Pages

Tuesday, July 03, 2012

Bell - සීනුව


දෙක හයයි, තුන් වරක් තුන නවයයි...” කියල තාලෙට කියනවා. එයාගෙ හුස්ම රස්නෙට මගේ කනට වදිනව. රැුළි රැුළි කොණ්ඩ කැරලි පල්ලෙහාට වැටිල මගෙ මූණෙ ගෑවි ගෑවි තියෙනවා. මං හොඳ හුස්මක් අරන් පිට කරනව. හුස්ම ටික පිටවෙන්ඩ කලින් මට නින්දත් ගිහිං ඉවරයි. එයා නැවිල උඩු පැත්තට තියෙන මගේ වම් කම්මුල ඉම්බට මං දන්නෙත් නෑ.
ඈත තේ වත්තක මනිය ගහනව වගේ ටං, ටං, ටං, ටං කියල සද්දයක් ඇහෙන්න ගන්නව. ඒ සද්දෙ ටික ටික ළං වෙලා කන ගාවම වගේ ඇහෙන්න ගනිද්දි මං ඇස් ඇරල බලනව කෝ අම්මා? අම්මා නෑ. උඩයි යටයි රතු සුදු ඉරි පේළි දෙකක් තියෙන අළු පාට බ්ලැන්කට් එකක් පොරෝගෙන ඇඳක් උඩ මං වකුටු වෙලා ඉන්නව. වම් පැත්තෙත් දකුණු පැත්තෙත් ඉස්සරහත් එක යායට ඇඳන්. ඒවයේ තවත් පුංචි ළමයි බ්ලැන්කට් පොරෝගෙන තනියම එක යායට නිදි. වහලෙ මැදට වෙන්න එල්ලෙන කහ පාට පුංචි බල්බ් එකකින් පතුරන මලානික එළියට ඇඳන් පේළිත් හෝල් එකත් එක පාර යන්තමින් පේනවා. වහලෙත් වීදුරු ජනෙල් පේළිත් අතරින් රිංගල ඇතුළට ආපු මීදුම තට්ටුවක් වගේ ඝනකමට තැන්පත් වෙලා ඉන්නවා. ඒ හන්දා ඔක්කොම පේන්නේ ටිෂු කඩදාසියක් අස්සෙන් වගේ ලාවට. මගේ ඇඳට එහා ඇඳේ ඉන්න කෙනා ඔළුවත් එක්ක වහගෙන ගුලි වෙලා දොයි. එයා එක වසරේ.
ඊළඟ ඇහි පිල්ලම ගහන්න කලින් මට තේරෙනව මේ ඉන්නෙ නුවර. ඉස්කෝලෙ හොස්ටල් එකේ. දැන් පාන්දර 4.45 යි වෙන්නැති. ඒ ගැහුවෙ මනිය නෙමේ. පාන්දර නැගිටින්න ගහන බෙල් එක. ඒක තියෙන්නෙ කන්ද උඩහ. ඒක මහත බාල්කෙක එල්ලපු රේල් පීලි කෑල්ලක්. ඒකට අඩියක් විතර දිග සුරුට්ටුවක් වගේ යකඩ කෑල්ලකින් ආතර් අයියා ඔළුවත් මූණේ දෙපැත්තත් වැහෙන්න සාළුවක් බැඳගෙන දෑතින් තාලෙට තලනවා උදේ පාන්දර නැගිටින්න. මනිය වගේ තමයි. ළමයි ඇඳන් යටින් කරුවලේම බාල්දි අදිනව ඇහෙනවා. ? නිදාගන්න කලින් බාල්දිය ඇතුළේ සබන් පෙට්ටිය තියල ඊට උඩින් ටූත් පේස්ට් දාපු දත් බුරුසුවත් සීරුවට තියල හෙමීට ඇඳ යටට තල්ලූ කරල ලෑස්ති කරලයි තියෙන්නෙ. මමත් තත්පරේට ඇඳෙන් පැනල ඇඳ යට තියෙන බාල්දිය ඇදල අරන් නාන කාමරේට දුවනව. නාන කාමරයක් කිව්වට ඒක දිග හෝල් එකක්. මං යනකොටත් හැමෝම බාල්දිවලට වතුර පුරෝගෙන බිම පේළියට තියගෙන දතුත් මදිනවා. මමත් වතුර බාල්දියක් අරන් පෝලිමට එකතුවෙලා දත් මදිනවා.
