විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප
මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද විශාරද නන්දා මාලනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සංගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වර සංරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මේ මහඟු ගී මිණ කෙරෙන් විප්‍රලම්බ ශෘංගාරයේ තරම මොනවට සුපැහැදිලි වෙයි.
මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද විශාරද නන්දා මාලනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සංගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වර සංරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මේ මහඟු ගී මිණ කෙරෙන් විප්‍රලම්බ ශෘංගාරයේ තරම මොනවට සුපැහැදිලි වෙයි.
ප්‍රේමය බිඳ වැටෙන කල්හි ඇති වන සංවේගය එය ඉපදී වැඩි එන කල්හි ජනනය වන ප්‍රහර්ෂය තරම්ම බලවත්ය. සොබාදහම ද මානව සමාජයේ ද බලපාන චලන නියාම ධර්මයට, විපරිණාමයට ගෝචර නොවන කිසිදු දෙයක් මේ මිහිපිට තිබේද? ප්‍රේමයට පමණක් වෙසෙසි වෙනත් ඉරණමක් ද මෙලොව නැත.ලෝකය ගෝලාකාරය. මිනිසුන් විවිධාකාරය. ජීවිතය පුදුමාකාරය. ප්‍රේමය විසමාකාරය. මේ නියාම ධර්මයට අනුව සමාජය චලනය වෙයි. වෙනස් වෙයි. දුෂ්ට වෙයි. ප්‍රචණ්ඩ වෙයි. එහෙයින් මිනිස්සු ද වෙනස් වෙති. ප්‍රේමය යනු මිනිසුන් දෙදෙනකු අතර ඇති වන ළෙන්ගතු බැඳීමක් විනා අන් කුමක්ද? පෙම් බැඳුම් හට ගනී. බොහෝ පෙම් පලහිලව් ඉක්මනින් හෝ කල්ගත වී හෝ බිඳී යයි. එහෙත් උනුන් අතර සුඛප්‍රහර්ෂයෙන් ගෙවුණු මතකය සදා අමරණීය නොවේද?
රාධා - ක්‍රිෂ්ණා පෙම් යුවළ අපට හමුවන්නේ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දයේදීය. යමුනා ගං තීරය යනු රාධා - ක්‍රිෂ්ණා පෙම්වතුන් යුවළ නුගිනුරා ප්‍රේමයෙන් වශී වී කෙළිදෙලෙන් වාසය කළ ස්ථානයයි.එහිදී ඔවුහු අපරිමිත ප්‍රේමයෙන් ආලෝලනය වී අන්ධ වී කාමසම්භෝගයේ පවා යෙදුණහ. මේ ගීතයේ එන පරිසර වැනුම් හා කාව්‍යමය යෙදුම් රාධා තුළ බිඳී ගිය ප්‍රේම විජිතය යළි ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට පවත්නා අභිලාෂයේ සුන්දරත්වය හඟවයි. මේ වූකලි කාමසම්භෝගය ඉල්ලා නඟන රාවයක් වැනිය.
ශ්‍රී කෘෂ්ණ හෙවත් ක්‍රිෂ්ණා යනු කවුරුන්ද? ඔහු විෂ්ණු දෙවියන්ගේ අවතාරයකි. හින්දු පුරාණෝක්තිවලට අනුව විෂ්ණු යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්මටත් ධර්මය රැකීමටත් අඳමිටුවන් විනාශ කිරීමටත් නේක වේශයෙන් විෂ්ණු ලොව පහළ වන බවට හින්දු භක්තිකයෝ විශ්වාස කරති. මහභාරතයේ සඳහන්ව ඇත්තේ ද එසේය.
විෂ්ණුට අවතාර නවයකි. මත්ස්‍ය, කුර්ම(ඉදිඹු), වරහා(ඌරු) නරසිංහ, මානව, පරශුනම, රාම, කෘෂ්ණ, බුද්ධ යන අවතාර නවයකින් විෂ්ණු ලොව පහළ වූ බවත් කල්කි නම් වේශයෙන් අනාගතයේ පහළ වන බවත් කියති.
