Pages

Sunday, October 16, 2011

‘ගාමණී’ ජනතා සම්මාන ලබයි


ලෝක සිනමාව සමඟ සසඳන කල්හි යුද්ධය ආශ්‍රිතව ගොඩනැගුණු සිනමාවට හිමි වනුයේ ඉතාම සුවිශේෂී තැනකි. යුද්ධයක අතිබිහිසුණු කම පමණක් නොව ඒ පිටුපස සැඟවුණු අවිහිංසකකම, මිනිසත්කම, අසරණකම, ආදී කාරණා වඩාත් තීව්‍ර අන්දමින් නිරූපණය කිරීමට යුද පසුබිම් කතන්දර තුළ ඇති හැකියාව අති ප්‍රබලය. ලෝක සිනමාව පිරික්සා බලන කල්හි ඒ සඳහා හමුවන උදාහරණ ඕනෑ තරම් වේ.
පසුගිය වකවානුව තුළ දී යුද්ධය අපට කොතරම් සමීප අත්දැකීමක් වුව ද යුද්ධය හා බැදුණු සිනමාව අපට ඉතාමත් ම දුරස් එකක් වූයේ යුද්ධය පසුබිම් වූ සැබෑ සිනමාවක් අප කරා කිසිදා ළං නොවූ නිසා යන කරුණු රහසක් නොවේ. එකල එහි වූ සැබෑ තත්ත්වයට යුද්ධය තරමට ම භයානක එකක් විය. යුද්ධයට ආ වැඩූ විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ සමහර රටවල අවශ්‍යතා මූලික කරගෙන ඩොලර් - යූරෝ වලට වහල් වූ ඉතා විකෘති සිනමාවක් අපට දක්නට ලැබුණි. මේවායේ සිංහලයා එසේත් නැත්නම් සිංහල සොල්දාදුවා මෙන් ම හමුදා නිලධාරියා ද ඉතා පහළ මට්ටමේ අයෙකි. එසේත් නැත්නම් ඉතා විකෘති මානසිකත්වයෙන් පෙළෙන අයෙකි. මේවායේ යුද්ධය යනු ඉතා ආත්මාර්ථකාමී ක්‍රියාවකි. නමුත් මේවාට ලෝක සිනමාව තුළ පැසසුම් ලැබිණි.
නමුත් ඉන් කිසිදාක සැබෑ යුද්ධයේ මුහුණුවර එසේත් නැත්නම් ත්‍රස්තවාදයේ කුරිරු ම්ලේච්ඡ බව කිසිදිනක ඉස්මතු වූයේ නැත. සිනමා කරුවා තව කෙනකුගේ මෙහෙයවීම මත යුද්ධය දුටුවේ ඒ ආකාරයට ය.
වත්මන වන විට තිස් වසරකට අධික යුද සාක්‍ය නිමා වී ඇත. එහෙත් අප සිනමාවේ නිරත වූවන්ට ජය ගැනීම අපොහොසත් වූ සත්‍ය සැබෑ යුද පිටියේ ජීවත්වූ අයෙක් අතින් සිනමාවට නැඟී තිබීම ලෝක සිනමාව උදාහරණ කොට ගත්ත ද ඉතා විරළ සුවිශේෂී සන්ධිස්ථානයකි.
සැබෑ යුද්ධයක් පසෙක තිබිය දී යුද්ධයෙන් ජීවත් වූ අය මෙන් ම යුද්ධය වවාගෙන කෑ පිරිසක් ද සිටි බව අප හොඳා කාරවම දනිමු. නමුත් සහමුලින් ම නිමාව දකින තුරු සැබෑ ම්ලේච්ඡ යුද්ධය සාමාන්‍ය ජනතාවට ජීවත්වීම අභියෝගයක් කරමින් සැමදාම පැවතුණි.
සිනමාත්මක අතින් ගත් කල උසස් සිනමාත්මක ගති ලක්ෂණ මෙන් ම සරල වානිජ ගති ද පළ කරමින් ‘ගාමණි’ සිංහල රිදී තිරය ඔපවත් කරන්නේ මෙවැනි වකවානුවකදී ය. රියල් අද්මිරාල් සරත් වීරසේකර නම් නවක සිනමා කරුවා තමා යුද පිටියේ දී මුහුණ දුන් අත්දැකීම් ඇසුරු කර ගනිමින් සිනමා පාටයක් නිර්මාණය කර තිබේ. පළමුව අපගේ අවධානයට ලක්විය යුත්තේ සැබෑ යුද බිමේ ජීවත් වූ සැබෑ යුද අත්දැකීමෙන් පෝෂණය වූ අත්දැකීම් නිර්භයවත්, අව්‍යාජ ලෙසත්, නිර්මාණශීලී ලෙසත් ඉදිරිපත් කරන්නට දරන උත්සාහයයි. සැබැවින් ම එය විශාල පිරිවැයක් දරා නිර්මාණය වූ සිනමා පටයකි. ඉන් කතිකා කරනුයේ ත්‍රස්තවාදයේ වූ කුරිරු ම්ලේච්ඡ බවයි. ඒ සඳහා ඔහු සත්‍ය සිදුවීමක් මූලාශ්‍ර කර ගනිමින් ඒ ඔස්සේ නිර්මාණය කරන ලද වෘතාන්තයක් ප්‍රේක්ෂකයාට තිළිණ කරයි.