දැන් දත් මැදල ඉවරයි. ඒත් මූණ හෝදන්න තහනම්. දෙවැනි බෙල් එක ගහනකම්. ඒක ගහන්නෙ 4.50 ට. පිජාමා සූට් එකේ කකුලූත් දිග අතුත් උඩට නමාගෙන ලෑස්තිවෙලා ඉන්නවා. ඔන්න බෙල් එක වදිනව. එක සැරේට හැමෝම මූණ හෝදන්න ගන්නවා තරගෙට. විනාඩි දෙකෙන් හෝදලත් ඉවරයි. ඉතුරු වතුර ටික කකුල් දෙකට හලාගෙන බාල්දිය ඇතුළට සබන් පෙට්ටියත් දත් බුරුසුවත් දාගෙන දුවගෙන ගිහිං බාල්දිය ඇඳ යට තියල ඇඳුම් අඳින ලොකු කාමරේට දුවනව. ඒක ඇතුළේ කළු ගල් කුට්ටිවලින් හදාපු බිත්තියට හේත්තු වෙන්න ලොකු සූට්කේස්, ටර ඇ න්ක පෙට්ටි පේළියට එක යායට තියෙනවා. ඒ ඉහළින් බිත්තියේ එක පෙට්ටියක ඇඳුම් එල්ලන කොකු තුන ගානේ වෙන්න හයි කරල තියෙනවා. හැමෝම තමන්ට අයිති පෙට්ටි ඉහළින් කොක්කක එල්ලල තියෙන තුවාය අරගෙන මූණ පිහල ඒක ආපහු එල්ලල පෙට්ටිය ළඟ දණ ගහගෙන ඒක අරිනවා. ඒක ඇතුළේ අපුල්ලපු සුදු කමිස, නිල් කොට කලිසම්, මේස් ලස්සනට තැන්පත් කරල තියෙනවා. අද සඳුදා. අලූත් ඇඳුමක් අඳින්න තියෙනවා. සුදු කමිසෙකුයි නිල් කලිසමකුයි මේස් දෙකකුයි අරන් හනි හනික ඇඳ ගන්නවා. ඊට පස්සේ පෙට්ටිය ළඟ තියෙන කළු සපත්තු දෙක දාගෙන ලේසුත් තනියම ගැට ගහ ගන්නවා. ඊළඟට පෙට්ටියේ වම් පැත්තෙ තියෙන පවුඩර් ටින් එක අරන් මූණට පවුඩර් දාගන්නව. ඊළඟට පෙට්ටියේ පුංචි තෙල් බෝතලය ඇරල අල්ල ගුලි වෙන්න අල්ලපු එක අතකට තෙල් ඩිංගක් දාගෙන ඔළුවට තලනවා. ඊළඟට පෙට්ටියෙන් කන්නාඩියක් අරන් ඒක බිත්තියට හේත්තු කරල දණ ගහගෙන ඒක දිහා බලාගෙන පුංචි පනාවකින් දන්න විධියට ඔළුව පීරනවා. ඊට පස්සෙ අඩුම කුඩුම ඔක්කොම ආපහු පෙට්ටියට දාලා වහනවා. දැන් ඇඳල ඉවරයි. ඊළඟට ආපහු නිදාගන්න හෝල් එකට යනවා. ඒකේ දැන් ලයිට් ඔක්කොම දාල එළියයි.
