සිත වනාහි දුර ගමන් කරන, තනිව හැසිරෙන, ශරීරයක් නැති ගුහාවක් වැනි ය යනුවෙන් බුදුහිමියෝ වදාළහ.
”සිත නම් වල් අසෙකි
අල්වා බැඳ තැබිය යුතු
නුවණින් මෙහෙයවිය යුතු
(ප්‍රබුද්ධ – මහගමසේකර)
එසේම බන්දුල විජේවීරයන් ගේ ගීතයක් උදෙසා සුනිල් ආරියරත්නයෝ මෙසේ පද ගෙතූහ.
හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
(මහාචාර්ය සුනිල් ආරියරත්න)
දමනය කිරීමට නොහැකි මේ සිතිවිලි නිසා මිනිසා විවිධාකාර වූ ප්‍රායෝගික අර්බුදවල පැටලෙයි. ප්‍රේමය නම් වූ විෂයයෙහි වැඩි වැඩියෙන් මේ අර්බුද ඇතිවනු දක්නට හැකිය. ආදරය වූ කලී එක හිතකින් එකකුට හෝ එකියකට පමණක් පුදකළ යුතු ය යන්න සාම්ප්‍රදාය යයි.
ඒ සම්ප්‍රදාය බිඳෙන කල්හි සමාජ සංස්කෘතික ගැටලු හටගනී. ඒ ගැටලුවලට මුහුණදීමට කෙනකුට අසීරුවෙයි. ප්‍රණීත් අභයසුන්දර නම් වූ ගේය කාව්‍ය රචකයා තේමා කරගන්නේ එබඳු අර්බුදකාරී අවස්ථාවකි.
වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
කථකයාට ප්‍රේමවන්තියන් දෙදෙනෙකි. එකියක තමා සමීපයේ සිටින්නියකි. ඇතැම් විට ඇය බිරිය හෝ විවාහ අපේක්‍ෂිත තැනැත්තිය විය හැකිය. අනෙක් තැනැත්තිය දුරින් සිටින්නියකි. දෙදෙනාටම ඔහු එකහා සමාන ව ප්‍රේම කරයි. මට මීට පෙර තත්සර ඇසුරේ සටහන් තැබූ ගීයක් සිහිවේ.
”සම කෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
මම තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා
(සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
මෙහිදී රිදවීමෙහි සහ පළිගැනීමේ යෙදෙන්නේ ඔහු සමීපයෙහි සිටින තැනැත්තියයි. ඔහු ආයාචනාත්මකව පවසන්නේ තමන්ට එවැන්නක් නොකරන ලෙසත්, දෙදෙනාම තමන් ගේ ඇස්දෙක හා සමාන බවත් ය. ඔහුට මේ දෙදෙනාගෙන් ම සමාවක් නොලැබිය හැකි නමුදු මෙහිදී වඩා වැදගත් වන්නේ කථකයාගේ අව්‍යාජත්වයයි. ඔහු කළේ වරද වේවා නිවැරදි දේ වේවා ඔහු තමා පිළිබඳ ඇත්ත හෙළි කරයි.
ඔහු මුහුණදෙන මීළඟ අර්බුදය වන්නේ, කුමන හේතුවක් නිසාවත්, එක් ප්‍රේමයකට තිත තැබීමට සූදානම් නොවීම හේතුවෙනි. එසේම එකියකට හෝ රිදවීමට ද ඔහු කැමති නොවේ’ දෙදෙනා කෙරෙහි ම නම්‍යශීලී වූ දයාබර හදවතක් ඔහු සතු ව පවතී.
ඔබෙ ගිනි නිවා - ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ....
කථකයාගේ දයාබරත්වය නිසා ඔහුට චපලකම පිළිබඳ චෝදනාව එල්ලවීමට ඉඩක් නොමැත. චපල හදවතක් ලෙස කැට මුගුරු ගෙන පහර දෙනු වෙනුවට ඔහුට අනුකම්පා කිරීමට රසිකයා පෙලඹේ.
