මහා බ්‍රිතාන්‍යය, කලෙක හිරු නො බසින අධිරාජ්‍යය ලෙස විරුදාවලී ලැබුවා ය. ඒ හිරු නො බසින අධිරාජ්‍යය පසු කලෙක වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පූජාසනය ලෙස ද බුහුමන් ලැබුවා ය. නිදහස් ජනමාධ්‍ය අතින් ගත් කළ; එංගලන්තය ලෝකයටම පරමාදර්ශයක් විය. මෙසේ ම ජනමාධ්‍ය නිදහස අගයන කොයි කවුරුත් බී.බී.සී. සම්ප්‍රදාය පුරෝහිතයෙක් කොට ගත්තේ ය. මේ සියල්ලට යටින් රූපට් මර්ඩොක් නම් පුද්ගලගයා එංගලන්තයේ අදිසි අධිරාජ්‍යයක් ගොඩනඟා ගත්තේ ය. අර මහේශාක්‍ය එංගලන්තයේ ආණ්ඩු පෙරළන, ආණ්ඩු හදන, රජුන් තනන්නා බවට පත් වූයේ ද රූපට් මර්ඩොක් ය. ඔහු ඒ බලයක් අත්පත් කැර ගත්තේ පත්තර පිටුවලිනි. එංගලන්තයේ අගමැති නිල නිවස වන ඩවුනිං වීදියේ අංක 10 දරණ ස්ථානයට අලුත් පදිංචිකරුවෙක් පැමිණෙන්නේ ද? නැතිනම් මෙතෙක් කල් සිටි පුද්ගලයාම එහි තවදුරටත් පදිංචි වීමට වරම් ලබන්නේ ද යන නො වරදින අනාවැකිය කියවුණේ; මර්ඩොක් ගේ පත්තර පිටුවලිනි. කෙටියෙන් ම කිවහොත්; මර්ඩොක් කොතැනද? එතැන නිසැකයෙන් ම ආණ්ඩු බලය ද රැඳී තිබිණි.
මේ අසහාය රූපට් මර්ඩොක් ගේ අදිසි අධිරාජ්‍යය පසුගියදා පොළවටම සමතලා වූයේ කිසිවකුත් නොසිතූ පරිදි ය. News of The World පුවත්පත මර්ඩොක් ගේ පුවත්පත් අධිරාජ්‍යයේ මුල් පෙළේ සෙන්පතියකු විය. ඒ පුවත්පත අභාවප්‍රාප්ත වූයේ කිසිදා මැකිය නොහැකි කළු පැල්ලමක් ද සමඟිනි. පොදුවේ පිළිගත් ජනමාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව එංගලන්තයේ නීතිය ද, පුද්ගල නිදහස ද ඔවුන් අතින් කෙලෙසිණ. ප්‍රකට පුද්ගලයන්ගේ පෞද්ගලික දුරකථන සංවාදවලට හොරෙන් සවන් දී පසුව ඒවා ප්‍රවෘත්ති බවට පත් කර ගන්නා දුර්භාවිතයක යෙදී සිටි බව සාක්ෂි සහිතව අනාවරණය විය. News of The World පුවත්පතේ මාධ්‍යවේදීන් මේ සඳහා එංගලන්තයේ පොලිසියට හා සුප්‍රකට ස්කොට්ලන්ඩ් යාඩ් නිලධාරීන්ට පවා අල්ලස් දී තිබූ බවත් අනාවරණය විය. ඔවුන් එංගලන්ත මහ රැජණ ගේ දුරකථන සංවාදවලට පවා හොරෙන් සවන් දුන් බැව් සඳහන් ය. ඒ ‘මාධ්‍යවේදීන්’ අද බන්ධනාගාරයේ ය. වහාම ක්‍රියාත්මක වන පරිදි News of The World පුවත්පත වසා දමා සේවකයින් ගෙදර යවා අත පිස දැමීමට රූපට් මර්ඩොක් තැත් කෙළේ ය. එහෙත් මෙය මාධ්‍ය මර්දනයක් බව හෝ මාධ්‍යවේදීන් ගේ අයිතීන් උල්ලංඝණය කිරීමක් හෝ බව කීමට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. මානව හිමිකම් සංවිධාන ද, අන්තර්ජාතික ජනමාධ්‍ය සංවිධාන ද නෑසූ කන් ඇතිව තම තමන්ගේ වැඩක් බලා කියා ගත්තේ ය.