ඊළඟට ඇඳ හදන්න තියෙනවා. ඉස්සෙල්ලම ඇඳේ චූ ගිහිල්ලද බලනවා. මට ඊයේ ? ගිහිං නෑ. ඊළඟට උස්සන්න බැරි තරං බර බ්ලැන්කට් එක අරන් ගානට නමනව. ඒක කොට්ටෙ යටින් තියල යට නමල තියල තිබුණු සුදු බෙඞ් කවර් එක එළියට අරන් කොට්ටෙ උඩින් තියනවා. ඊළඟට අවුල් වෙලා තියෙන ඇඳේ සුදු සීට් එක, එක රැුල්ලක්වත් නොහිටින්න හතර පැත්තට ඇදල ඇඳ වටේටම යට කරනවා. යන්තම් හරි රැුල්ලක් තිබුණොත් අත ගාල අත ගාල රැුල්ල ඇර ගන්නවා. දැන් හරි. ඊළඟට කොට්ටෙ රැුළි අරිනව. ඊළඟට බෙඞ් කවර් එක දිග ඇරල කොට්ටෙත් එක්ක වැහෙන්න ඇඳට උඩින් එලනව. ඒකෙත් රැුළි අරිනව. ඊළඟට බෙල්ල ඇද කරල බලනව හරිද කියල. දැන් හරි. ඔළුව හරෝල හතර අත බැලූවම හැම ඇඳක්ම සුදට සුදේ බබලනව. ඊළඟට ඇඳ යට තියෙන පොත් බෑග් එකත් අරන් පාඩම් කරන හෝල් එකට යනවා.
ඒක දිග මේස එකට එක හේත්තු කරල පේළියට දෙපැත්තෙන් බංකු තියල ලෑස්ති කරල තියෙනවා. එතනට යනකොට මේස පේළිය පටන් ගන්න තැන මුල් පුටුවෙ කොණ්ඩෙ කරලට ගොතපු රතු ඔසරිය ඇඳපු මූණේ වම් කම්මුලේ කළු ලපයක් තියෙන සුදු මේටරෙ කන් වේවැලකුත් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. එයා ළඟට ගිහිං පොත් බෑග් එක බිම තියල සීරුවෙන් හිටගෙන ”ඊ ඊ” කියල දත් පෙන්වන්න ඕනෑ. අත් ඉස්සරහට දාල නියපොතු පෙන්නන්න ඕනෑ. එයා ඉස්මුදුනෙ ඉඳන් සපත්තු දෙක වෙනකම් හැමදේම වේවැල තිය තිය බලනව.
ඊට පස්සෙ මේස දෙපැත්තෙ තියෙන බංකුවල වාඩි වෙලා පොත් බෑග් එක ඇරල පොත් අරගෙන මේසෙ උඩින් තියා ගන්නවා. දැන් උදේ 5.30 යි. තාම එළිය වැටිල නෑ මීදුම. ඔන්න සීනුව වදිනවා. ටං ටං ටං. පාඩම් කරන වෙලාව. හැමෝම එක සැරේට නැගිටල හිටගෙන වැඳගෙන ”බුදු සරණ වේවා...” කවිය පන්සිලූත් එක්ක තාලෙට කියනවා. ආපහු වාඩි වෙලා මීයට පිම්බා වගේ පැයක් එක දිගට පාඩම් කරනවා. දැන් 6.30 යි. සීනුව වදිනවා. පාඩම් ඉවරයි. කවුරුත් නැගිටල පොත් බෑග් එකත් අරන් එළියට ගිහිං පඩිපෙළ දිගේ ඉස්කෝලෙ යන්න පෝලිම් ගැහෙන විධියට බෑග් ටික පේළියට තියෙනව. ඔය අතරෙ ගුණදාස ඇවිත් අර පාඩම් කරපු මේස පේළියට සුදු රෙදි එළල පිඟන් පේළියට තියල උදේ කෑම ලෑස්ති කරනවා. දැන් 6.45 යි. සීනුව වදිනවා. හැමෝම ගිහිං ආපහු අර බංකුවල වාඩි වෙනව. සුදු රෙදි එලපු මේසේ උඩ ඉඳිආප්පයි පරිප්පුයි බිත්තරයි දාපු පිඟන් ඉස්සරහින් තියෙනවා. අත හෝදන කෝප්ප, තේ ජෝගු, අත පිහින ලේන්සු මේස පේළියේ තැනින් තැන තියෙනව. කෑම හලාගත්තොත් කියල මේටර මේන් ඇවිත් එක වසරෙ අයගෙ කරේ ඒපර ත න් බඳිනවා. දැන් හැමෝම කන්න පටන් ගන්නවා. වතුර ජෝගුව, අත සෝදන කෝප්පෙ ඕනෑ වුණොත් වම් පැත්තෙ හරි දකුණු පැත්තෙ හරි ඉන්න කෙනා දිහාට ඔළුව නමල එයාගෙ කනට කරල ඕනෑ කරන දේ රහසින් ඉංගීරුණුසියෙන් කියන්න ඕනෑ. එතකොට එයා ඊළඟ කෙනාට ඒ විධියට කියනවා. ඔහොම පෝලිමට කිව්වම ඈත තියෙන දේ අතින් අත ඇවිත් ළඟට එනවා. ඒ මිසක් කද්දි කතා කරන්න බෑ.
