යා හා තාක්‌ෂණ ප්‍රතිපත්ති කාර්යංශය) හරහා වන බැවිනි. එහෙයින් බොහෝ දෙනා පවසන්නට වූයේ පවතිනවා යෑයි කියන ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ වෙනස්‌ කොට සැලකීම් ඇමෙරිකාවේ නැති බවයි. එහෙත් මහාචාර්යවරියට හිමි වූයේ අධ්‍යක්‌ෂ තනතුර නො වන බව මේ අයට අමතක විය. එසේ ම ඇමෙරිකාව ජනාධිපතිවරයකු පත් කරගත් 1789 සිට මේ දක්‌වා ම කිසිදු ජනාධිපතිවරියක බිහි නො වූ බව ද මේ අයට අමතක වී තිබේ. 

අප කලින් සඳහන් කළ මහාචාර්යවරිය වන ජෝ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එක්‌ කරුණක්‌a නම් ඇය මේ තනතුරට ආවේ බරපතළ සටන් මැදින් බව ඇය ම පැවසීමයි. දෙවැනි කරුණ නම් ඇමෙරිකාවේ විද්‍යා ක්‍ෂේත්‍රය තුළ පවත්නා ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට සම්බන්ධ අසාධාරණකම් ගැන ඇය අධ්‍යයනයක්‌ ද සිදු කර තිබීමයි. එහි ප්‍රතිඵල මගින් පෙනෙන්නේ ද ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව උග්‍ර ගැටලු ඇමෙරිකානු විද්‍යා ප්‍රජාව තුළ පවතින බවයි. ජෝ හැන්ඩ්ල්ස්‌මන් විසින් කරන ලද මේ අධ්‍යයන නිබන්ධයේ නිල නාමය Science Faculty's Gender Biases Favour Male වුව ද ඒ ගැන බොහෝ සගරාවල ලිපි පළ වූයේ "පිරිමි විද්‍යාඥයනි, තවමත් ඔබ ගේ නිරුවත පෙනේ" යන මාතෘකාවෙනි. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු National Academy of Sciences ජර්නලයෙහි පළ විය. 

ඇයට මේ පර්යේෂණය කරන්නට සිතක්‌ පහළ වූයේ තමා සේවය කළ විද්‍යා පීඨ තුළ ශිෂ්‍යාවන්ට හා ආචාර්යවරියන්ට සිදු වන අසාධාරණකම් ගැන ඇසූ දුටු විට ය. එසේ අසාධාරණකම් සිදු වන විටත් පිරිමි විද්‍යාඥයන් ජනමාධ්‍ය මගින් හැම විට ම කියා සිටියේ අන් ක්‍ෂේත්‍රවල එවැනි ස්‌ත්‍රීන්ට අගතියක්‌ වුව ද විශ්aවවිද්‍යාල විද්‍යා පීඨවල එවැන්නක්‌ නො වන බව ය. එසේ ම පොදුවේ විද්‍යා ක්‍ෂේත්‍රය තුළ එවැන්නක්‌ දක්‌නට නොමැති බවත්, සුදුස්‌සාට සුදුසු තැන ලැබෙන බවත් ය. සුදුස්‌සාට ලැබෙන තැන පිලිබඳ හොඳ පිළිතුරක්‌ ජෝ ගේ අධ්‍යයනය තුළ ඇත. 

ජෝ මේ අධ්‍යයනය කළේ අමුතු ආකාරයකට ය. ඇය හා ඇගේ සහායකයෝ ඇමෙරිකාවේ විශ්aවවිද්‍යාලවල විද්‍යා පීඨ හයක විද්‍යාඥයන් (අංශාධිති, පීඨාධිපති, විද්‍යාඥ) 127ක්‌ තෝරාගෙන ඔවුන් ගේ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආකල්ප පරීක්‌ෂා කරන්නට කල්පනා කළ හ. මේ 127 දෙනා අතර පුරුෂයෝ මෙන්ම ස්‌ත්‍රීහු ද සිටිය හ. ඔවුහු ජෛව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී විවිධ ක්‍ෂේත්‍රවලට අයත් මහාචාර්යවරු / වරියෝ වූ හ. මේ අය ගේ විද්යුත් ලිපින සොයාගත් පර්යේෂකයෝ ඒ අය වෙත විද්යුත් තැපෑලෙන් ලිපියක්‌ යෑවූ හ. ඒ ලිපිය යෑව්වේ තමන් යටතේ ඉගෙනගත් කිහිප දෙනකුට (අවම වශයෙන් එක්‌ අයකුට හෝ) ඔවුනොවුන් ගේ ආයතනවල පර්යේෂණ නිලධාරී/පර්යේෂණ කළමනාකරු වැනි 