ලෝකයටම නිදහස් ජනමාධ්‍ය සම්ප්‍රදායේ අනුහස් පෙන්වූ බී.බී.සිය කෙමෙන් කෙමෙන් පිරිහෙන්නට ගත්තේ ය. අද එංගලන්ත ආණ්ඩුව බී.බී.සි යට පලා නොකියා පලා බෙදන්නේ සිය ගණනක ගේ රැකියාවන් ද අහිමි කරමිනි.
අමෙරිකා එක්සත් ජනපදයේ පවතින්නේ තරු පහේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයකි. රජයේ රහස් අනාවරණය කළ බව කියමින් අමෙරිකාව; මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙළේ ය. එය ජනමාධ්‍ය නිදහසට අකුල් හෙළීමක් බව කිසිවකුත් කීවේ නැත. විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ඇමෙරිකාව ලෝකයේ අනෙක් රට රාජ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ චරපුරුෂ සේවාවන්, බුද්ධි තොරතුරු සහ එකී රටවල් සම්බන්ධ අතිශය සංවේදී තොරතුරු තානාපති වරප්‍රසාද යටතේ අමෙරිකාවට සම්ප්‍රේෂණය කළ ආකාරය මොනවට හෙළිදරවු කරනු ලැබීය. විකිලීක්ස් නිර්මාතෘ ජූලියත් අසාන්ජ් දඩයම් කළ යුතු පුද්ගලයෙක් බවත් ඇමෙරිකාව ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. twitter නම් සුප්‍රකට සමාජ සන්නිවේදන වෙබ් අඩවියෙන් අදාළ පුද්ගලයන් ගේ තොරතුරු ලබා ගැනීමට ද අමෙරිකන් නිලධාරීන් විවිධ බලපෑම් කළ බවත් අනාවරණය කෙරිණ. පුදුමයකට මෙන් මේ කිසිවක් අන්තර්ජාතික ජනමාධ්‍ය සංවිධානවල ඇසට වැටුණේ නැත.
ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එංගලන්තය හා අමෙරිකාව ඉර හඳ ලෙස ඇදහූ බොහෝ දෙනා වටහා ගත්තේ ඔය ලෝකෙට බණ දෙසන අය ලෝකෙට පරකාසේ වුවත් ගෙදරට මරගාතයක් ම වන බව පමණි. සීමාන්තික ජනමාධ්‍ය නිදහසක් මේ මහ පොළවේ කිසිදු තැනෙක ප්‍රායෝගිකව නොපවතින බව පිළිගැනීමට සිදු විය. වෝල්ටෙයාර් කී පරිදි; බස්තම කරකැවීමට ඕනෑම කෙනෙකුට නිදහසක් ඇත. එහෙත් එය අනෙකා ගේ නාසයේ කෙළවරින් අවසාන විය යුතු ය. කුමරා සහ කුමරිය අති’නත ගත් බව පෙන්වන ප්‍රවෘත්ති ඡායාරූප පළ කිරීම එකකි. එහෙත් ඒ දෙදෙනාගේ නිදන කාමරයේ යතුරු සිදුරට ඇස තැබීම වෙනත් කාරියකි. තවදුරටත් මුල් සිද්ධිය ජනමාධ්‍ය ලෙසත් දෙවැනි සිද්ධිය ජඩමාධ්‍ය ලෙසත් හැඳින්විය හැකි ය. අද බොහෝ දුරට ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය යන දෙක තෝරා බේරා ගත නොහැකි වීම නිසා ජනමාධ්‍ය නිදහස කුණු හරුපයක් බවට පත්ව තිබෙනු දැකිය හැකි ය.