මෙයට බැඳෙන්නට මා පෙළඹ වූ මූලික ම කරුණ ලෙස මා විශ්වාස කරන්නේ යුද පිටිය හා බැඳුණු නිර්මාණකරණයට මාද විශාල වශයෙන් නෑ කම් කියුමෙන් නිසා විය යුතු යැයි මා විශ්වාස කරමි. සැබෑ යුද්ධයෙ උච්චතම අවස්ථාවක් පැවති යුගයක විශාල කණ්ඩායමක් සමඟ සැබෑ යුද පිටිය තරණය කරමින් ම විසින් නිර්මාණය කරනට යෙදුණු ‘යුග විලක්කුව‘ ටෙලි නිර්මාණය සිහිපත් වේ. එයට පසුබිම් වූයේ ද යුද්ධයේ සැබෑ මුහුණුවරයි. 1985 මැයි 14 වන දින ජය සිරි මහ බෝධියට ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයේ සිට 1994 දක්වා සිදුවූ සත්‍ය සිදුවීම් රාශියක් ඒ සඳහා පාදක විය. ‘ගාමණි’ මැවීමට උත්සාහ දරන යුද්ධයේ සැබෑ බිහිසුණු කමම එදා සියැසින් දුටුවෙකු ලෙස මෙවැන්නක් ලිවීමට මා සුදුසු කම් සපුරා ඇති බව ද කල්පනාවේ.
ඒ යුගය කිසිම ජනමාධ්‍ය කණ්ඩායමක් හෝ උතුරු කරයට නොයන වකවානුවකි. එකල යුද්ධයේ බිහිසුණු කම කොතෙක් ද යත් මේ මොහොතේ අප සමඟ කතා කරන කෙනා ඊට ස්වල්ප මොහොතකින් හමු වන්නෙ එක්කෝ මළ කඳක් ලෙසිනි. එසේත් නැත්නම් අත පය අහිමි වූවෙකු ලෙසිනි. යුග විලක්කුව සේ ම යුද පිටියේ විවිධ වාර්තා වැඩ සටහන් රාශියක් රූප ගත කරද්දී ඇසින් දුටු අත්දැකීම් සහ ගාමණි සසඳන කල්හි අනෙකුත් යුද ආශ්‍රිත සිනමාව පරයා ගාමණි කෙරෙහි මා සිත නිතැතින් ම බැඳී යයි.
එමෙන් ම මෙය පසුගිය දිනවල ඉතා උණුසුම් ලෙස කතා බහට ලක් වූ චැනල් 4 ප්‍රශ්නයට ද කදිම පිළිතුරකි. ජාත්‍යන්තරය කලඹමින් ඉතා සැළසුම් සහගත ලෙස නිර්මාණය වූ චැනල් 4 සිද්ධිය කල්පිතයක් බව තාක්ෂණය පිළිබඳ යම් තරමක හෝ දැනුමක් ඇති අයට නොරහසකි. එම රූපාවලියේ කැමරාව පිහිටි වීම ආදිය දකින කල එය සැලසුම් සහගත ක්‍රියාවක් බව විශද වන අතර එවැනි ම බිහිසුණු කමක් ගාමණි හි සමහර ජවනිකා වලින් ද මවා තිබේ.
විශේෂයෙන් ම මිනිසුන් කපන කොටන අවස්ථා, කුඩා දරුවා පොළොවේ ගසන අවස්ථා වැනි තැන්වලදී එහි බිහිසුණු කම අපට හොඳින් ම වැටහේ. නිර්මාණ තුළින් මෙසේ කළ හැකිය යන්න කදිමට පෙන්වා දෙන ගාමණි චැනල් 4 සිද්ධියට කදිම පිළිතුරක් වන්නේ එහෙයිනි. යුද්ධයේ කුරිරු බව කෙතරම් ද යත් ඉන් කම්පනයට පත්ව මන්ද මානසික වූ ළමයින් මිනිසුන් සහ ගැහැනුන් තවමත් ජීවත් වන බව නොරහසකි. එමෙන් ම තම ජීවිතය හා බැදුණ වුන් අහිමිව පීඩා විඳින මිනිසුන් ද ඒ අතර වේ. එහෙත් නිර්මාණ තුළින් හෝ මාධ්‍ය තුළින් මේවායේ යථාර්ථය කතා බහට ලක් කරන්නේ කොතරම් අඩුවෙන් ද? ඒ අනුව බලන කළ මෙම නවක සිනමා කරුවා ඒ සැඟවුණු මිනිස් ගති තුළ කිමිද ඒවා පුළුල් ලෙස ඉස්මතු කිරීමට ගත් උත්සාහය පැසසිය යුතු ය.