රැකියාවක්‌ ලබා දෙන ලෙස ඉල්ලමිනි. මේ සමීක්‌ෂණ ලිපියේ වැදගත්කම වූයේ මෙය සමීක්‌ෂණයක්‌ බව සඳහන් නො කරන්නට වගබලාගෙන තිබීමයි. හුදෙක්‌ ම මෙය සැබැවින් ම කරන ඉල්ලීමක්‌ ලෙස ඉදිරිපත් කෙරිණි. එහි දී එක්‌ පීඨ නිලධාරියකුට / විද්‍යාඥයකුට අයදුම්පත් දෙකක්‌ හෝ දෙකේ ගුණාකාර යවන ලදී. ඒ ස්‌ත්‍රී පුරුෂ නියෝජනය සමාන ලෙස සිදු වන පරිදි ය. ස්‌ත්‍රී අයදුම්පත් එකක්‌ පමණක්‌ යෑව්වේ නම් පුරුෂ අයදුම්පත් ද එකක්‌ පමණක්‌ ඒ සමග යවන ලදී. මේ හැම අයදුම් පතක්‌ ම කෘත්‍රිමව සකසන ලද ඒවා ය. සමාන සුදුසුකම් ඇතුළත් වන පරිදි බොරු ගැහැනු පිරිමි නම් ඔබ්බවා මේ අයදුම්පත් සකසන ලදී. එහි දී පිරිමි සුදු, පිරිමි කළු, ස්‌ත්‍රී සුදු, ස්‌ත්‍රී කළු ලෙස ද වර්ග කර නම් ඉදිරිපත් කරන ලදී. මෙහි දී පර්යේෂකයන් ඉල්ලා සිටියේ රස්‌සාවක්‌ දෙන්නට නොහැකි නම් අවම වශයෙන් මේ අයදුම්පත් අගැයීමට ලක්‌ කර එවන ලෙස ය. එනම් මේ ශිෂ්‍යයන් ගේ කුමන විෂය වෙනස්‌කම් (පාඨමාලාවල) සිදු වුව හොත් ඔවුන්ට එය රැකියා ලබාගැනීමට උදව් වේ ද යන්න දන්වා එවන ලෙසයි. අයදුම්පත්වල සිටින අය බඳවාගන්නට ඉදිරියේ දී හෝ කැමැති වන්නේ නම් ගෙවිය හැකි වැටුප ගැන සඳහන් කරන ලෙස ද දන්වන ලදී. මෙහි දී ලද ප්‍රතිඵලය (සමස්‌ත) වූයේ දළ වශයෙන් 55%ක ගේ කැමැත්ත පුරුෂ අයදුම්පත්වලටත්, 45%ක කැමැත්ත ස්‌ත්‍රී නම්වලටත් ලැබීමයි. මෙහි දී පරතරය 10%ක්‌ වුව ද එය විශාල එකක්‌ බව මේ අධ්‍යයනය නිරීක්‌ෂණය කළ මැසචුසෙට්‌ස්‌ තාක්‌ෂණ ආයතනයේ ජෛව විද්‍යා මහාචාර්ය නැන්සි හොප්කින්ස්‌ පවසන්නී ය. එසේ ම මේ අධ්‍යයනය ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ අගතීන් හෙළි කරන ඉතා හොඳ අධ්‍යයනයක්‌ බව ද ඇය පෙන්වා දෙයි. 

මේ අධ්‍යයනයේ දී 1 සිට 7 දක්‌වා වූ පරිමානයක ලකුණු දමන්නට පීඨ නිලධාරීන්ට / විද්‍යාඥයන්ට සිදු වූ අතර 7 යනු හොඳ ම ලකුණ විය. සමස්‌තයක්‌ ලෙස ගත් විට පිරිමි නම්වලට ලකුණු 4ක්‌ ලැබී තිබිණි. ගැහැනු නම්වලට ලැබුණේ 3.3කි. දෙන්නට කැමැති වැටුපට අදාළව පරස්‌පරතා පැවැතිණි. ගැහැනු අයට දීමට කැමැති වූ වැටුප පිරිමියකුට වඩා ඩොලර් 4000කිsන් අඩු විය. වඩාත් ම ආකර්ෂණීය කරුණ නම් මහාචාර්යවරියන් පවා බහුතරය තම ආයතනය සඳහා බඳවාගන්නට උනන්දු වී තිබුණේ පිරිමි අයදුම්කරුවන් ය. සමාන සුදුසුකම් පැවතිය ද පිරිමින් දක්‌ෂ යෑයි විශ්වාසයක්‌ මිනිසුන් හා ගැහැනුන් තුළ පැවතීම මේ අගතියට හේතු විය යුතු යෑයි ජෝ විශ්වාස කරයි. 

එක ම උත්තරේ අඩු ලකුණු ඇයි?

ප්‍රශ්න පත්‍රයක ඇති ප්‍රශ්නවලට බොහෝ විට මුද්‍රිත පිළිතුරු පත්‍රයක්‌ ද පරීක්‌ෂකවරුන් විසින් සකසනු ලැබේ. එසේ නො කළ ද සාමාන්‍යයෙන් එක ම ආකාරයේ පිළිතුරකට කෙනකුට ලැබෙන ලකුණු ගණන ඒ උත්තරය ම දෙන අනෙක්‌ කෙනකුටත් ලැබිය යුතු ය. උත්තරය ලියන කෙනා ගේ පාට, ජනවර්ගය හෝ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය ඊට බලපාන්නට බැරි ය. එහෙත් මහාචාර්ය Sara Hofer පවසන්නේ අතිශයින් දියුණු අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ තිබෙනවා යෑයි කියන ස්‌විට්‌සර්ලන්තය, ඔස්‌ටි්‍රයාව හා ජර්මනියේ පවා මේ අගතිය (ගැහැනු ළමයින්ට නිවැරැදි උත්තරයට පවා අඩු ලකුණු ලැබීම) සිදු වන බවයි. 

