ඔරලෝසු කටුව වේගයෙන් ගමන් කරනවා වගේ චින්තාට දැනුණා. දරුවට පාසල් බසය වැරදිලා ගියොත් අද පාසලට යන්න වෙන්නේ නෑ. ඇය තමන්ගෙ අත කඩිසර කළා. මේ අතර සිසිර නිදි ඇඳෙන් නැගිට මුළුතැන්ගෙට ආවා. මගෙ තේ එක..? ඔහු ඇහුවා. පොඩ්ඩක් ඉන්න මම හදන්නම්. දුවට වෙලා යනවා. බස් එක ගියොත් අද ඉස්‌කෝලෙ යන්න වෙන්නෙ නෑ. චින්තා කිව්වා. සිසිරගෙ මුහුණ වෙනස් වුණා. ඔහු කිසිවක් නොකියා ම ආලින්දයට ගියමුත් වචනයකුදු නොදොඩා ගියත් ඔහුගෙ හිත තුළ කිසියම් නොමනාපයක් ඉපදුණු බව චින්තාට තේරුම් ගියා. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ උදේ කිරි වීදුරුව ප්‍රමාද වීමේ හේතුව මත උපන් අප්‍රසාදයි.
චින්තාට සිසිර පිළිබඳව කලකිරීමට වඩා තමා පිළිබඳව දැඩි ආත්මානුකම්පාවක් ඉපදුණු මේ තරම් කලබල උදැසනක වේලාව සමග හරඹ කරන ඇය පිළිබඳව කිසිදු තැකීමක් නොකොට දියණියගේ කටයුතු වෙනුවෙන් නිරත වීම ගැන සිසිරගෙ ප්‍රතිචාර පිළිබඳව දැඩි දුකක් හිතුණා.
සිසිර තමන්ගෙ අභිමානය ගැන ඉතා ඉහළින් සිතුවා. පිරිමියෙකු විදිහට පවුල තුළ ගරු සම්මාන ලැබෙනවා මදි යෑයි ඔහු සිතුවා. නමුත් චින්තා හැකි හැම විට ම සිසිරට ප්‍රධානත්වය දුන්නා. දරුවෙක් මේසය අරින්න පෙරාතුව බත් ටිකක් ඉල්ලා සිටියොත් ඇය කියන්නේ.
ටිකක් ඉන්න පුතේ.. තාත්තට බත් ටික බෙදනකම්
ඒ වෙලාවට දුව හෝ පුතාගෙ මුහුණ වෙනස් වෙනවා. බඩගිනි වෙලාවට නැත්තං මට වැඩක් නෑ. මට බත් එපා. දරුවො චෝදනා නගනවා.
එදා සම්ප්‍රදායික පවුල් රටාවට වඩා අද පරිසරය බොහාම වෙනස්. නිවසේ සැමියාට වගේ ම බිරිඳ හෝ දරුවන්ට වැඩ රාජකාරි බොහොම යි. බොහොම නිවාඩු පාඩුවේ ගොවිතැනක යෙදුන යුගයට වඩා අද පරිසරය වෙනස්. බිරිඳ වෙලාවට කලින් කන්තෝරුවට යන්න ඕන. අතිරේක පංති යන දරුවන් මේස , පුටු අල්ලාගන්න තරගය හින්ද වේලාසන යන්න ඕන. යාන වාහන තිබුණත් මග තිබෙන අවහිරතාවයට විසඳුම් ඇත්තෙම නෑ. මේ සියල්ලම බේරා ගෙන ජීවිතය ඉදිරියට ගෙන යා යුතු යුගයක දී ස්‌වාමි පුරුෂයා වෙනුවෙන් ඇඳ ළඟට තේ කෝප්පය ගෙන ගොස් දීමට තරම් විවේකයක් බිරිඳට නැහැ. ඉතිං ඒ වගේ පුංචි සිද්ධි මුල් කරගෙන දෙන්නා දෙමහල්ලන් අතර මත බේද ගොඩ නගා ගැනීම කිසි ම ලෙසකින් සුදුසු නැහැ.
පියෙකුගේ අභිමානය කියන්නේ සියළුම දේ බිරිඳ, දරුවන් ලවා අතට පයට කර ගැනීම නම් නෙවෙයි. දරුවන් පාඩම් කරන වේලාවට තේ කෝප්පයක් හදල දුන්නට පියෙකුගේ අභිමානය කවදාවත් ම බිඳ වැටෙන්නේ නෑ. මේ සම්බන්ධය තුළ තිබෙන්නේ හදවතින් ම හදවත අතර වූ බැඳීමක් බව අමතක කරන්න හොඳ නැහැ.