මේ අවතාර අතරින් වඩාත් ජනප්‍රිය වූයේ රාමා සහ ක්‍රිෂ්ණාය. ක්‍රි.පූ තුන්වැනි සියවසේදී වාල්මිකී නමැති ඉසිවරයා රාමා චරිතය ඇසුරින් රාමායණය නම් වූ අතිශය ජනප්‍රිය ප්‍රබන්ධය රචනා කළේය. ක්‍රිෂ්ණා වඩාත් ජනප්‍රිය වූයේ ඔහුගේ ආදරවන්තිය වන රාධා නමැති රූමත් ගෝපිකාව නිසාය. ගොපල්ලකු සහ ගෝපිකාවක වන ක්‍රිෂ්ණා - රාධා පෙම් යුවළ කුඩා කල පටන් හැදී වැඩුණේ වෘන්දා වනය හෙවත් හිමාලය ආසන්නයේ ගමකය. ක්‍රිෂ්ණා කාල වර්ණය. එහෙත් රූපශ්‍රීයෙන් අගතැන්පත්ය. වෘන්දා වනගැබ අසල ගෝපිකාවෝ ක්‍රිෂ්ණාට වශී වී සිටියහ. ක්‍රිෂ්ණාගේ රූපයත් නුවණත් ශක්තියත් වෘන්දා වනය සිසාරා ගොපලු ගම් දනව් අතර පැතිර ගියේය. බටනළා වාදනයට ද එකසේ දස්කම් විස්කම් පෑ ක්‍රිෂ්ණා කතුන්ගේ සිත් වශී කරන ඉන්ද්‍රජාලිකයෙක් ද වූයේය. ගෝපිකාවෝ ඔහුගේ වස්දඬු රාවය නොඅසා රාත්‍රි නින්දට නොගියහ. ගමේ ගෝපිකාවෝ මෙන්ම වැන්දඹු කාමිනියෝ ක්‍රිෂ්ණාගේ හදවත දිනාගැනීමට පොරකෑහ. රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය ශෝකාන්තයක් වූවද ඒ ඇසුරින් සාහිත්‍යකරුවෝ විවිධ නිමැවුම් කළෝය. ඇතමෙක් කවි, ගීත ලියූහ. තවත් අයෙක් චිත්‍ර ,මූර්ති කලා කැටයම් කළහ. ඔවුහු රාධා - ක්‍රිෂ්ණා ලෝකයේ අමරණීය පෙමි යුවළක් බවට පත් කළහ.
ක්‍රිෂ්ණාට තිබුණේ සල්ලාල ජීවිතයකි. රාධාගෙන් පමණක් සෑහීමට පත් නොවූ ඔහු වෙනත් ගෝපිකාවන් සමඟ රැය පහන් කළේය. ක්‍රිෂ්ණාගේ අනග රැඟුම් නොඉවසූ රාධා අවසානයේ ඔහු අත හැරියාය. එහෙත් ඇය ඔහුට දිවිහිමියෙන් පෙම් කළාය. ඔහු සමඟ ගෙවූ සුමිහිරි අතීත මතකය සිතේ ගුලිකර ගෙන පෙම් නටබුන් අතර අතරමං වී දුක් වින්දාය.
මේ ගීතයට බිඳී ගිය ප්‍රේම වෘත්තාන්තයක් ගෝචර වෙයි. එයින් හටගත් ඉමහත් සෝ තැවුලින් තැවෙන පෙම්වතිය තම හෘදයාභ්‍යන්තරයට ඔහුගේ ප්‍රේමාගමනය පතා සිටින්නීය. මහැදුරු සුනිල් ආරියරත්නයෝ මේ ගීතයෙන් ප්‍රේමපරවශ ලිය සිතක ජීවන ලාලසාව රාගී හැඟීම් මහෝඝයකින් කොනහති. අතීතයේදී ක්‍රිෂ්ණා සමඟ යමුනා ගංතෙර අසබඩ විඳපු කාමාරසාස්වාදය රාධාට යළි සිහිවෙයි. ඒ සොඳුරු සුයාමය පිළිබඳ තවමත් ඇගේ සිතෙහි ලොබලිය ලියලවයි.
යමුනා ගංතෙර
තමලු ලතා සෙවණේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලා හිඳී
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
මේ ගීතයේ ස්ථායි කොටසෙන් රාධා ජීවත්වන පරිසරය පිළිබඳ යම් ඉඟියක් සපයයි. යමුනා ගඟ අසබඩ හිමාලයට ආසන්නයේ තාමලි නමින් ලස්සන මල් වැල් වර්ගයක් සුපුෂ්පිත වන බවත් ඒවා අව් රශ්මියෙන් වසන්වීමට සෙවණ සදන බවත් කියති. මේ මල් වැල් ආරක්කු පෙළක් මෙන් වනාන්තරය අලංකාර කරයි. මෙහි යොහොඹු කුසුම් යහනක් ඇති බව ද මහැදුරු ආරියරත්නයෝ කියති. යොහොඹු කුසුම් යනු අසෝක මල්ය. අසෝක මල් දසත සුගන්ධය පතුරවමින් පලසක් මෙන් බිම වැතිරී සිටී. කවියා එය යහනක් කොට දකී. රාධා මෙකී අසෝක මල් ඇතිරු යහනට වී අපේක්ෂා දල්වමින් බලා සිටිනුයේ ක්‍රිෂ්ණා යළි එනතුරුය. එහෙත් ගෝපි ලියන් සමඟ අනාචාරයේ ගිය ක්‍රිෂ්ණා යළි ඒවිද?