ඇය මේ බව පවසන්නේ තමන් විසින් කරන ලද දිගුකාලීන අධ්‍යයනයක ප්‍රතිඵල විග්‍රහයට බඳුන් කරමිනි. Studing Gender Bias in Physics යන මැයෙන් වූ මේ අධ්‍යයනය Science Education ජර්නලයෙහි පළ විය. [2015:37.17.2879.DOI:10.1080/09508693]

"හිතන්න ඔබ ගැහැනු ළමයෙක්‌ කියලා. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයකට ඔබ උත්තරයක්‌ ලියනවා. ඒ උත්තරය ම ලියන පිරිමි ළමයකුට ඔබට වඩා වැඩි ලකුණු ලැබෙනවා. මේක සිද්ධ වෙන්න බැහැයි කියා ඔබ හිතනවා ඇති. ඒත් මේ දේ සිද්ධ වෙනවා. " 

එසේ පවසන්නේ Sara Hofer ය. තම අධ්‍යයනයේ දී Sara ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය හා ඕස්‌ටි්‍රයාව යන රටවල ගුරුවර ගුරුවරියන් 780ක ගෙන් දත්ත ලබාගත්තා ය. එහි දී ඔවුන් ගෙන් ලබාගත් තොරතුරුවලින් පෙනී ගියේ ඒ රටවල් තුනේ ම ගුරුවරුන් වෙතින් ශිෂ්‍යාවන්ට ලකුණු දීමේ දී යම් යම් මට්‌ටමේ අසාධාරණකම් සිදු වන බවයි. එනම් ස්‌විට්‌සර්ලන්තය හා ඕස්‌ටි්‍රයාව යන රටවල ගුරුවරු හා ගුරුවරියෝ යන දෙපාර්ශ්වය ම මේ අසාධාරණය ශිෂ්‍යාවන්ට සිදු කළ හ. ජර්මනියේ දී මෙ අගතිය සිදු කර තිබුණේ ගුරුවරියන් පමණි. ජර්මානු ගුරුවරුන් එක ම උත්තරය සඳහා පිරිමි ළමයින්ට වැඩි ලකුණු දීමක්‌ කර තිබුණේ නැත. කෙසේ වෙතත් ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව මේ දොaෂය සිදු ව තිබුණේ අවුරුදු 10කට වඩා අඩු පළපුරුද්ද ඇති ගුරුවරු ගුරුවරියන් වෙතින් පමණි. ඉතා දිගු පළපුරුද්දක්‌ ඇති ගුරුවරු ගුරුවරියන් මෙලෙස අගතීන් නො කරන බව ද පෙනී ගියේ ය. 

"මෙලෙස ශ්‍රේණි ලබා දීමේ දී අසාධාරණයක්‌ සිදු කිරීම නිසා ගැහැනු ළමයාට පැති කීපයකින් ම අගතීන් සිද්ධ වෙනවා. තමන්ට ශ්‍රේණිය අඩු වූ විට එම දැරිය කලකිරී එම විෂය අත්හරිනවා. විද්‍යාවෙන් කුඩා කල දී ම හැළී යන්නට මෙය හේතුවක්‌ වෙනවා. එසේ ම සුදුසුකම් සහිත අය කැපී, රහිත අය මතු වන්නට මෙය හේතුවක්‌ වනවා." 

ඒ Sara ගේ අදහස්‌ ය. 

ඇමෙරිකාවේ පවා විද්‍යා ක්‍ෂේත්‍රයෙහි කතුන්ට සම අයිතීන් නැහැ

Gender Bias in Academia නම් නිබන්ධය අරඹමින් ආචාර්ය Penelope Hangy මෙසේ සඳහන් කරයි. 

"ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ආචාර්ය උපාධිවලින් හරි අඩක්‌ ම හිමි කරගන්නේ කාන්තාවන් වුව ද විශ්වවිද්‍යාල තුළ සේවයේ යෙදී සිටින්නේ කාන්තාවන් 39%ක්‌ තරම් අඩු ප්‍රතිශතයක්‌ පමණයි. ඒ සියලු විෂය දහරාවන්ට අදාළ තත්ත්වයයි. විද්‍යාවට අදාළ තත්ත්වය මීට වඩා ෙ€දනීයයි. විද්‍යා හා ඉංජිනේරු අංශ සැලකූ කල කාන්තාවන් ආචාර්ය උපාධි ප්‍රමාණයෙන් 40%ක්‌ පමණ හිමි කරගන්නවා. ෙ€දනීය කරුණ නම් එම පීඨවල සේවයේ යෙදී සිටින කතුන් ප්‍රතිශතය 28%ක්‌ තරම් අඩු සංඛ්‍යාවක්‌. ඇමෙරිකාව තුළ සිටින සියලු ම අංශවල විශ්වවිද්‍යාල මහාචාර්යවරියන් ගේ ප්‍රතිශතය 24%ක්‌ පමණයි. එනම් පිරිමින් හා සසඳන කල 4න් එකකටත් අඩුයි.

