අප චිත්‍රපට බලන්නේ ඇයි? වැඩි දෙනකුගේ පළමු පිළිතුර විනෝදය පිණිසය යන්නය. එය සැබෑය. ඒ නිසා කවදත් සිනමාවේ විනෝදාත්මක චිත්‍රපට බහුලය. එහෙත් ඒ අතර ඉඳහිට නිපදවෙන සිනමාත්මක බසින් පොහොසත් අර්ථපූර්ණ චිත්‍රපටද තිබේ. ඒවාට රොද බැඳගත් ප්‍රේක්‌ෂක පිරිසක්‌ද සිටී. උදාහරණ ලෙස ගතහොත් "හතරදෙනාම සූරයෝ" අතිශය ප්‍රබෝධයක් මතුකළ විනෝදාත්මක චිත්‍රපටයකි. එමෙන්ම නිධානයද, හතර දෙනාම සූරයෝ තරම්ම ප්‍රේක්‌ෂක හරසර ලැබූ චිත්‍රපටයකි.
හොඳ චිත්‍රපට යනු එවේලේ හුදු විනෝදය සපයන්නක් නොවේ. ඒවා මිනිසුන්ගේ කල්පනාවන්ට අලුත් කල්පනා ලබා දේ. ජීවිතය ගැන අප මින් පෙර නොදත් දේ කියා දේ. ඒ චිත්‍රපට අපට කියාදෙන දෙයින් අපි එතෙක් වැළඳගෙන සිටි පරණ හැව අත්හැර නව දීප්තියකින් බැබලෙන්නට පටන් ගනු ලැබේ. අප වඩාත් හොඳ මිනිසුන් බවට පත්වන්නේ අර්ථ පූර්ණ කලාවන් හරහා ය.
මෑතකාලීනව ගතහොත් සුනිල් ආරියරත්නගේ බෝ මැඬ වගුරන කිරි කළ දහසින් වැනි පද මාලාවකින්, ජෝර්ඡ් කීට්‌ගේ බේබදු සැමියා වැනි චිත්‍රයකින්, පරාක්‍රම කොඩිතුවක්‌කුගේ ගලින් ගලට පය තිය තියා වැනි කුසුමලතාගේ කවියකින්, රාජිත සිරිවර්ධනගේ සිරිවර්ධන පවුල වැනි නාට්‍යයකින්, අශෝක හඳගමගේ ගේ ඉනි අවන් වැනි චිත්‍රපටයකින් අප ජීවිතය ගැන අලුතින් උගත්තෝ වෙමු. ඔවුන් ඇතුළු කලාකරුවන් රාශියක් දෙනා අලුත් අර්ථ සම්භාරයක් අප වෙත සම්පාදනය කර දෙමින් සිටිත්.
මේ එවැනි කලාකරුවකුගේ කලා කෘතියක් ගැන ස්‌තුතියෙන් යුතුව ලියනු ලබන කෙටි සටහනකි.
හෝගානා පොකුණ යනු අප කුඩා කාලයේ තේරවිල්ලකි. හෝ ගානා පොකුණ මොකක්‌දැයි ඇසූ විට අපේ ළමා වියේ එය කුමක්‌දැයි නොදත් ළමෝ බොහෝ සිටියහ. මක්‌නිසාද එකල බොහොමයක් ළමෝ හෝගාන පොකුණ දැක නොතිබූ හෙයිනි. විශ්මයජනක කරුණ නම් එයින් 50 වසරකට පසුව වෙසෙන අද ළමයෙකුගෙන් හෝගානා පොකුණ කුමක්‌දැයි ඇසූ විට පිළිතුරු දෙන්නට ඔවුන්ද නොදත් කමය. පිළිතුරු දෙන්නට අසමත් හැම ළමයෙක්‌ම මහ මුහුද දැක ඇති ළමුන්ය. පරම්පරා දෙකක වෙනස හෝ ගාන පොකුණ අපට සිහිපත් කර දෙයි.
ගෝ ගාන පොකුණ චිත්‍රපටයට තේමා වන්නේ, ඉතා දුෂ්කර ගම් පෙදෙසක පාසලක මහ මුහුද නුදුටු දරු දැරියන් පිරිසක් මහ මුහුද දකින්නට යැම ප්‍රීතිමත් ගමනකින් කෙළවර වීමයි.
බැලු බැල්මට මෙය සරල පුවතකි. එහෙත් මේ චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්‍ෂවරයා (ඉන්දික µර්ඩිනැන්ඩු) මේ සරල පුවතින් ඉතා අනර්ඝ ගණයේ චිත්‍රපටයක් ප්‍රේaක්‍ෂකයා වෙත ප්‍රදානය කොට ඇත.