දැන් 7 යි. ඔන්න සීනුව වදිනව. කෑම වෙලාව ඉවරයි. කෑවත් නොකෑවත් නැගිටින්න ඕනෑ. හැමෝම විගහට නැගිටල එළියට ගිහිං පොත් බෑග් තියපු පිළිවෙළට පෝලිම් ගැහෙනවා. පෝලිමේ අගට එකතු වෙන ගුරුවරයා ”ලෙට්ස් ගෝ” කියල හයියෙන් කිව්ව ගමන් එක පාරට බෑග් අතට අරන් එක පිම්මෙට ආචාර පෙළපාළියක් වගේ යන්න පටන් ගන්නව. පඩි නැගල කඳු නැගල පඩි බැහැල කතා නැතුව ඉස්කෝලෙ යනව.
දවල් ඉස්කෝලෙ ඇරිල කඳු නැගල පඩි නැගල, පඩි බැහැල ආපහු හොස්ටල් එකට ඇවිත් පොත් බෑග් එක ඇඳ යටින් තියල කෙළින්ම කෑමට යනවා. අර විධියටම සුදු මේස රෙදි එළල බත් බෙදල තියෙනව. දවල්ට අතින් කෑම තහනම්. පිඟානෙ වම් පැත්තෙ ගෑරුප්පුවයි දකුණු පැත්තෙ හැන්දයි අරන් කටේ ඇන ගන්නෙවත් සද්ද කරන්නෙවත් නැතුව කනවා සීරුවට. කෑවත් නොකෑවත් විනාඩි 15 න් සීනුව වදිනවා. ඊළඟ දවල් 2 ට සීනුව වදින්න කලින් ඇඳුම් මාරු කරල ඇඳට නගින්න ඕනෑ. ඔන්න සීනුව වදිනවා. කවුරුත් උදේ ඇඳට එළපු බෙඞ් කවර එක අයින් කරල ගානට නමල කොට්ටෙ යටින් තියල ඇඳේ හාන්සි වෙනවා. නිදාගන්න වෙලාව. ඒත් නින්ද යන්නෙ නෑ. කවුරුත් එහාට මෙහාට ඇඹරි ඇඹරි ඇඳේම ඉන්නවා. ඉඳ හිට තද කරන් ඉඳල පිට වෙන හිනාවකුත් රහසින් කතා කරන සද්දෙත් ඇහෙනවා.
ආපහු 3 ට සීනුව වදිනවා. විවේකය ඉවරයි. කෑ ගහගෙන ඇඳන්වලින් පනිනවා. 3.15 සීනුව වදිනවා. තේ මේසෙට වාඩිවෙනවා. 3.25 සීනුව වදිනවා. තේ බීලා ඉවරයි. සෙල්ලම් කරන වෙලාව. සමහරු බැට් බෝල අරන් පිට්ටනියට. තව අය කැලේ. තවත් අය පඩිපෙළ දිගට තියෙන රේල් පීලි කණු බදාගෙන කැරකි කැරකි කුරුළු පිහාටු ගැන සරුංගල් ගැන සමනලූන් ගැන කතා කරනවා.
