ගීතය කවිය ඉක්මවා යන්නකි. එහෙත් කවියට තරම් අර්ථාලංකාර ගීයකට අවශ්‍ය නැත. පදමාලාව යම් තරමකට භාවාත්මක නම් සංගීතඥයාට හා ගායකයාට එයා ඔසවා තැබිය හැකි ය. මේ සඳහා කදිම නිදර්ශන සැපයිය හැකි වන්නේ කරුණාරත්න අබේසේකරයන්ගේ පදමාලා වන්ගෙනි. එතුමන්ගේ පදමාලා සරල ය. මඳක් වාර්තාමය බවක් ද ඇත. එහෙත් භාවාත්මක ය. එය සංගීතයත් සමඟ යාව ජීව ලෙස බද්ධ වේ.
කරුණාරත්න අබේසේකරයන් වඩාත් අවධානය යොමු කරන්නේ ගීතයක ආරම්භක පද පේළි වෙතයි. එක් වර ම රසිකයාට ග්‍රහණය කළ හැකි පද පෙළක් එතුමෝ පෙළ ගස්වති. සමස්ත ගීතය ම මුල් දෙපදයේ රඳා පවතී.
“ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬ වූ
වෙන කෙනෙක් නොමැත දියතේ...
මින් ඉදිරියට තවත් කියන්නට දෙයක් ඉතිරි ව තිබේ ද? සැබවින් ම නැත. අවශ්‍ය වන්නේ ඌන පූර්ණයක් පමණි. අබේසේකරයන් ගේ මේ ප්‍රාතිහාර්යයෙන් ප්‍රමුදිත ගීත රචනා අජන්තා රණසිංහයන් ගේ සහ ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පදමාලාවන්හි දක්නට හැකි ය.
මේ පද රචනයට පාදක වන පෙම්වතිය පෙම්වතා ගේ ජීවිතයට කෙතරම් සමීප ව සිටියා ද යන්න තවත් වචන කීපයකින් රචකයා ප්‍රකාශ කරයි.
“රස හැඟුම් වලට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙළී සිටිය සුරතේ...
ඔහුගේ රස හැඟුම් පෝෂණය කළේ ඇයයි. කොටින් ම අතීතයේ දී ඔහු සමඟ එතී සිටි වෙළී සිටි ඔහු ගේ ජීවිතය ඇයයි. වරෙක නැළවෙන්නටත් වරෙක හඬන්නටත් පාර හෙළි කළේ ද ඇයයි.
එහෙත් මේ මොහොතේ ඇය සිටිනුයේ ප්‍රේමය පිළිබඳ අවිනිශ්චිත වූ තීරණාත්මක මොහොතක් ගත කරමිනි. ඔහු සමඟ එක්වන්නට ඇයට කුමක් හෝ බාධාවක් පැමිණ තිබේ. මේ මොහොතේ ඇයට පැහැදිලි දැක්මක් නොමැත. රචකයාට අනුව ඇය කරුවල කුටියක කල්පනා ලොවක තනි වී හිඳින්නී ය. ඇගේ දෑස් ඔහු වෙත විවර වී නොමැති ය. පෙම්වතිය දෙලොවක් අතර අතරමං වී සිටින ආකාරය රචකයා චිත්‍රයට නඟයි.
“කරුවල කුටියක තනි වී
කල්පනා ලොවක මැදි වී
කිම දෙනෙත් පියා ඉන්නේ
“ඔබ වරකි හද පෙළන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියොළඟම සලිත වන්නේ
මේ ආලය පෙම්වතාගේ පාර්ශ්වයෙන් අංග සම්පූර්ණය. එහෙත් ඔහු ඇයට ආලය කරන තරම් ඈ ඔහුට ආලය කරන්නේ ද යන්න සැක සහිත ය. එය ඔහුගේ සිතේ පමණක් නොව රසිකයාගේ සිතේ ද හට ගනී. මිනිසුන්ගේ අප්‍රමාණ සංවේදනා හොඳින් ස්පර්ශ කිරීමට කවියකු සතුව සංසාරගත ප්‍රතිභාවක් පැවතිය යුතු ය. කරුණාරත්න අබේසේකරයන් ඒ සංසාරගත ප්‍රතිභාව දායාද කරගත්තෙකි.
“අත වනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකිදෝ...”
“අත වනන යට ගියාව“ “සුව සමය” වැනි යෙදුම් අබේසේකරයන් ජීවත් වූ සමයේ ගීත සාහිත්‍යයේ අල්ප ය. අබේසේකරයන් යනු පැරණි ගීත රචක පරම්පරාවේත්, නූතන ගීත රචක පරම්පරාවේත් සබන්ධකාරක පුරුකයි.
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ...
මකන්නට බැරි සිහිවටන ගණනාවක් ඔවුන් ආ මඟ පවතී. ඔහුට නම් ඒවා අමතක කොට මකා දැමිය නොහැකි ය. එහෙත් ඇයට එසේ කළ හැකි ද? ඔහු දවාලන පිළිතුරු නැති එක ම පැනය එයයි.
ජේ.ඒ. මිල්ටන් පෙරේරා නම් වූ අපූරු හඬක් හිමිකරගත් අප ආදරණීය ගායකයාගේ ගී තනු රාශියක් මොහොමඩ් සාලි මාස්ටර් ගේ ය.
“සඳුන් ගසක එති සමන් ලතාවක”
“නෙළන්න බැරි මල් අතු අග“
“සඳ නැත බැබළෙන්න”
“ටික්කි ටිකිරි මගේ පුතා”
“වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ”
“රුවන් මැදුර ඔබම ඉදි කෙරෙන”
ඉන් කීපයකි.
මට මේ මොහොතේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි පදයක් සිහිවේ.
“අලුත් මල් පොකුරු
ගෙන එන්න
එපා පරමල්
පයින් පා ගන්න
බලන් මේ පර මල් සුවඳ”
මේ නිර්මාණයට දායක වූවෝ කිසිදාක පරමල් නොවෙති. එහෙත් හතු පිපෙන්නා සේ සංගීත කාරයන් බිහිවන මතු අනාගතයේ මොවුන් අමතක වී යා නම් එය ජාතික අපරාධයකි. එය එසේ නොවී මීළඟ ශත වර්ෂයේ දීත් මේ නාමයන් සුවඳ මල් වී පූදිනු ඇත යන්න මගේ විශ්වාසයයි. මට මගේ පළමු පරාජිත ප්‍රේමය සිහිවෙයි. එය නටුවෙන් ම ගිලිහී බිම වැටුණ ප්‍රේමයකි. මම අබේසේකරයන්ගේ ගී පද ඈ වෙනුවෙන් ලියා තබා සමුගනිමි.
“ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ...
ධම්මික බණ්ඩාර - Silumina