ඉකුත්දා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදීත් මේ පටලැවීම මොනවට දක්නට ලැබිණ. 2012 අයවැය විවාදයේ දී තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ ආණ්ඩු හා විපක්ෂය යන දෙපාර්ශ්වයෙන් ම තර්ක විතර්ක ඉදිරිපත් විය.
“... ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දනයක් තියෙනවා. වෙබ් අඩවි මර්දනය කරනවා. එහෙනං මාධ්‍ය නිදහසක් තියෙන බව කියන්නේ කොහොමද?...”
යැයි ප්‍රශ්න කෙළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ය.
“... අද මාධ්‍ය නිදහස ගැන කතා කරන අය ගේ අතීත කෙරුවාවන් ගැන ටිකක් මතක් කරන්න ඕනේ. 2001 දී බලයට පත් වුණ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැති කළකිරුණු ප්‍රමාණය කොච්චර ද කියනවා නං, ඒ ආණ්ඩුවේ නායකයන් ගේ අත පෙවීම් නිසා අවසානයේදී ඉමිතියාස් බකීර් මාකර් මහතා දේශපාලනයෙනුත් සමු අරගෙන යන්න ගියා...”
ඒ පිළිතුර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ගෙනි. 2001 - 2003 එජාපෙ පාලන සමයේදී රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවය කළ ශ්‍රීලනිප හා වෙනත් විරුද්ධ පක්ෂවලට සම්බන්ධව සිටි සේවකයින් සිය ගණනින් ගෙදර යැවූ ආකාරයත් ඔවුන් ගෙන් පළි ගත් ආකාරයත් ඇමැතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ ය.
“... ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට තර්ක කරන්න පුළුවන් එ.ජා.ප ආණ්ඩු කාලෙත් මාධ්‍ය මර්දනය වුණා කියලා. ඒක ඇත්ත. අපේ ආණ්ඩු කාලයේදී වැරදි වුණා. අපි ඒක පිළිගන්නවා. එදා විරුද්ධ පක්ෂයේ හිටිය වත්මන් ඇමැතිවරු අදත් ඒ වැරදි අනුමත කරනවා නම් මේ ආණ්ඩුවෙන් පලක් නැති බවයි මගේ තර්කය.”
එ.ජා.ප ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා එසේ තර්ක කෙළේ ය. මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය පමණක් නොව අන්තර්ජාලයේ වෙබ් අඩවි මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරණ බවටත් ඔහු චෝදනා කෙළේ ය.
“... අපි දන්නවා ගම්වල කැලෑ පත්තර ගහනවා. මොකක් හරි වුණාම බොරුවක් අල්ල ගෙන කැලෑ පත්තර ගහනවා. දැන් අලුත් කැලෑ පත්තර කලාවක් බිහිවෙලා. ඉලෙක්ටේරානික කැලෑ පත්තර. මම නිකමට මේවායේ නම් බැලුවා. පච.කොම්, මකරාක්ෂිකයා. කොම්, එළුකිරි. කොම්, කුණු හරුප නම්. මේවායේ අසභ්‍ය පින්තූරත් යනවා. මේවා කරන්නේ කවුද?
කොහේද කියලා කවුරුවත් දන්නෙ නෑ. එහෙනං මේවා ලියාපදිංචි කිරීම වරදක් වෙන්නේ කොහොමද? ද්වේෂසහගත ප්‍රචාර පළ කරන්නේ, පහත් කුණු රසය අවුස්සලා. වෙළෙඳ දැන්වීම් හරහා ලාබ ගන්න බලනවා. මේවායේ අම්මෙක් අප්පෙක් දන්නේ නෑ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එසේ පවසමින් මෙරට ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව තවත් රසබර සිද්ධි ගණනාවක් සිහිපත් කෙළේය. ඔහු නොකියා කීවේ චර්යාවක් නැති වෙබ් අඩවි අවජාතක ජනමාධ්‍ය බවයි.