විද්‍යා අංශයේ හා ඉංජිනේරු අංශයේ මහාචාර්යවරියන් ගේ ප්‍රතිශතය මීටත් අඩුයි. එනම් 19%ක්‌ පමණයි. Penelope තම නිබන්ධයෙන් පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඇකඩමියාව කෙතරම් ප්‍රජාතාන්ත්‍රවාදී හා සම අයිතීන් සහිත එකක්‌ යෑයි කීව ද විද්‍යා ඉංජිනේරු පීඨ ආශ්‍රිත ව සුවිශාල පුරුෂ හෙජමොනියක්‌ (බලාධිකාරයක්‌) ගොඩනැගී ඇති බවයි. පුරුෂ කායික ශක්‌තිය ජීව විද්‍යාත්මක වෙනස්‌කම් චර්යා මීට බලපාන බව Penelope පෙන්වා දෙයි. 

විද්‍යා පීඨ තුළ පුරුෂ හෙජමොනියක්‌ 

"පීඨවල නිතර ම උත්සව පැවැත්වෙනවා. මේවායේ දී බාර්වලට ගොස්‌ පැවැත්වෙන උත්සව හා සාකච්ඡා බහුලයි. මේ වගේ අවස්‌ථාවල දී ස්‌ත්‍රිය අසරණ වනවා. 'බාර් මීටිං' විද්‍යා පීඨවල බහුලයි. මැත්පැන් බීගෙන පිරිමිත් එක්‌ක පිස්‌සු නටාගෙන 'සෙට්‌' වෙන ස්‌ත්‍රීන්ට විශේෂ සැලකිලි ලැබෙනවා. ඒ දෙය බොරු නො වෙයි. ඒ දේවල්වලට සහභාගි නො වන ස්‌ත්‍රී ආචාර්යවරියන්ට මිත්‍රත්වයේ හස්‌තය දිගු වන්නේ නැහැ. එසේ ම සමහර ඉදිරි අවස්‌ථා මගහැරී යනවා. ඉතිං ස්‌ථීර ව ම පිරිමින්ට සමීප නො වන කාන්තා ආචාර්යවරියන්ට අසාධාරණයක්‌ වනවා." 

එසේ සඳහන් කරන්නේ Penelope ය. Penelope සඳහන් කරන තවත් වැදගත් කරුණක්‌ වන්නේ ශිෂ්‍යයන් මහාචාර්යවරියන්ට හා ආචාර්යවරියන්ට ගරු කරන්නේ එම තනතුර ම දරන පුරුෂයන්ට වඩා අඩුවෙන් බවයි. සමහර සිසුන් අවවාද දීම් නො රුස්‌සන බවත් ඇතැම් අවස්‌ථාවල දී පිරිමි සිසුන් වෙතින් ඉතා හිංසාකාරී ප්‍රතිචාර ලැබෙන බවත් ඇය පෙන්වා දෙයි. 

Penelopeට අනුව විද්‍යා හෝ ඉංජිනේරු පීඨ තුළ ඉහළ ම තනතුරු දරන කතුන් ස්‌වල්පයක්‌ සිටිය ද ඔවුනට එතැනට යා හැකි ව තිබුණේ පවුලක්‌ ගොඩනගාගන්නේ නැති ව විෂයට ම කැප වීමෙනි. එනම් එවැනි උසස්‌ තනතුරු දරන සියලු කතුන් අවිවාහක හෝ දික්‌කසාද වූ අය බව Penelope කියයි. එහෙත් විද්‍යා පීඨවල හෝ පර්යේෂණ ක්‍ෂේත්‍රවල උසස්‌ තනතුරු දරන පිරිමින් ගේ තත්ත්වය මීට වෙනස්‌ බවද ඇය කියයි. විද්‍යා හා ඉංජිනේරු ක්‍ෂේත්‍රවල යම් තරමක ස්‌ථාවරභාවයට පත් ව සිටින (ඉහළ ම නො වේ) පිරිමින් ගෙන් 83%ක්‌ විවාහ වී හොඳ පවුල් ජීවිත ගෙවන මුත් ඔවුනට සමාන තනතුරු දරන ස්‌ත්‍රීන් ගේ එම ප්‍රතිශතය පුරුෂ ප්‍රතිශතයේ අගයෙන් අඩකට සමාන ය. 

ලංකාවේ විද්‍යාඥවරියන්ට පුරුෂ බලපෑම් නැහැ

විජාතික විද්‍යා පදනමේ සීතා වික්‍රමසිංහ හා දිල්රුක්‌ෂි රණතුංග විසින් Status of Women Scientist in Sri lanka ක්‌බන් මැයෙන් කරන ලද අධ්‍යයනයක්‌ මගින් ලංකාවේ විද්‍යාඥවරියන් ගේ තත්ත්වය ගැන පුළුල් මට්‌ටමේ අනාවරණයක්‌ සිදු කර තිබේ. 

විශේෂයෙන් ම ඉංජිනේරු හා තොරතුරු තාක්‌ෂණ ක්‍ෂේත්‍ර ආශ්‍රිත අඩු කාන්තා සහභාගිත්වය ගැන එහි දී විග්‍රහ කොට තිබේ. මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයන් කාන්තා විද්‍යාඥයන් 1628 දෙනකු ගේ දත්ත භාවිත කොට තිබේ. උත්තර දුන් සාම්පලයෙන් 26ක්‌ ම ආචාර්ය උපාධිධාරිනියන් ය. මෙහි දී පර්යේෂකයන් අවධාරණය කරන වැදගත් ම කරුණ විද්‍යාඥයකු ලෙස ඉදිරියට යැමේ දී ස්‌ත්‍රියක වීම හේතු කොටගෙන පුරුෂයන් වෙතින් අසාධාරණකම්වලට ලක්‌ වන්නට තමන්ට සිදු නො වූ බව මේ විද්‍යාඥවරියන් පවසා තිබීමයි. 