තාමලි, යොහොඹු වැනි පියුමිවල වර්ණ - ගන්ධ - ගුණ සම්පත්තිය කෙතරම් විභූතිමත්ද? රාධාගේ අනුරාගික හැඟීම් විරහා වේදනා සුසුම් ප්‍රේමයේ ප්‍රීති ප්‍රමෝද උද්දාමය කිරීමට මේ සංකේතාර්ථ, උපමා රූපක මොනතරම් ඖචිත්‍ය දැයි නොකියමනාය. ඔවුන් සිප වැළඳගෙන පෙම් සුව විඳි යොහොඹු කුසුම් යහන අද පාළුය. එහි සිටිනුයේ රාධා පමණි. පෙම් සැඩ සුළඟේ විසුළ අසෝක මල් පෙති ඇයට ඔච්චම් කරයි. අතීත මතකාවර්ජනයෙන් ඔද්දල් වී ඇය සිතින් වැලපෙන්නීය. එහෙත් ඇගේ සිත පෙර සැමරුම් පටුවත දිගේ ගමන් කරයි.
නළලත බබළන සඳන තලාවයි
සිරුරත ගන නිල් මේඝ වලාවයි
මානස විල මැද රණ තිසරානෙණි
වෘන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
කාලවර්ණ දේහයකට හිමිකම් කීව ද ක්‍රිෂ්ණා කඩවසම්ය. ඔහුගේ නළල අඩසඳ මෙන් බබළයි. එහෙත් මෙහිදී කවියා ඔහුගේ කළු පැහැති සිරුර ගන නිල් මේඝ වලාවකට සම කරයි. සාහිත්‍යයේදී කළු පාට වරණවත් කිරීමට විවිධ වර්ණ යොදයි. සාහිත්‍යකරුවෝ ඊට කාලවර්ණ, නීලවර්ණ ආදී නම් දෙති. විභීෂණ දෙවියන්, නීල මහ යෝධයා වැනි ප්‍රකට චරිත ද කළු පැහැතිය. මෙහිදී මහැදුරු සුනිල් ආරියරත්නයන් ක්‍රිෂ්ණාගේ සිරුර ගන නිල් මේඝ වලාවකට සම කරන්නේ ඒ අරුතිනි.
මානස විල මැද රණ තිසරානෙණි
වෘන්දා වනයේ වසන්තයයි
මානස විල යනු හිමලයේ ඇතැයි කියන ප්‍රසිද්ධ විලකි. ඇතමෙක් එය මනඃකල්පිත විලක් යැයි ද කියති. ප්‍රේමසිරි කේමදාස ගාන්ධර්වයෝ මානස විල නමින් සංගීත ඔපෙරාවක් ද කළහ. සාහිත්‍යකරුවෝ ද මානස විල, වෘන්දා වනය, ගැන නිතර ඔජ වඩති. ඒවා ඉන්දියාව තරම්ම ජනප්‍රියය. රාධාට අනුව මේ මානස විල මැද සිටිනුයේ රන් පැහැති හංසයෙකි. ඒ හංසයා අන් කවුරුවත් නොව ක්‍රිෂ්ණාය. වෘන්දා වනය යනු හිමාලයයි. රාධාට අනුව හිමාලයට වසන්තය උදව් ඇත. ගහකොළ මලින් බරවී ඇළදොළ වැව් ගංගා පිරී ඉතිරී යන වසන්ත සමයට වඩා සුදුසු කාලයක් කාමසම්භෝගයට තිබේ දැයි රාධා අසන්නීය.
මලයගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොනරානෙණි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
මලයගිර යනු හිමාල කන්දයි. ඈත පිළිරැව් දෙන්නෙ ක්‍රිෂ්ණාගේ මධුර මනෝහර වස්දඬු රාවයයි. එපමණක් නොව එහි විවිධ අලංකාර කනට මීබිඳු වෑහෙන ගීත පවා ඇසෙයි. තුන් ලෝකයේම දෙවියන් විවේක සුවයෙන් ආරක්ෂා කරන මෙබඳු හෝරාවක් වටිනුයේ සොඳුරු සුයාමයකට විනා අන් කවරකට දැයි රාධා අසන්නීය. රාධා ජීවත් වනුයේ හිමාල අඩවියේ වනලැහැබකය. මේ වනාන්තරය වෙන්වන රේඛාවේ ඉන්නෙ කවුරුන්ද? ඒ වෙන කවුරුවත් නොව කෘෂ්ණ නම් රණ මොනරාය. ඇය එහිදී ක්‍රිෂ්ණා රන් පැහැති මොනරකුට සම කරන්නීය. තරු එළියකුදු නොමැති මේ රාත්‍රිය කාමසම්භෝගයට සුදුසු නොවේ දැයි රාධා පුන පුනා අසන්නීය. මේ වූකලි සිංහල ගීත වංශය බබළවන තවත් මහඟු ගී මිණක් නොවේද?