මෙරට ජනමාධ්‍ය ගැන කතා කැරෙන බොහෝ අවස්ථාවල විපක්ෂයේ කටගැස්මට එන්නේ රාජ්‍ය මාධ්‍යයන්ට බැට ඳීමයි. එ.ජා.ප. මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාගේ කතාවේදී ඒ පිළිබඳව පළ වුණේ දැඩි විවේචනයකි.
”... ලේක්හවුස් ආයතනය රජයේ හොරණෑවක් වෙලා. ඔබ්සර්වර්, සිළුමිණ, පුවත්පත්වල අලෙවිය බොහෝ අඩුවෙලා. ලේක්හවුස් පත්තර බලන ප්‍රමාණය අඩුවෙලා. කිසිම ප්‍රමිතියක් නැහැ. ලේක්හවුස් පත්තර පිළිබඳව අතීතයේදී ලොකු විශ්වාසයක් මිනිසුන්ට තිබුණා. රජයේ පත්තරවල දැන් ජනතාව වෙළෙඳ දැන්වීම් දාන්නේ නෑ.”
යනාදී වශයෙන් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ලේක්හවුස් පුවත්පත් හා රජයේ මාධ්‍ය ආයතන අසාර්ථක බව හුවා දැක්වීය. එහෙත් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් සාධක සාක්ෂි සහිතව පිළිතුරු ලැබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සංඛ්‍යා ලේඛන කිහිපයක් සභාගත කරමින් පෙන්වා දුන්නේ ලේක්හවුස් ඇතුළු රජයේ මාධ්‍ය ලාබ ලබමින් පවතින බවයි. ඔහු සභාගත කළ ලේඛනයක් අනුව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ඉකුත් මාස තුනක කාලයේදී පමණක් ලබා ඇති ආදායම රුපියල් මිලියන 656,993කි. ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී රුපියල් මිලියන 207,291ක් ද, ඔක්තෝබරයේ දී රුපියල් මිලියන 218,239ක් ද නොවැම්බර් මාසයේදී රුපියල් මිලියන 231,463ක් ද වෙළෙඳ දැන්වීම් ආශ්‍රිතව ලේක්හවුස් ආයතනය ලාබ ලබා ඇති බව පාර්ලිමේන්තුවේදී සඳහන් කෙරිණ.
මනූෂ නානායක්කාර මහතා තවදුරටත් පෙන්වා දුන්නේ, මෙරට රූපවාහිනී නාළිකා 32ක් ද, ගුවන්විදුලි නාළිකා 49ක් ද ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි කැර තිබෙන පුවත්පත් හා වාර ප්‍රකාශන සංඛ්‍යාව 140ක් පමණ වන බවයි. මෙයින් රජයට අයත්වන්නේ රූපවාහිනී නාළිකා හතරකි. රජයට අයත් පුවත්පත් සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 5.7කි. රජය සතුව ඉතා සුළු මාධ්‍ය හිමිකාරත්වයක් තිබියදී මාධ්‍ය මර්දනයක් හෝ මාධ්‍ය අවභාවිත කරන බවට විපක්ෂය චෝදනා කරන්නේ කෙසේදැයි නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කෙළේය. වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් කතා කළ හෙතෙම තවත් අපූරු තොරතුරක් අනාවරණය කෙළේය. රජයේ ආයතන, අමාත්‍යාංශ යනාදියෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ලැබෙන දැන්වීම් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 63%කි. මෙහිදී රජයෙන් රජයේ මාධ්‍ය ආයතනවලට ලැබෙන දැන්වීම් ප්‍රමාණය