එය එසේ වෙතත් පිරිමින්ට සාපේක්‌ෂව නිබන්ධ ඉදිරිපත් කිරීම් ආදියේ දී තමා ගේ පමා වීම් ඇති වූ බව සමහර කතුන් පිළිගෙන තිබේ. එසේ ම ගෙදර දොර වැඩ කටයුතු (ගෘහනියක හා මවක) නිසා උසස්‌ අධ්‍යාපන කටයුතුවලට බාධා ආ බව ද ඔවුන් පිළිගෙන තිබේ. මේ කරුණ ද පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු වන්නකි.

මන්ද යත් ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාව (Gender Inequality) යන්න තුළට ගොනු වන්නේ පුරුෂයන් වෙතින් ස්‌ත්‍රීන්ට වන අකටයුතුකම් පමණක්‌ නො වන බැවිනි. අනිවාර්යයෙන් ම ගෙදර දොර වැඩ, (විවාහ ජීවිත තුළ) සැමියා ගේ විරෝධතා, දරුවන් ගේ ප්‍රශ්න ආදිය ද ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට සම්බන්ධ ගැටලු වේ. මන්ද යත් මෙවැනි සබඳතා කාන්තාව වෙත කේන්ද්‍රගත වන්නේ ඇය කාන්තාවක වීම නිසා ම ය. 

ඇය කාන්තාවක නො වී නම් ඇයට ආචාර්ය උපාධි නිබන්ධය සැකසීමට ගත කළ යුතු කාලය දරුවන් හා සැමියා නැළවීමට/සැනසීමට ගත කළ යුතු වන්නේ නැත. ආචාර්ය උපාධියකට සැරසෙන පිරිමියකු රැකියා ස්‌ථානයෙන් නිවාඩු ලබාගත් කල සාමකාමීව තම නිබන්ධයේ වැඩවලට කාලය (ආර්ථිකව සවිමත් ව සිටිය යුතු ය) වැය කළ හැකි ය. ස්‌ත්‍රී විද්‍යාඥයකුට, ආර්ථිකව සවිමත් වුවත් එය එසේ කළ නොහැකි ය. කුඩා දරුවකු සිටිනවා නම් ඒ දරුවා ගැන බැලිය යුතු ය. ගෙදර මහලු අබල දුබල කෙනකු සිටිනවා නම් ඒ කෙනා ගැන බැලිය යුතු වේ. එහෙයින් මේ පාර්ශ්වයන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අය ප්‍රස්‌තූතය නිරවද්‍ය ලෙස අවබෝධ කරගෙන සිටියා ද යන්න ගැටලුවකි. 

කෙසේ වෙතත් පර්යේෂකයන් කාන්තාවන් මුහුණ දෙන මේ ගැටලු පොදුවේ හඳුනාගෙන ඇති බව පෙනෙන්නේ ඔවුන් තම නිගමනය ඉදිරිපත් කිරිමේ දී ලබා දෙන යෝජනා අනුව ය. විශ්වවිද්‍යාල හා වෙනත් එවැනි ආයතන තුළ දරුවන් බලාගැනීමේ මධ්‍යස්‌ථාන වැනි දේ ඉදි කළ යුතු ය යන යෝජනාව පර්යේෂකයන් ඉදිරිපත් කර තිබේ. 

එසේ ම මෙහි දී තරුණ කනිෂ්ඨ විද්‍යාඥවරියන් විසින් කරන ලද චෝදනාවක්‌ ගැන ද සඳහන් කර තිබේ. තමන්ට උපරිම ධාරිතාවෙන් සේවය කරන්නට තරම් සම්පත් ආයතන තුළින් නො ලැබෙන බව එම චෝදනාවයි. තමන්ට ස්‌ත්‍රියක වීම නිසා අනාගත අවස්‌ථා ද මගහැරෙන්නේ ය යන්න බොහෝ ලාංකික කනිෂ්ඨ විද්‍යාඥවරියන් පවසන දෙයකි. 

මේ අධ්‍යයනයේ දී බරපතළ මට්‌ටමේ පීඩන පුරුෂ පක්‌ෂයෙන් එල්ල නො වන බවට මතවාදයක්‌ ගොඩනැගී තිබුණ ද නම් හෙළි කිරීමට අකැමැති ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියන්, පර්යේෂිකාවන් හා පර්යේෂණ හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල ප්‍රධානීන් කීප දෙනකු ම අප හා කියා සිsටියේ ලංකාවේ ද අධ්‍යාපන විද්‍යා හා පර්යේෂණ ක්‍ෂේත්‍රවල පුරුෂාධිපත්‍යය ක්‍රියාත්මක වන බවයි. එම පීඩන සුළු සුළු විහිළුවල සිට බරපතළ ලිංගික අඩන්තේට්‌ටම් හා තර්ජන දක්‌වා විහිද ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

මිථ්‍යා විශ්වාස, විද්‍යාව හා කාන්තාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයන අංශයේ එච්. එම්. ඒ. හේරත් විසින් 2015 වසරේ දී කරන ලද "Place of Women in Sri Lankan Socitey මැයෙන් වූ අධ්‍යයනයෙහි ලංකාවේ කතුන් ගේ තත්ත්වය පිළිබඳ කදිම විවරණයක්‌ ඇතුළත් වේ. මේ අධ්‍යයනය ගැන තොරතුරු Vmj ජර්නලයේ 2015 Vol 01 (1)14 හි පළ විය. 

