පුංචිම පුංචි කාලේ අපි හීන දැක්කලු. හීනෙන් හිනාවෙනවලු, හීනෙන් අඬනවලු. එවා සුරංගනා සිහින. ලොකු අය කිව්වේ සුරංගනාවො ඇවිත් අනම් මනම් කියනවලු. ඒව කිරි සිහින.
ටිකක් ලොකුවෙලා සෙල්ලම් ගෙවල් හදන කාලෙ, අල්ලපු ගෙදර ඔයයි මෙහා ගෙදර මමයි එකතුවෙලා සෙල්ලම් කළා.
මම දොස්තර කෙනෙක් වෙලා නළාවක් හදාගෙන ඔයාගෙ ලෙඩ බැලුවා. ඒව අහිංසක සිහින. වැට මායිමට අම්මලා තාත්තලා රණ්ඩු වුණත් අපි දෙන්නගෙ හීන මැකුණෙ නෑ. අපි දෙන්න හිනාවුණා. කතා කළා.
ඉස්කෝලෙට ගිහින් යොවුන් විය ඉස්මත්තෙදි, ගැහැනු ළමයි පිරිමි ළමයි අතර සැරිසරනකොට ළෙන්ගතුකමේ හීන එහෙම්මම තිබුණා. තව අය අතරෙ පාට පාට යොවුන් සිහින තිබුණ.
ඇකිල මැකිල යන හීන හිතේ දරාගෙන -සා.පෙළ විතර එනකොට ගම්පෙරළිය, යුගාන්තය, කලියුගය, ගිරා සැලලිහිණි සංදේශ හදාරගෙන යනකොට යොවුන් සිහින පෙම් සිහින වගේ පාට වැටුණා. අමතරව ගොළු හදවත, බඹාකෙටූ හැටි වගෙ කතා අතින් අත මාරුවෙවී කියවෙන කොට දකින හීන ලොකු ලොකු හීන වුණා.
එහා ගෙදර අයිය මම, මෙහාගෙදර නංගි ඔයා, ඉස්කෝලෙදි වගෙම ගමේ ගුරු පාර දිගේ ආව ගිය අපි අතරෙ පෙම් සිහින මැවෙන්න ගත්ත. ඕක තමයි හැබෑ කරගන්න අමාරුම සිහිනය. එපා කියන අය, තහංචි දමන අය, අකුල් හෙළන අය වැඩිවෙන තරමට තමයි ඔය හීනය හැබෑ වෙන්න පටන් ගන්නෙ.
පාසලෙන් පිටමං වෙලා,රැකියා මං පාදගත්තහම පෙම් සිහින දලුලනවා. දැන් ඒවා මංගල හීන.වැට මායිම්වලට රණ්ඩු වෙච්ච මවුපියන් වැට මායිම් යා වෙන බව දැන ගත්තහම ඒ ගොල්ලන්ටත් හීන පේන්න ඇති. ඔක්කොම හීන එක්තැන්වෙලා ගොඩනැඟුව සිහින මන්දිරයක දැන් අපි දෙන්න හීන දකිනවා.
අපේ චූටි බබා ඉපදිලා හීනෙන් හිනාවෙනහැටි බලන්න. එතනින් හීන ඉවර වෙන්නෙ නෑ.මුළු ජීවිත කාලයටම හීන මවන්න හීන දකින්න වෙනවා. සමහර ඒව සැබෑවෙයි. සමහර ඒව බොඳවෙයි. ජීවිතේම හීනයක්.
ගම්පහ සිරි පෙරේරා කහවල - Silumina