සියයට 37කි. මන්ත්‍රීවරයා මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් විපක්ෂයෙන් සෘජුව ප්‍රශ්න කෙළේ මාධ්‍ය මර්ධනය කරන්නේ නම් රජයෙන් ඔවුන්ට දැන්වීම් ලබා දෙන්නේ ද යනුයි. ඕනෑම මාධ්‍ය ආයතනයක් පවතින්නේ වෙළෙඳ දැන්වීම් මතය. මාධ්‍ය ආයතනයකට ගැසිය හැකි මරු පහර වන්නේ ඊට ලැබෙන වෙළෙඳ දැන්වීම්, ආදායම් යනාදිය හීන කිරීමය. එහෙත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට සිදුකැර ඇත්තේ රජයේ මුදල් පවා පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත ලබාදීම බව මේ ප්‍රකාශයෙන් අනාවරණය විය. මර්දනය කළ යුතු නම් වෙළෙඳ දැන්වීම් පවා රජයෙන් ලබා දී එකී ආයතන පෝෂණය කළ යුතුද? යන ප්‍රශ්නය විපක්ෂය වෙත ඉදිරිපත් කෙරිණ. එහෙත් විපක්ෂයේ එකම කථිකයෙකුගෙන් වත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රති උත්තර නොලැබිණ. රජයේ මාධ්‍ය ආයතන පාඩු ලබන බවට විපක්ෂය කළ චෝදනාව ද ඔවුන්ටම පාරාවළල්ලක් බවට පත් වුණේ විපක්ෂය කට උත්තර නැති තත්ත්වයකට පත් කරවමිනි.
කෙසේ වෙතත් විපක්ෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන සහ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් මතුකළ චෝදනා සියල්ලටම ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන් කදිම පිළිතුරක් ලැබිණි.
ගුවන් විදුලිය, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ලේක්හවුස් ආයතන පෙර වසරවලට වඩා ලාභ ලබනවා. ජනතාවට 95% සාක්ෂරතාවක් තිබෙනවා. ආයතනයක් ලාභ ලැබීම වෙළෙඳ දැන්වීම් මත තීරණය වෙනවා. ජනතාව තීරණය කරාවි නැරඹිය යුත්තේ කවර නාලිකාව ද යන්න.
මාධ්‍ය නිදහසේ මූලික අයිතියක් තමයි පිළිතුරු දීමේ අයිතිය. නමුත් රටපුරා කුණුහරුප වෙබ් අඩවි තිබෙනවා. මේවා කරන්නෙ කොහෙද කවුද කිසිම දෙයක් දන්නෙ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබෙනව මෙම වෙබ් අඩවි ලියාපදිංචි කරන ලෙසට. ඒ අනුව අපි කටයුතු කරනවා. සමහර වෙබ් අඩවිවලට ලිපිනයක් නෑ. ලියාපදිංචි කරලත් නැහැ.
මේ අවිචාරවත් වෙබ් අඩවි නිසා බොහෝ පිරිසක් පීඩාවට පත්වෙනවා. ඒ නිසා වගකීමක් ඇති ආයතනයක් ලෙස අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා ;මවැනි වෙඩ් අඩවි අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුයි. මෙවැනි තක්කඩි වෙබ් අඩවි නිසා පවුල් කැඩෙනවා. ආරවුල් ඇතිවෙනවා. අද මට වෙන්නට පුළුවන්. නමුත් හෙට දිනයේදී මෙවැනි වෙබ් අඩවිවලින් ඔබට පහර වදින්නට පුළුවන්.
එක් එක් පුද්ගලයාට පහර ගසන, වැඩපිළිවෙළට අද සහය දුන්නෙ රනිල් වික්‍රමසිංහ මහතායි.