ගාමණි ආරම්භය ඉතාමත් විශිෂ්ට සිනමාත්මක ලක්ෂණ පෙන්නුම් කරයි. ගෝනගල නම් ග්‍රාමයේ සාමාන්‍ය වැසියෝ පනස් හත් දෙනකු පමණ අමු අමුවේ කපා කොටා ඝාතනය කරන තැන් සිට ඔවුන් භූමදානය කිරීම දක්වා වූ රූප පෙළ අතිශය සංකීර්ණ ලෙස ගොඩ නැඟීමට සිනමා කරුවා සමත් වේ.
බූන්දි ගෙන එන බව සිය ආදරණීය පුතුට පවසා ගෙදරින් එළියට බසින පියා ආපසු එන විට සිදුවූ ඛේදනීය සිද්ධියට මුහුණ දෙන ආකාරය, තම පුතුගේ තුවාල වූ කකුලෙන් මෘත ශරීරය හඳුනා ගැනීම, ඉන් පසු බූන්දි බිම වැටීමේ දර්ශනය ආදී සියුම් කාරණා තුළ සිනමා බස මනා පිළිඹිබු වේ. ඉන් පසු ඔහු උන්මන්තකයෙකු වී සිය දිවි හානි කර ගැනීම තුළ යුද්ධයේ ම්ලේච්ඡ බව සංකීර්ණ ලෙස ගම්‍ය වේ. එමෙන් ම රාත්‍රි කැලේ සැඟවෙන පවුල් අතර වූ කුඩා දරුවෙක් සඳඑළියේ චිත්‍ර ඇඳීම අති ප්‍රබල මානවීය ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැක.
සිය පවුලේ සියල්ලන් ම කපා කොටා මරණයට පත්කරන අයුරු සියසින් දුටු කුඩා දැරිය ලද කම්පනය නිසා ගොළු බවට පත් වීම ද එසේ ම ප්‍රබල අවස්ථාවකි. නමුත් අවසානයේ දී ඇය කතා කිරීම දක්වා සිනමා කරු සිය කෘතිය හැසිරවීමේ දී මාගේ අදහසට අනුව නම් එය හුදු සරල වාණිජ සිනමාවකට අත වැනීමකි. එමෙන් ම කෘතිය අවසන් කරන්නට යෑමේදී සියල්ල විසඳීම යන බොළඳ ආකල්පයේ නොසිට තිරනාටකය සකස් කරගත්තේ නම් ඉතා විශිෂ්ට කෘතියක් අපට විඳීමට හැකි වන බව ද විශ්වාස කරමි.
තිරනාටකය යම් විසිරුණු ස්වභාවයක් දක්නට ලැබීම ද දුර්වල ලක්ෂණයකි. එය තව දුරටත් නැටි කරගන්නට සමත් වූයේ නම් අප දකින ඇතැම් ආධුනික ලක්ෂණයන්ගෙන් බැහැර වී සිටීමට ඔහු සමත් වන බව නොඅනුමානය. එහෙත් අප සැලකිල්ලට ගත යුතු වැදගත් ම කාරණය වනුයේ සැබෑ හමුදා නිලධාරියෙකු වූ සරත් වීරසේකරයන් අනවශ්‍ය ලෙස තම වෘත්තිය හෝ සමස්ත හමුදා නිලධාරීන් ඉස්මතු කිරීමට උත්සාහ නොගත් එකයි.
ඔහු තම වෘතාන්තයේ ප්‍රධාන නිලධාරියාට මඟපෙන්වීම ලබා දෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ සහ ගුරුවරිය මාර්ගයෙනි.
එය නිර්මාණය අලංකාර කරගැනීමට මහත් රුකුලක් වූ කාරණයක් මෙන් ම විශ්වාසනියත්වය ද පලුදු නොවන ප්‍රබල කරුණකි.
එමෙන් ම විශ්වාසනීයත්වය පලුදු කරගත් සමහර අවස්ථා ද මෙම තිර රචනයේ ඇති බව පෙනේ. කෘතිය අවසන් බාගයේ ජීවිතයත් මරණයත් අතර නිමේෂයකදී ගම්මුන් අතර ඉන්නා කාන්තාව සිය රත්රන් බඩු ගෙන ඒමට යාමට තැත්කිරීම ද එවන් ලක්ෂණයක් පෙන්නුම් කරයි.