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ”
එකියකට හෝ අසාධාරණයක් වනු දැකීමට ඔහු අකමැති ය. තමා සමීපයෙ සිටින ආදරවන්තිය ද දුරින් සිටින ආදරවන්තිය ද ඔහුට එක හා සමාන ය. එහෙත් ඔහුට අනාගත ඉරණම ඉවකින් මෙන් දැනේ නම් මේ දෙදෙනාට දක්වන සාධාරණය දෙදෙනාගෙන් තමාට ආපසු ලැබේද යන්න ඔහුට සැක සහිත ය. එබඳු අනාගත අභාග්‍යයකට ඔහු සූදානම් වන බවක් මෙහි දී රසිකයාට හැඟේ.
”අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවි දෝ...”
ඔහු සිතකින් නොකළ වරදක් වුවද මේ වරද තේරුම් ගැනීමට මේ යුවතියෝ සමත් වෙති ද? එසේ නම් ශ්‍රී හර්ෂ රජු විසින් රචිත රත්නාවලී නාට්‍යයේ වාසවදත්තා ගේ චරිතය යළි ලොව පහළ විය යුතුය. මේ නිසා අවසාන ප්‍රතිඵලය විය යුත්තේ දෙදෙනා අතින් ම මොහු ප්‍රතික්‍ෂේප වී යාමයි.
සුලබ අනුභූතියක් වුවද එය දුලබ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ප්‍රණීත් අභයසුන්දරයෝ සමත්වෙති. සමාජයෙන් චෝදනා ලැබිය හැකි චපල සිතකට අනුකම්පාව ලබාදීමට ද ඔහු සමත් වෙයි.
ප්‍රේමය පිළිබඳ සමාජ සංස්කෘතික සීමාවන් පුපුරවා හැරීමේ තේමාවක් ද මේ ගී පද රචනයෙහි අන්තර්ගත ය. ආදරයට කොන්දේසි පැනවිය නොහැකි බව මේ තුළින් යළි යළිත් පැහැදිලිවේ.
මැදිවිය ඉක්මවා යමින් සිටියද ප්‍රේමණීය හඬ පෞර්ෂය මහාචාර්ය සනත් නන්දසිරි තුළ නොනැසී පවතී. ඒ හඬ රසික හදවත් දොවාගෙන ගංගාවක් සේ ගලායයි. එතුමන් ගේ බොහෝ තනුනිර්මාණ තුළ ද ඒ යෞවනය තවමත් නොනැසී පවතී.
මේ ගීත පදමාලාව පිළිබඳ ව වෙනත් මතවාදයන් ද රසිකයන් තුළ පවතී. එනම් තම පෙම්වතිය හා මව අතර අතරමංවුණු තරුණයකුගේ සිතුවිලි මෙහි අන්තර්ගත බවයි. නිර්මාණයකට එබඳු විවිධ අරුත් සපයන්නට සමාජය ඉදිරිපත් වීමෙන් ම පැහැදිලි වන්නේ සමාජය ඒ නිර්මාණය වැලඳගත් බවයි. කෙසේ වෙතත් මා දන්නා පරිදී තනුවක් වෙනුවෙන් නිර්මාණය වූ මේ ගීතයේ උපරිම රසය මතුවන්නේ පළමු අනුභූතිය තුළ බව මට පෞද්ගලික ව දැනේ.
ප්‍රණීත් අභයසුන්දර ට මම කවදත් ආදරය කරමි. ඔහු අප පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි. එකිනෙකා නාඳුනන ඈත දවසක වුවද පාසල් දැන්වීම් පුවරුවක රැඳි ඔහුගේ නිර්මාණ මම ආස්වාදය කර ඇත්තෙමි. අදත් මම ඔබගේ නිර්මාණ ඒ අයුරින් ම ආස්වාදය කරමි. ආචාර්ය ප්‍රණීත් අභ්‍යසුන්දර අභිබවා ගෙන මා ඉදිරියේ මැවෙන්නේ සුදුවතින් සැරසී කොළඹ ආනන්දයේ කොරිඩෝවක් මැදින් ඇවිදගෙන ගිය ප්‍රණීත් අභයසුන්දරයි.
ධම්මික බණ්ඩාර - Silumina