දේශපාලන වශයෙන් යම් යම් කාරණාවලින් වාසි ලබා ගැනීමට උත්සාහ කිරීමේ වරදක් නැහැ. නමුත් නිදහස් මාධ්‍යයක්, නිදහස් ගමනක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකසා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ඒ විවාදය ඒ ආකාරයට අවසන් විය. රජයේ මාධ්‍යයන්ට හා ලේක්හවුස් පුවත්පත් සම්බන්ධයෙන් එ.ජා.ප.ය හා විපක්ෂයෙන් චෝදනා නැඟුණේ අද ඊයේ නොවේ. එය පුරුද්දක් ලෙසම කෙරෙන කටයුත්තක් වී තිබේ. පුරුද්දට කරන බැණීම හුදු පුරුද්දක් මිස සාක්ෂි, සාධක මත පදනම්ව ඉදිරිපත් කැරෙන සාධාරණ විවේචනයක් ලෙස සැලකිය නොහැකිය. මීට වසර කිහිපයකට පෙර ලේක්හවුස් පුවත්පත් අලෙවිය සම්බන්ධයෙන් එ.ජා.ප. මන්ත්‍රීවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයන් දෙකක් එකිනෙකට පරස්පර විය.
එක් මන්ත්‍රීවරයකු සිළුමිණ පුවත්පතේ පිටු කිහිපයක් සභාවට පෙන්වමින් කියා සිටියේ අසත්‍ය ඡායාරූපයක් පළකැර තිබීම නිසා පුවත්පත් පිටපත් ලක්ෂ 1 1/2ක් පමණ ගිනි තබා විනාශ කොට අලුත් පිටු යොදා පුවත්පත නැවත මුද්‍රණය කළ බවයි.
මෙය අතිශයින්ම සාවද්‍ය ප්‍රකාශයක් වූ අතර ඒ සම්බන්ධයෙන් එවකට ලේක්හවුස් ආයතනයේ සිටි ජාතික සේවක සංගමයේ ලේකම්වරයා පවා විමතිය පළ කෙළේය. ඉන්පසුව නැඟී සිටි තවත් එ.ජා.ප. මන්ත්‍රීවරයකු කියා සිටියේ සිළුමිණ පුවත්පතේ අලෙවිය 20,000 – 30,000ට පහත වැටී ඇති බවයි. එහෙත් ඔහුට පෙර කතාකළ එම පක්ෂයේම මන්ත්‍රීවරයකු කියා සිටියේ සිළුමිණ පත්‍රයේ පිටපත් 1,50,000ක් ගිනිතබා විනාශ කළ බවයි. පදනමක් - සාක්ෂියක් නැති ප්‍රකාශයන්ට අත්වන්නේ එවැනි හාස්‍යජනක ඉරණමකි. කෙසේ වෙතත් රජයේ මාධ්‍යයන් පාඩු ලබන බව මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බව කීමට ගොස් මෙවරත් එ.ජා.ප.ය සිදුකැරගෙන ඇත්තේ ඇදගෙන නෑමක් බවපෙනේ. ලේක්හවුස් ඇතුළු රජයේ මාධ්‍යයන් ලාබ පිට ලාබ ලබන බව සංඛ්‍යාලේඛන සහිතව පෙන්වාදීමට ආණ්ඩු පක්ෂය සමත්විය. ලාබ ලබන්නේ ජනතාව අතර පවතින නිසාය. වෙළෙඳ දැන්වීම් ගලා එන්නේ මහජනතාව රජයේ මාධ්‍ය ප්‍රයෝජනයට ගන්නා හෙයිනි. විද්යුත් නාළිකා 32ක් පුවත්පත් 140ක් සමඟ රජයේ අංශයන් තරග වදින්නේ අතළොස්සකි. එසේ තිබියදීත් තරගකාරීව වෙළෙඳපොළේ පවතිමින්, ලාබ ලැබීමට පවා රජයේ පුවත්පත් සහ විද්යුත් මාධ්‍ය සමත්ව තිබීම සුවිශේෂ ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය මේ ප්‍රගතිය ලබන්නේ එංගලන්තයේ බී.බී.සී. වැනි සුප්‍රකට මාධ්‍ය ආයතන කප්පාදුවට ලක්වෙමින් තිබියදීය. එංගලන්ත රජය බී.බී.සී.යට ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන කපාදැමීමට පටන්ගෙන තිබුණේ මීට වසර කිහිපයකට පෙර පටන්ය.