හෙමිහිට ඉර බැහැගෙන යනවා. මෙච්චර වෙලා සද්ද නැතිව හිටිය රැුහැයියොත් හයියෙන් අඬන්න ගන්නවා. සීතලට කකුල්වල හිරිගඩු පිපෙන්න ඇවිත්. දැන් 5.30 යි. ආයෙමත් සීනුව වදිනවා. කොයි ලෝකෙ හිටියත් හැමෝම හති හල හල ආපහු ඇවිත් මූණ හෝදල ඇඳුම් මාරු කරල පවුඩර් දාලා ඔළුව පීරල තනියම ලෑස්ති වෙනවා.
දැන් 6 යි. සීනුව වදිනවා. පොත් බෑග් එක අරගෙන පාඩම් කරන තැනට යනවා. ”බුදු සරණ වේවා...” තාලෙට කියනවා. පාඩම් කරනවා එක දිගට පැය 2 ක්. දැන් 8 යි. සීනුව වදිනවා. මහා බරකින් නිදහස් වෙලා වගේ නැගිටිනවා. 8.30 යි. ආයෙත් සීනුව වදිනවා. අර විධියටම නිශ්ශබ්ද කෑම. 8.15 යි. සීනුව වදිනවා. කෑම ඉවරයි. හනි හනික ගිහිං ඇඳුම් මාරු කරල පිජාමා සූට් ඇඳ ගන්නවා. ඊළඟට දත් මැදල හෙට උදේට බාල්දිය ලෑස්ති කරල ඇඳ යටින් තැන්පත් කරනවා.
ඔක්කොම කරල ඉවර වෙන කොට 8.55 වෙලා. සීනුව වදිනවා. හැමෝම ඇඳ ළඟ බිම දණ ගහගන්නවා. දැන් 9 යි. ආපහු සීනුව වදිනවා. බිම දණ ගහගෙන වැඳගෙන ”බුදු සරණ වේවා...” කවිය සද්දෙට කියනවා. ඊළඟට ඇඳට නැගලා කොට්ටෙ යටින් බ්ලැන්කට් එක අරන් පොරෝගෙන තමන්ගේ වම් පැත්තෙයි දකුණු පැත්තෙයි ඇඳන් දෙකේ ඉන්න දෙන්නට රහසින් ”ගුඞ් නයිට්” කියනවා. ඒ දෙන්නත් රහසින් එහෙම කියනවා. මේ ඔක්කොම හරියට කෙරෙනවද කියල මේටර්ගෙන් බලන් ඉන්නවා. ඊළඟට ලයිට් එක එක නිවෙනවා. කහ පාට එළිය තියෙන පුංචි බල්බ් එක විතරක් පත්තු වෙනවා. ඒ එළියෙන් යාන්තමට පේනවා.
බැලූ බැලූ පැත්තෙ පුංචි ළමයි එක යායට නිදි. හරියට සීතල සොහොන් පිට්ටනියක වගේ. මං ආසයි. දැන් ඉතිං හෙට උදේ වෙනකම් මට අම්මට තුරුළු වෙලා ඉන්න පුළුවන්. අම්ම එපා කියද්දි තටු රිදෙනකං ආකාසෙ ඉගිල්ලෙන්නත් පුළුවන්. මං ආසයි නිදිමත වැක්කිරිල මගේ ඇස් දෙක හෙමි හෙමින් වැහීගෙන යනවාට.
හතර වසර, පහ වසර, හය වසර ඔහොම ඔහොම ඒ සීනුව ජීවිතේට පාර කියා දිදී ගොඩක් දුර එක්ක ගියා. අද මං නින්ද නේන රාතිරුළුයක සීතල ඇඳක වැතිරිලා සීනුව වදිනකම් කියල ඇහැ ඇරගෙන කන් දීගෙන ඉන්නවා. කොච්චර හොඳට කන් දුන්නත් සීනුවක සද්දෙ ඇහෙන්නෙ නෑ මහා නිශ්ශබ්දතාවයක් මිස. එතකොට අතරමං වෙලා වගේ දැනෙනවා.