එහි දී හේරත් අවධාරණය කරන්නේ ලංකාව තුළ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය හේතු කොටගෙන විද්‍යා අධ්‍යයන හෝ වෙනත් ක්‍ෂේත්‍රවල වෘත්තික කාන්තාවන්ට විශාල පීඩනයක්‌ නොමැති මුත් පීතෘ මූලික සමාජ ක්‍රමය හා තවත් අයහපත් සාධක හේතු කොටගෙන හානිකර තත්ත්ව ගොඩනැගී ඇති බවයි. සමාජයේ පවතින මිථ්‍යා විශ්aවාස ඇතැම් විට කාන්තාවන්ට තම වෘත්තිය ක්‍ෂේත්‍රවල ඉහළට යන්නට බාධා පමුණුවන බව හේරත් පෙන්වා දෙයි. ගැහැනු ළමයකු ගේ උපත පවා අඩු තස්‌කේරුවකට බඳුන් කරන (පිරිමි දරුවකු ගේ උපත මහත් ප්‍රීතියෙන් වැළඳගන්නා) සමාජයක ස්‌ත්‍රයට අගතීන් සිදු වීම අරුමයක්‌ නො වන බව ද හේරත් පෙන්වා දෙයි. එසේ ම ගැහැනු ළමයකු වී උපත ලැබීම පෙර කර්මයක්‌ යෑයි විශ්වාස කරන අය මේ සමාජයේ බහුල බව ද හේරත් පෙන්වා දෙයි. තව ද පිරිමියකු වීමට නම් මේ අත්මයේ වැඩිපුර පින් රැස්‌ කළ යුතු යෑයි ද මේ සමාජය තුළ විශ්වාසයක්‌ මුල් බැසගෙන තිබේ. එනිසා මේ රට තුළ පවා සමාන අයිතීන් තිබෙන බවට ව්‍යවස්‌ථාවල සඳහන් වුව ද එය සැබෑවක්‌ නො වන බව පෙනී යයි. ගම්බද අහිංසක දැරියක උපත ලබන්නේ සියලු සමාන අයිතීන් (පිරිමි දරුවකුට සාපේක්‌ෂව) සහිත ව විය හැකි ය. එහෙත් හැදී වැඩෙන්නේ ගැහැනු ළමයකු ගේ අයිතීන් කප්පාදු කරන්නට බලා සිටින පරිසරයක ය. 

විශ්වවිද්‍යාලවල බහුතරය ශිෂ්‍යාවන් වුව ද ශිෂ්‍ය නායක තනතුරු සඳහා (ශිෂ්‍ය කවුන්සිලවල) කිසි විට ගැහැනු ළමයින් පත් නො වන බව ද හේරත් අවධාරණය කරයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සැලකුව හොත් අනුපාතය ගැහැනු 60%ට පිරිමි 40%ක්‌ වේ. එහෙත් විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්‌ඩල සැලකූ කල ඕනෑ ම අධ්‍යයන අංශයක බහුතරය පිරිමි ය. ශ්‍රී ලංකාවේ උසස්‌ අධ්‍යාපන ඉතිහාසය තුළ උපකුලපතිවරියන් හා විද්‍යාපීඨාධිපතිවරියන් සිටින්නේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙන් බව පර්යේෂකවරිය පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක්‌ යටතේ දී කවුරුන් හෝ විද්‍යා හා උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රවල ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ ගැටලු නැතැයි පවසන්නේ නම් ඒ හුදෙක්‌ විහිළුවක්‌ නො වන්නේ ද? 

මනෝඡ් රත්නායක

ස්‌ත්‍රී පුරුෂ වශයෙන් අගතීන් සිදු වීමක්‌ විද්‍යා හා උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රවල සිදුවේ ද යන්න ගැන අප විමසා සිටි විද්වතකු වූයේ සංවර්ධන අධ්‍යයන ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණික උගතකු වන කැලණිය සරසවියේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අධිපති ආචාර්ය ඒ. ජී. අමරසිංහ මහතා ය. අමරසිංහ විද්වතාට අනුව ලංකාවේ උසස්‌ අධ්‍යාපන හෝ විද්‍යා අධ්‍යාපන හා පර්යේෂණ ආයතනවල එවැනි අගතියක්‌ නො තකා හැරීමක්‌ සිදු නො වේ. මේ ඔහු ඒ ගැන දැක්‌වූ අදහසයි. 

"ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය යනුවෙන් හඳුන්වන්නේ ස්‌ත්‍රී හා පුරුෂ වශයෙන් ජීවවිද්‍යාත්මක ලක්‌ෂණ මත ලිංගභේදය අනුව බෙදීම හේතුවෙන් නිර්මාණය වී තිබෙන සාමාජීය හා සංස්‌කෘතික තත්ත්වයයි. 

ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය යන වදන ගොඩනැගී ඇත්තේ ඉංගී්‍රසි Gender පාදක කරගෙනයි. ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය අර්ථ දැක්‌වීමේ දී සමාජ පිළිගැනීම නැමැති සාධකය ඉතා වැදගත් වනවා. දැන් ඔබ විමසූ ප්‍රධාන ප්‍රශ්නයට මා පිළිතුරක්‌ දෙන්නම්. විශ්වවිද්‍යාලයයේ ආචාර්යවරයකු ලෙස හා පරිපාලන නිලධාරියකු ලෙස අත්දැකීම් ඇතිs පර්යේෂකයකු වන මගේ වැටහීම අනුව නම් ලංකාව තුළ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දී ස්‌ත්‍රියක වීම නිසා කවුරුන් හෝ අගතියට මුහුණ දෙන්නේ නැහැ. සමහර රටවල උසස්‌ අධ්‍යාපන ආයතනවල එහෙම තත්ත්වයක්‌ තිබෙන්නට පුළුවන්. එහෙත් අපේ රටේ එහෙම දෙයක්‌ නැහැ. අප රටේ කාන්තාවන්ට සමාන හිමිකම් (Equal Rights) තියෙනවා. විශ්වවිද්‍යාලවල පවා උසස්‌ තනතුරු දරන කතුන් ඕනෑ තරම් සිටිනවා.

හැබැයි සමහර ක්‍ෂේත්‍රවල කාන්තාවන් අඩු වැඩි වීම නිසා කෙනකුට වැරැදි වැටහීමක්‌ අති වන්න පුළුවන්. මොකද සමහර කාර්¨යයන් හෝ විෂය ක්‍ෂේත්‍රවලට කාන්තාවන් අඩුවෙන් තමයි යොමු වන්නේ. සමහර ඒවාට වැඩියෙන් යොමු වෙනවා. ඔබ ම සඳහන් කළ පරිගණක හා තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු අංශවල අඩු කාන්තා සහභාගිත්වයක්‌ ඇත්නම් ඒ පුරුෂයන් ගෙන් සිදු වූ අගතියකින් වූවක්‌ නො වෙයි. එයට බලපාන්න ඇත්තේ වෙනත් හේතු. ශිෂ්‍ය මට්‌ටමේ දී හෝ ආචාර්ය මට්‌ටමේ දී පිරිමි පාර්ශ්වයෙන් කාන්තාවන්ට විෂය තෝරාගැනීමට අදාළව අනිසි බලපෑමක්‌ කෙරෙන්නේ නැහැ නේ. සමහර වෙලාවට ගැහැනු ළමයින් ඒ විෂයන්ට යොමු නො වන්නේ ඒ අය ගේ අකැමැත්ත නිසා. සමහර වෙලාවට ගෙදරින් ඇති වන බලපෑමක්‌ මත තෝරාගැනීම කරන්න නො කරන්න ඉඩ තියෙනවා. හැබැයි කාන්තාවන්ට කළ හැකි වැඩ තියෙනවා. කරන්න තරමක්‌ අමාරු වැඩ තියෙනවා. මේ දේවල්වලට සමාජ පිළිගැනීමත් යම් තරමකට බලපානවා. 

ස්‌ත්‍රිය මේ මේ විදිහට හැසිරෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ කියලා සමාජය තුළ පිළිගැනීමක්‌ තියෙනවා. එය සමාජ ගොඩනැංවීමක්‌ (Social Construction) ලෙස හැඳින්විය හැකියි. ස්‌ත්‍රිය අඳින්න ඕනේ ගවුම හෝ සාරිය. නැත්නම් රෙද්ද හැට්‌ටය. ස්‌ත්‍රිය ඇග වැඩිය නො පෙනෙන පරිදි අඳින්න ඕන කියන පිළිගැනීම පවතිනවා. පිරිමියා සරම කලිසම කමිස වේට්‌ටි අඳිනවා. පිරිමියා ඕන නම් උඩු කය විවර කරගෙන සිටිනවා. ස්‌ත්‍රිය කථා කරන්නේ මෘදු ව. පිරිමියා ඊට වෙනස්‌ විදිහට කතා කරනවා. දෙගොල්ල අඳින පළඳින ක්‍රම වගේ ම විලාසිතාත් වෙනස්‌. ගැහැනුන් තොල් නිය පාට කරනවා. පිරිමින් එහෙම කරන්නේ නැහැ. පැවරෙන කාර්යයන් වෙනස්‌. ගෙදර දොර වැඩ, දරුවන්a බැලීම, ඉවුම් පිහුම් ගැහැනිය කරනවා. ගේ අතුගාන්නේ බිරිය හෝ දුව මිස පුතා හෝ තාත්තා නො වෙයි. තාත්තා ගෙදර ඉපයීම කරනවා. ආරක්‌ෂාව සපයනවා. මේ විදිහට කාර්ය බෙදී යැම නිසා සමාජ ප්‍රගමනය ඉතා හොඳට සිදු වුණා. මේ විදිහට දෙපිරිසක්‌ විදිහට ගමන් කිරීම නිසා සමාජ වර්ධනය අවුලකින් තොර ව සිදු වුණා. එතෙන දි අසාධාරණයක්‌ වුණේ නැහැ. සමාජ පිළිවෙළ පවත්වාගෙන සමාජය ඉදිරියට ම ගියා. 

