Pages

Friday, May 20, 2016

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ

ආදරය බොළඳ ය. එය පාණ්ඩිත්‍යයෙන් වෙළා දමන්නට හදන හැම විට ම එහි ඇති සෞන්දර්ය ගිලිහී යයි. ආදරය යන මනෝභාවය භද්‍ර යෞවනය තුළ හටගත්ත ද මේ බොළඳ බව නොනැසී පවතී. ඒ නිසා ආදරයට වයස් බේදයක් නොමැත්තා සේම මේ බොළඳ බවට ද වයස් බේදයක් නොමැත.

මට මේ මොහොතේ සිහි වන්නේ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාවේ එක් අවස්ථාවකි. නොරිකෝ අමතක කර කියොතෝවට පැමිණි දෙවෙන්දොරා සංට නොරිකෝ වෙනත් තරුණයකුට පේ‍්‍රම කරන බව ආරංචි වෙයි. දෙවෙන්දොරා සං මැදිවියේ පුද්ගලයකු වුවද මෙහිදී ඔහු හැසිරෙන්නේ කුඩා දරුවකු ලෙසිනි.

“නොරිකෝ එවු සෑම ලිපියක් ම මම පුලුස්සා දැමුවෙමි. රෝම අකුරින් ඈ මට ලියා දුන් ජපන් සින්දු ද මම ඒ ගිනිගොඩට හෙළුයෙමි.”

(මළගිය ඇත්තෝ 83 පිටුව)

ඔබෙන් තොර ලෝකයක්
කොයින්දෝ
ඔබෙන් තොර ගීතයක්
ඔබෙන් තොර හීනයක්
ඔබෙන් තොර මාවතක්
කොයින් දෝ

දකින හැම රූපය ම
ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීතයක ම
ඔබේ කටහඬ ඇසේ

පියවරෙන් පියවරට
ඔබයි සැරි සරන්නේ
ඇසිපියෙන් ඇසිපියට
ඔබ පමණි සිටින්නේ

ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - වික්ටර් රත්නායක
ගායනය - අබේවර්ධන බාලසූරිය 

නොරිකෝ කෙරෙහි පැවති ළෙන්ගතුකම යළිදු මෝරා වැඩීම හේතුවෙන් දෙවෙන්දොරා සං නැවතත් ඇගේ ඇසුර පැතීමට තීන්දු කරයි. තමා නැවත තෝකියෝවට එන බව දන්වා නොරිකෝට යවන ලිපියේ මේ මැදිවියේ මිනිසා මෙසේ ලියා යවයි.

“ඔබෙන් තොර වූ තෝකියෝ නගරයක් ගැන මම දන්නේ නෑ. තෝකියෝවේ විදී මා ඔබ සමඟ ගිය වීදියි. තෝකියෝවේ කෝපි ශාලා... මා ඔබ සමඟ පැය ගණන් ගත කළ කෝපි ශාලායි... ඔබෙන් තොරවූ තෝකියෝ නගරයක්වත් ජපානයක්වත් මා දන්නේ නෑ...”

(මළගිය ඇත්තෝ 85 පිටුව)

මේ ගීතයෙහි රචකයා ද පාදක කරගන්නේ මේ මනෝභාවය නොවේ ද?

ඔබෙන් තොර ලෝකයක්
කොයින්දෝ...
ඔබෙන් තොර ගීතයක්
ඔබෙන් තොර හීනයක්
කොයින්දෝ

ආලය අන්ධ යැයි ජනපි‍්‍රය ප්‍රකාශයක් පවතී. එහි අරුත වන්නේ පේ‍්‍රම කරන්නට පටන් ගත් විට ලොවේ අන් සියල්ල දෑස් ඉදිරියේ බොඳ වී ගොස් තමා ආලය කරන තැනැත්තා හෝ තැනැත්තියගේ ඡායාව පමණක් දෑස් අග ඉතිරි වන බවයි. එතැන් පටන් මුළු ලෝකය ම ඔහු හෝ ඇය බවට පත්වෙයි.

“දකින හැම රූපය ම
ඔබේ රුව සේ පෙනේ”

සෑම මානව රූපයක් ද සෑම ඡායාරූපයක් ද විටෙක ඇගේ රුව සේ පෙනී යාම පේ‍්‍රම උන්මාදයේ ස්වභාවයයි. ඇතැම් විට මඟ තොට දී වෙනෙකකුට රැවටෙන්නට තරම් මේ උන්මාදය බලවත් වෙයි. මිල්ටන් මල්ලවආරච්චිගේ ඉපැරැණි ගීයක් මට සිහි වෙයි.

“තරහා වනු එපා
ඔබ හා මා කළේ කතා
මාගේ යෙහෙළිය කැයි සිතා
ඔබ ඈ වාගෙයි
අයදි මි මා සමා”

පේ‍්‍රමයේ සුන්දරත්වය රැඳෙන්නේ මේ බොළඳ බව රඳා පවතින තෙක් පමණි. මක් නිසාද එය අතිශයින් සියුම් භාවමය සිතිවිල්ලක් බැවිනි.