හෝ ගාන පොකුණ ළමා චිත්‍රපටයක් ලෙස හැඳින්වුවද එය නරඹන විට අපට හැඟෙන්නේ එය ළමා සිනමා පටයක් ලෙස නොවේ. එය වැඩිහිටි අයද නැරැඹිය යුතු සිනමාවකි.
මේ දුෂ්කර පාසලට අලුතින් පත්වී එන තරුණ ගුරුවරිය කොළඹ පළාතේ යුවතියකි. පාසලේ සිටින්නේ ළමුන් දහඅට දෙනෙක් සහ විදුහල්පති පමණි. විදුහල්පති ළමුන් ලවා පාසල් බිම වගාකොට ඒ මුදල යටිමඩි ගසා ගත්තෙකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසලට ලැබෙන පියානෝව පැදුරකින් වසා තබන විදුහල්පති ළමුන්ට කියන්නේ එතුළ මකරෙකු සිටින බවත්, එනිසා අත නොතබන ලෙසත්ය.
මෙලෙස සෑම අතකින්ම වල්වැදී තිබුණු කුඩා පාසල පණ ගසා ඉපදෙන්නේ තරුණ ගුරුවරියගේ ආගමනයත් සමඟය. නරඹන්නාටද පාසලේ ළමුන්ටද නව සමාජ ආකල්ප හඳුන්වා දෙන්නේ රැඩිකල් චින්තනයෙන් හෙබි තරුණ ගුරුවරියයි. ආචීර්ණ කල්පිත විදුහල්පති පවා මේ ගුරුවරිය නිසා කෙමෙන් වෙනස් වෙයි.
මූලික ගැටුම ඇරැඹෙන්නේ මේ ගැමි ළමුන් කිසිවෙකුත් හෝ ගානා පොකුණ හෙවත් මහ මුහුද දැක නැති බව අනාවරණය වීමත් සමඟය. මේ ඈත දුෂ්කර ගමේ සිට මුහුද බලන්නට කොළඹ යැම අති දුෂ්කර කාර්යයකි. ගමනට ගමේ තිබෙන එකම බස්‌රථය ග්‍රාමසේවක සතුය. ඔහු බස්‌රථය දීම අතපසු කරයි. රිය පදවන රියෑදුරාට ලයිසන් නැත. ළමයින් අත මුදල් නැත.
නමුත් තරුණ ගුරුවරිය සටන අත්නොහරී. චිත්‍රපටය අප හා බැඳෙන්නේ එම අරගලය තුළිනි.
සිනමා පටයක් වුවද මෙහි අධ්‍යක්‍ෂවරයා නාට්‍ය වේදියෙකු නිසා චිත්‍රපටය නාටකීය අවස්‌ථාවලින් අලංකෘත කොට තිබේ. ඒ නාටකීය බව චිත්‍රපටය හා ප්‍රේක්‍ෂකයා අතර බැඳීම තීව්‍ර කරයි.
නළු නිළියන්ගේ රඟපෑම් ප්‍රශංසනීයය. ප්‍රධාන චරිතය රඟපාන අනුෂයා සුබසිංහ හොඳ රඟපෑමක යෙදෙන මුත්, ඇතැම් විට ප්‍රමාණය ඉක්‌මවා යැම්ද දැකිය හැක. ප්‍රතිභාවෙන්ද පළපුරුද්දෙන්ද අනූනයෙකු වූ ජයලත් මනෝරත්නගේ රඟපෑම් මේ ළමා චිත්‍රපටයට මහත් ආලෝකයක් සපයයි.
ඇතැම් සිද්ධීන්වල නොගැලපීම් තිබේ. රියෑදුරෙක් නැති නිසා අවසානයේ බස්‌රථය පදවාගෙන යන්නේ තරුණ ගුරුවරියයි. එය තරුණ ගුරුවරියට අනවශ්‍ය වීරත්වයක් ආරෝපණය කිරීමක් ලෙස පෙනේ. ගමන යා යුතුව තිබුණේ ළමෝ ඉතා මහන්සියෙන් හදාගත් රියෑදුරා සමඟමය. එසේ නම් අවසානය තවත් ප්‍රීතිමත් වනු ඇත.
හොඳ කලා කෘතියකින් විය යුත්තේ සමාජයට හොඳ නරක කියා දීම නොව අලුත් අර්ථවත් අදහස්‌වලින් සමාජය අලුතින් සිතන්නට පෙළඹවීමය. හෝ ගාන පොකුණ එවැනි චිත්‍රපටයකි.
මෙය ළමුන් පමණක් නොව වැඩහිsටියන් සේම ගුරුවරුද බැලිය යුතු එකකැයි යෝජනා කරන්නේද නොඑසේ නම් ඔවුන් හෝ ගානා පොකුණට තල්ලු කොට එය බලන්නට බල කළ යුතු යෑයි යෝජනා කරන්න් සද්භාවයෙනි.
චන්දසිරි දොඩන්ගොඩ www.divaina.com