එය ග්‍රාමාරක්ෂක නිලධාරියාගේ වීරත්වය පෙන්වීම සහ කුඩා දැරිය කතා කිරීමට සැලැස්වීමේ හුදු අරමුණින් ම සිදු කළ එකක් බව අපට වැටහේ. එමෙන් ම මෙසේ පහත දක්වන කාරණා ද පොදුවේ ගත් කල නිර්මාණයේ ගුණාත්මක බවට තරමක් හරස් වූ අවස්ථා ලෙස සැලැකිය හැකි ය.
ග්‍රාමාරක්ෂක නිලධාරීන්ගේ හාස්‍ය මුසු අවස්ථා කෘතිය පුරා යෙදවීම, සිංහල ජාතිය පිළිබඳ වුවමනාවට වඩා කෙරෙන වර්ණනා, දෙමළ පවුල කෘතිය වෙත ගෙන එන ආකාරය සහ ඉන්පසු උදාවන සරල සාමාන්‍ය අවස්ථා, කොටි පිහි පමණක් ම පාවිච්චි කිරීම, සටන්කරුවාගේ පැමිණීම, (මෙය නිර්මාණයට කෙතරම් අලංකාරයක් වුව ද කෙතරම් දුරට භව්‍ය ද යන්න ගැටලුවකි.), දෙමළ පවුලට ආරක්ෂාව සැපයීම කොතරම් මානුෂීය කාරණාවක් වුව ද එමගින් නිර්මාණාත්මක බවක් ගොඩනැෙ¼ඟන්නේ නැත, අවසානයේ සියල්ලම විසඳා ‘සියල්ලෝම සතුටින් විසිර ගියහ’ සංකල්පය වාණිජ සිනමාවට ආවේනික වූ සරල ගති ලක්ෂණයකි.
මේවා හුදෙක් එකිනෙක දුර්වල කම් ඉස්මතු කිරීමට ලියූ ඒවා නොවේ. මෙම ලක්ෂණ තරමක් දුරට හෝ සාධාරණීකරණය වෙමින් නිර්මාණාත්මකව තිරනාටකය ගොඩනැගුණේ නම් උක්ත සිනමා පටය ඉතා විශිෂ්ට එකක් වීමට තිබූ ඉඩකඩ බොහෝ ය.
කෙසේ වෙතත් රියර් අද්මිරාල් සරත් වීරසේකර සිනමා කරුවාට අපගේ සුබපැතුම් නිබඳවම හිමි විය යුතුය. ඒ මෙම කුරිරු සාපීය යුද්ධයේ එක්තරා අඳුරු පැතිකඩක වූ සත්‍ය නිර්මාණාත්මකව ප්‍රදර්ශනය කිරීමට ගත් අනුපමේය උත්සාහය අරඹයා ය.
මේ වනවිට මෙය මහත් ජනතා ප්‍රසාදය ලබමින් සාර්ථක ලෙස තිරගත වේ. එය ඉතා සුබ ලකුණකි. සිනමා ශාලාව වෙත ප්‍රේක්ෂකයා නොපැමිණේ යැයි නිතර අසන්නට ලැබෙන මෙවන් වකවානුවක ඒ කතාවලට මෙය කදිම පිළිතුරකි. වැදගත් ම කරුණ වනුයේ මෙවැනි සැබෑ නිර්මාණයක් තුළින් ජාත්‍යන්තරය යැයි හඳුන්වන අප මුලින් කී සම්මාන උත්සව සඳහා මේවාට ආරාධනා නොලැබෙන්නට පුළුවන. ඒ මෙය සත්‍ය මෙන් ම යුද්ධයේ සැබෑ පැතිකඩක් නියෝජනය කිරීමේ හේතුව උඩ ය.
එසේ වූවාට කම් නැත මෙය අප රටේ ජනතාව වෙනුවෙන් සැදූ අපේ නිර්මාණයකි. මෙයට අප රටේ ජනතාවගේ සම්මානය නිබඳවම හිමි වනු ඇත. එසේ නම් අප සැමගේ යුතු කමක් වනුයේ මෙම සිනමා පටය අනිවාර්යයෙන් ම නැරඹීමයි. අප ඉදිරි පරම්පරාවට නැරඹීමට සැලැස්වීමයි.
නුදුරු දිනක රියර් අද්මිරාල් සරත් වීරසේකරයන් තුළ සිටින විශිෂ්ට සිනමා කරුවා තව තවත් විශිෂ්ට සිනමා නිර්මාණ රැගෙන අප ඉදිරියට එනු ඇතැයි අප නෙත් දල්වා බලා සිටිමු.