මම නැවතත් මගේ ගැටවර වියට පිය නඟමි. මා එකල මරදාන පන්සල පාරේ නිවසක උඩු මහලේ නේවාසිකව සිටියෙමි. මා සමඟ සිටි මිතුරා පාසල් යුවතියක් කෙරෙහි ආකර්ෂණය වී සිටියේ ය. (ඒ යුවතිය ඒ ගැන දැන සිටියේ නැත) ගෝතමී බාලිකාවේ ඉගෙනුම ලැබු ඇය අප නේවාසිකාගාරය ඉදිරියේ ඇති පාරෙන් උදෑසන ගමන් කරන්නී ය. මේ යුවතිය දකින තුරු උඩු මහලේ ජනේලය අසලට වී බලා සිටීමට ඔහු මාව ද කැඳවා ගනී. දහසක් යුවතියන් පාරේ ගමන් කරද්දී ඔහු තම සිත බැඳි යුවතිය යැයි වෙනත් යුවතියකට රැවටෙන අවස්ථා අප්‍රමාණ ය. ඔහු පමණක් නොව ජීවිතයේ අවස්ථා කීපයක දීම මම ද මෙය විඳ ඇත්තෙමි.

“අසන හැම ගීයක ම
ඔබේ කට හඬ ඇසේ”

කවියක ගීතයක සැබෑ අරුත් වැටහෙන්නට පටන් ගන්නේ ආලය කරන්නට පටන්ගත් විට ය. ඇතැම් කව් ගී හි කවදාවත් නොදකින රසයක් එවිට දැනෙන්නට ඇසෙන්නට පටන් ගනී. එවිට තමාට ම ඇසෙන ගීතය පේ‍්‍රමවන්තයන් ගේ ආත්මය බවට පත්වෙයි. එවකට මිල්ටන් හා ජෝති ගී ගයන විට ඇතැම් යුවතියෝ ක්ලාන්ත ව ඇද වැටෙති. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ ජීවිතවල ගැඹුරු ම තැන් ස්පර්ශ කිරීමට, ඒ පදමාලා වලටත්, තනු නිර්මාණවලටත්, ගායකයන්ගේ හඬටත් හැකියාව පැවති බැවිනි.

පියවරෙන් පියවරට
ඔබයි සැරිසරන්නේ
ඇසිපියෙන් ඇසිපියට
ඔබ පමණි සිටින්නේ

රචකයා තම ප්‍රකාශය නැවත වරක් පුනරුක්තියෙන් යුතුව ඉදිරිපත් කරයි. තම නෙත් දෙකෙන් කුමන දෙයක් දුටුව ද පේ‍්‍රමවන්තයෝ, පේ‍්‍රමවන්තියෝ යටි මනසෙන් නිරන්තරයෙන් තමන්ට ළෙන්ගත වූවෝ ම දකිති. එය පේ‍්‍රමයේ ස්වභාවයයි.

ස්ත්‍රී පුරුෂ පේ‍්‍රමය වූ කලී යථාර්ථවාදී සිද්ධාන්තයක් නොව රොමෑන්ටික් සිද්ධාන්තයකි. යථාර්ථවාදයට ළං වෙද්දී එහි ඇති රමණීය බව විනාශ වෙයි. පේ‍්‍රමයේ පැවැත්මට සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික පසුබිම බලපාන බව සත්‍යයකි. එහෙත් පේ‍්‍රමය හට ගැනීමට මේ කිසිදු පසුබිමක් බල නොපායි. සාලිය අශෝකමාලාට පෙම් කළේත්, උද්දාල බ්‍රාහ්මණයා, ස්වර්ණතිලකාට පෙම් කළේත් ඒ සමාජ ආර්ථික දේශපාලන පසුබිම මත හිඳ නොවේ. කණවේර ජාතකයේ, සිටු මැති ඇමැතිවරුන්ගේ විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරන “සාමා” නමැති ගණිකාවගේ පේ‍්‍රමය දිනාගන්නේ සොර දෙටුවෙකි.

පේ‍්‍රමයේ සෞන්දර්යය බොහෝ විට විනාශ වන්නේ අති පණ්ඩිත සාහිත්‍යකරුවන්ගේ හා විචාරකයන් ගේ අධික මානාධික බව හේතුවෙනි. ඔවුහු අති පණ්ඩිත අරුත් පේ‍්‍රමයට ආරෝපණය කිරීමට තැත් කරති. තම වාග් කෝෂයේ ඇති හරබර යෙදුම් පේ‍්‍රමය අර්ථ දැක්වීමට යොදා ගනිති. එහෙත් ඔවුහු පේ‍්‍රම කරන විට කුඩා දරුවන් සේ පේ‍්‍රම කරති. පේ‍්‍රමය පාදක කොටගත් නිර්මාණ විචාරයට හසු කරද්දි නැවතත් පුහුමානයක් හිසට ආරූඪ කර ගනිති. ලංකාවේ සුන්දර පේ‍්‍රම ගීත බොහෝමයක් ම නිසි ඇගැයීමට ලක්වී නොමැත්තේ මේ බක පණ්ඩිතයන් නිසා ය. අවාසනාවට බොහෝ කලාකරුවෝ මොවුන්ට බිය වෙති.

“නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුවදෙනා”

ඒ සරච්චන්ද්‍රයන් පේ‍්‍රමය දුටු ආකාරයයි. විටෙක පේ‍්‍රමය රාගය සමඟ බැඳෙයි. විටෙක එය රාගයෙන් දුරස් වෙයි. අපි කිසිවෙක් රහත්භාවය ලැබුවෝ නොවෙති. එබැවින් අපි සදා පේ‍්‍රම කරන්නෙමු. එතෙක් දකින හැම රූපයම අසන හැම ගීයක ම පේ‍්‍රමය පවතිනු ඇත.

ධම්මික බණ්ඩාර