හැබැයි දැන් පිළිවෙළ අවුල් වෙලා. විකාරයක්‌, විකෘතියක්‌ ගොඩනැෙගන බව පෙනෙනවා. ඉස්‌සර ගැහැනුන් විතර නේ ඇහිබැම ගෑවේ. නිය පාට කළේ. දැන් පිරිමිත් ඒ දේ කරනවා. කොණ්‌ඩය ටින්ට්‌ කළ, ගැහැනු විදිහට කොණ්‌ඩය වවාගත් පිරිමි දැන් දැකගත හැකියි. පිරිමින් විදිහට අඳින පළඳින හැසිරෙන ගැහැනුත් දැකගත හැකියි. මේ විදිහට වෙනස්‌ වී ගිය හොත් අවුලක්‌ විකෘතිsයක්‌ ඇති වනවා තමයි." 

ජාතික විද්‍යා පදනමෙහි මුල් පුටුව හොබවන්නේ ද කාන්තාවකි. මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු ඒ කාන්තාවයි. 

ශ්‍රී ලංකාවේ විද්‍යාඥ ප්‍රජාව තුළ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව යම් අගයක්‌ පවතින්නේ ද යන්න ගැන විමසීමට අපි ඇය සම්බන්ධ කර ගතිමු. 

"ජාතික විද්‍යා පදනම මෑතක දී ව්‍යාපෘතියක්‌ ඇරඹුවා "Women In Science" කියා. එය ආරම්භ කළේ පර්යේෂණවල නියෑළී සිටින කතුන් සවිබල ගැන්වීමටයි. එහෙම ව්‍යාපෘතියක්‌ පටන් ගන්නෙ ම ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව අගතීන් පවතින නිසයි. හැබැයි මීට හේතුව පුරුෂාධිපත්‍යය කියා මා පවසන්නේ නැහැ. හැබැයි යම් ප්‍රශ්න තිබෙනවා. උසස්‌ තනතුරුවලට අදාළ හා තිරණ ගැනීම් තත්ත්වවලදී ප්‍රශ්න තිබෙනවා. විද්‍යා ක්‌ෂේත්‍රයට අදාළ මණ්‌ඩලවල සංයුතිය සැලකුව හොත් පිරිමි ප්‍රතිශතිය වැඩියි. හැබැයි විශ්වවිද්‍යාලවලට ඇතුළු වන ගැහැනු ළමයි ප්‍රමාණය වැඩියි. ඉහළ තනතුරුවල කාන්තා ප්‍රතිශතය අඩුයි. විශේෂයෙන් ම දරුවන් ලැබීමෙන් පසු වැඩට යන කතුන්ට රාජකාරිමය ගැටලු ඇති වනවා. මේ දේවල් ගැන කතා නො කර හිටියොත් මේ තත්ත්වය කවදා වත් වෙනස්‌ වෙන්නේ නැහැ. මං හිතන්නේ මේ ගැටලුවලට හේතුව දිගු කලක්‌ තිස්‌සේ ඇති වූ සංස්‌කෘතික ගොඩනැගීම්. 

තුළ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් අප හා අදහස්‌ දැක්‌වූ තවත් ලාංකීය විද්‍යාඥවරියක වූයේ විද්‍යා තාක්‌ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයයේ ව්‍යාපෘති විද්‍යාඥ වෛද්‍ය සචී පනාවල මහත්මිය ය. ඇයට අනුව මෙරට විද්‍යා පර්යේෂණ ක්‍ෂේත්‍රය තුළ යම් ආකාරයක අසාධාරණකම් ස්‌ත්‍රීන්ට සිදු වේ. මේ ඇගේ ප්‍රකාශයයි. 

"මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක්‌ නැහැයි කියන්න බැහැ. උපාධි අපේක්‌ෂකයන් වැඩි දෙනෙක්‌ ගැහැනු අය වුණත් පරිපාලන අංශය තුළ ගැහැනු අය අඩුයි. වගකීම් දෙන අය ස්‌ත්‍රීපුරුෂ සමාජභාවය (Gender) දෙස බලනවාට වඩා පුද්ගලයා දෙසයි බලන්නේ. හැබැයි අන්තිමේ දී අසාධාරණයක්‌ වෙලා තියෙන්නේ කාන්තාවටයි. එනිසා ඇත්තට ම ගැටලුවක්‌ එනවා. මගේ අදහසට අනුව නම් ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය යන්න තුළින් අර්ථකථනය වන්නේ ස්‌ත්‍රිය හා පුරුෂයා ජෛව විද්‍යාත්මකව වෙනස්‌ බවයි. එකෙක්‌ අනෙකාට වඩා උසස්‌ හෝ පහත් බවත් එයින් ගම්‍ය වන්නේ නැහැ. ඇත්තෙන් ම ප්‍රශ්නය ඇති වන්නේ කෙනෙක්‌ අනෙකාව පහත් කොට බලනවා නම් තමයි. ගැහැනු අය ගේ පසුගාමී ලක්‌ෂණ තියෙනවා යෑයි කියා ඇතැමුන් හිතෙනවා. මේ පසුගාමී ලක්‌ෂණ ඇත්තට ම පවතින දේ නො වෙයි. තීරණ ගන්න අය ගේ මනසේ තමයි මේ සිතුවිලි තියෙන්නේ. ගැහැනු අය ගේ මේ පසුගාමී ලක්‌ෂණ ඇතැයි සිතමින් ඔවුනට ලබා දිය යුතු තැන් ලබා නො දී සිටීම නිවැරැදි නැහැ. "

http://www.vidusara.com