මෙරට ඇතැම් පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් වරක් රූපට් මර්ඩොක් ගේ චරිතයට පණපෙවීමට උත්සාහ කෙළේය. එහෙත් මහජන මතය ඊට වඩා බලවත් විය. ඒ සඳහා වූ හොඳම නිදසුන 2005 ජනාධිපතිවරණයයි. මෙහිදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට වඩා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට ලැබුණු ජනමාධ්‍ය සහයෝගය අතර වෙනස කැපී පෙනිණ. ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය සඳහා මාධ්‍ය ආචාර ධර්ම පවා උල්ලංඝනය කරමින් ක්‍රියාකරත්දී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට රාජ්‍ය මාධ්‍යයන්ගෙන් වත් නිසි අනුග්‍රහයක් ලැබුණේ නැත. එහෙත් මහජන මතය – මහජන කැමැත්ත තිබුණේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයටය. රජයේ හෝ පෞද්ගලික හෝ වේවා මෙරට කිසිම මාධ්‍ය ආයතනයකට රජුන් තනන්නාගේ භූමිකාව හිමිවී නැත. විය යුතු ලෙසින්ම එය හිමිවී තිබෙන්නේ මහජනතාව අතටය. රූපට් මර්ඩොක් කෙනෙකුට ශ්‍රීී ලංකාවේ ඉඩක් නැත්තේ ඒ නිසාය. රජුන් තනන්නේ මහජනතාව මිස ජනමාධ්‍ය නොවේ. ජනමාධ්‍යයට ආණ්ඩුවක් පෙරළීමට හෝ පත්කිරීමට හෝ අසහාය බලයක් හිමිවී නැත. එසේ නම් බලය සඳහා මාධ්‍ය මර්දනය කිරීමට ද අවශ්‍යතාවක් නැති බව තර්කාන්විත අදහසකි. කුමන ආකාරයේ හෝ ජනමාධ්‍ය මර්දනයකට අපිත් එරෙහි වෙමු. එහෙත් ජනමාධ්‍ය වෙසින් පවතින ජඩ මාධ්‍ය නම් කිසියම් සීමාවකට යටත් විය යුතු බවද සත්‍යයකි. මෙවර අයවැය විවාදයේදී අවධාරණය කෙරුණේ එයයි. මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා එය නම් කෙළේ ඉලෙක්ට්‍රොනික කැලෑ පත්තර යනුවෙනි. අපි ඒවා හඳුන්වන්නට කැමැති වන්නේ ජඩ මාධ්‍ය යනුවෙනි. සැබෑ ජනමාධ්‍යයේ ගෞරවය වෙනුවෙන් ජඩ මාධ්‍ය අව සංස්කෘතිය පාලනයකට ලක්විය යුතුව තිබෙන්නේය.
එහෙත් මෙරට සහ පිටරට සිටින ඇතැමුන් අහසේ පාවෙමින් මේ ලෝකේ කොතැනකවත් නැති ජනමාධ්‍ය නිදහසක් ගැන කතා කරනු පෙනේ. එංගලන්තයේවත්, ඇමෙරිකාවේවත් නැති මාධ්‍ය නිදහසක් වෙනුවෙන් ඔවුන් කතා කරන්නේ එංගලන්තයේ හා ඇමෙරිකාවේ ජීවත් වෙමිනි. ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ කියමන වඩාත් අරුත්බර වන්නේ මෙවැනි දෙබිඩි කතා ඇසෙනා විටය.
සටහන කේ.සී.ජේ. Silumina