පෙරදිග සංස්‌කෘතියෙන් ලබා ඇති හික්‌මීම නිසා ම දෝ තවමත් පුරුෂාධිපත්‍යයේ නෂ්ටාවශේෂ ඉතුරුයි. පවුල තුළ පියා ගෞරවනීය චරිතයක් බව ඇත්තක්. නමුත් තීන්දු තීරණ වලදී අදහස් සාකච්ඡාවට යොමු කළ යුතුයි. ඇතැම් පවුල්වල මම දැන් කිව්වා කොච්චර කතා කළත් එච්චරයි ලෙසින් තීරණයක් ගැනීම හොඳ නැහැ. දරුවන්ගෙ පාර්ශවයෙන් වගේ ම බිරිදත් සමගත් කතා බහ ගොඩ නගා ගෙන තීරණ අතර වඩාත් ම හොඳ තීරණයට එළැඹීම අවශ්‍යයි.
තීරණවලදී පර්වත වගේ නොසැලී සිටින විට පියවරුන්ගෙ අභිමානය ඔවුන් නොදැන ම බිඳ වැටෙනවා. දරුවන්ගේ නව යෞවන අවධිය හඳුන්වා දෙන්නේ කුණාටු සමය කියලයි. පියවරුන් තමන්ගෙ අභිමානය මුල් කරගෙන අනවශ්‍ය ලෙස ස්‌ථාවරයක් ගොඩ නගා ගැනීම හොඳ නැහැ.
ඒ වගේ අවස්‌ථාවක දී දරුවන් දැඩි විදිහට පියාගේ තීරණයට එරෙහිව යන්න පුළුවන්. එම එරෙහිවීම නිසා පියාගේ ස්‌ථාවර අණසක ඔහු ඉදිරියේ ම බිඳ වැටෙනවා. එයින් සිද්ධ වෙන්නේ පියාගේ අභිමානය රඳවා ගැනීමට වඩා ඔහු විසින් ගොඩ නගා ගැනීමට අදහස් කරන ප්‍රතිරූපය ඔහු ඉදිරියේ ම බිඳ වැටීමක් පමණයි.
නිවසේ ගෘහිනියට කාර්ය බහුල ජීවිතය සමග පුංචි ප්‍රමාදවීම් සිදු වෙන්න පුළුවන්. මෙම ප්‍රමාදවීම් වලට ලකුණු එකතු කරන පියවරු බොහෝ වෙලාවට චෝදනා නගන්නේ.
මාව දැන් බල්ලෙක් ගානට දාලා...
මම දැන් අවලංගු කාසියක්..
විදිහටයි. නමුත් ගෙදර දොර වැඩ කටයුතු අතර සිටින බිරිඳ දරුවන්ගේ රාජකාරි සමග මේ සියළු මෙහෙවර ඉෂ්ට සිද්ධ කළ යුතු බව ඔවුන්ට අමතක වෙලා හය හතර නොතේරෙන දරුවන්ට අම්මාගේ උදව් අවශ්‍යමයි. ඒ වගේ වෙලාවක දරුවන්ගේ කටයුතු සිදුකරන බිsරිඳ සමග අරන සිත් ගොඩ නගා ගන්නා විට අම්මා නොමැති කල ..අප්පා කුමන කල? දරුවෝ ප්‍රශ්න කිරීම සාධාරණයි නේද?
අඹු - සැමියන් විදිහට බොහොම ආදර සිත් ඇති උදවිය දරුවන් ලැබීමෙන් පසු පෙරදා පැවති හිතවත් කමෙන් දුරස් වෙනවා. ඔවුන් හිතන්නේ බිරිඳ තමන් නොසලකා හැර ඇතැයි වූ ආත්මානුකම්පාවෙන් සිත පීඩා විදිනු ඇත. මේ නිසාම ඔවුනොවුන් අතර නිරන්තර මත ගැටුම් ඇති වීමත් සමග ඔවුනොවුන් අතර වූ හෘදයාංගම බැඳීම බිඳ වැටෙණු ඇත.
මේ නිසා පියෙකුගේ අභිමානය යනු මනසින් ගොඩ නගා ගන්නා හුදු සංකල්පයක් පමණක් නොවේ. එය පියෙකු විසින් තමන්ගේ අඹු - දරුවන් සමග වූ සහ සම්බන්ධතාවය මගින් ගොඩනැගෙන අභිමානය කිසිදු දිනක බිඳ නොවැටෙනු ඇත.
පුන්‍යා චාන්දනී ද සිල්වා / Navalia