මරණය ස්ථිරය. එහෙත් අප සියල්ලෝම ජීවත් වන්නේ එය බොහෝ ඈතකය යන කල්පනාවෙනි. කිසිවෙක් සිය ජීවිතය කෙළවර වන දිනය දනී නම් ඔහු කුමක් කරනු ඇත්ද?
අප රැකියාවක් කරන්නේ, ගේ දොර ඉදිකරන්නේ, අනාගතය ගැන සැලසුම් හදන්නේ මියෙන දවස නොදන්නා නිසාය. අපගේ මුළුමහත් ක්‍රියාකාරීත්වයම තීරණයව ඇත්තේ ඒ නොදන්නාකම මතය. කිසිවෙක් තමන් මිය යන දවස නිශ්චිතවම දන්නේ නම් ඉන්පසු ඔහු අතින් කිසිවක් නොකෙරෙනු ඇත. කිසිවක් නොලියවෙනු ඇත. සමාජීය ක්‍රියාකාරීත්වය නවතිනු ඇත.
එහෙත් එසේ නොවූ මිනිසෙක් ගැන මම දැන සිටියෙමි. හේ උගතෙකි. මහර්ඝ බුද්ධිමතෙකි. ඥාන ගවේෂකයෙකි. සෑම සංවාදයකම කේන්ද්‍රයේ සිටි මතධාරියෙකි. ඥාන ගවේෂණයේ, අවශ්‍යතාව නිරන්තරයෙන් අවුළුවා තැබූ අපේ යුගයේ ජීවත් වූ බුද්ධිමතුන් අතලොස්සෙන් අයෙකි.
මේ වසර අවසන් වීමට ප්‍රථම තමන් කරා මරණය එන බව මහාචාර්ය තිස්ස කාරියවසම් දැන සිටියේය. සුවදුක් විමසූ විටෙක ඔහු ඒ බව අපට ද කීවේය. වකුගඩු බද්ධ කිරීමෙන් ජීවිතය තවදුරටත් දික් කර ගත හැකි නොවේදැයි ඇසූ විට ඊට එතුමන්ගේ පිළිතුර මෙබඳු විය. “තරුණ වකුගඩුවක් බද්ධ කළොත් තව වසරක් දෙකක් අල්ල ගෙන ඉන්න පුළුවන්. ඒත් එයින් පරිත්‍යාග කරන කෙනාට අවදානමක් ඇති වෙනවා. මගේ ජීවිතය දික් කරගන්න තව කෙනෙක්ගේ ජීවිතය අවදානමකට දාන්නේ ඇයි. මට දුක වකුගඩුවක් පරිත්‍යාග කරන්න ආපු තරුණයා දැකලා මට හිතුණා. ඒ නිසා මම මැරෙන්න තීරණය කළා.” ඔහු කිව්වේ උපහාස දනවන ආකාරයෙනි.
නිරන්තර ශාස්ත්‍ර ගවේෂණයක යෙදී සිටි මෙම කුශාග්‍ර බුද්ධිමතා ඒ වන විටත් නිම නොකළ වටිනා බුද්ධිමය කාර්ය කිහිපයක නිරතව සිටියේය. එය අවසන් කිරීමට හෝ ඔබතුමා ජීවත් විය යුතු නොවේදැයි අපි විමසා සිටි විට එයට එතුමාගේ පිළිතුර වූයේ “අපි ලියන දේවල් කියවන උනන්දු වෙන පිරිසක් ඉන්නවද “ යන්නයි.
පිළිසඳරේදී එසේ සැහැල්ලුවෙන් පැවසුවත් එතුමා දිගින් දිගටම අධ්‍යයන කාර්යයේ යේදී සිටින බව ඔහුගේ කන්තෝරු මේසය පෙන්වා දුන්නේය.
මහාවංශය නිදහසින් පසු පරිච්ඡේදය රචනා කිරීම, නූර්තී, නාට්‍ය හා නර්තන ඉතිහාස ලිවීම රෝගීව සිටිමින් ඔහු අතින් ඉටුවු කාර්යය සමහරකි. මෙම ශාස්ත්‍ර ගවේෂණයේ එක් කඩඉමක් ලෙස නොබෝදා එළිදුටු “එල්ෆින්ස්ටන් යුගයේ සිට නෙළුම් පොකුණ දක්වා” රංගශාලා ඉතිහාස සංග්‍රහ කිරීම දැක්විය හැකිය.
දේශනය අවසන් කර මානව මානවිකාවියන් පිරිවරාගෙන එතුමන් සුමංගල ශාලාවෙන් පිටතට පිවිසෙන දසුන නෙතට රසදුනකි. එහි සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට ඇත්තේ පියවර 30 – 40ක් දුරකි. මේ දුර යාමට මහාචාර්යවරයාට පැය භාගයක් වත් ගතවේ. එයට හේතුව සිසුන් මතු කරන ප්‍රශ්නවලට පිළිතුර නොදී මඟ හැරයාම ඔහුගේ ක්‍රමය නොවීමය.
මහාචාර්ය තිස්ස කාරියවසම් ගතානුගතික බුද්ධිමතෙක් නොවීය. එසේම ඔහු මුල් සිඳගත් ප්‍රාඥයෙක්ද නොවීය. ඔහුට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පිළිබඳව මෙන්ම නූතන අපරදිග සාහිත්‍ය පිළිබඳ විචාරාත්මක දැනුමක් තිබුණේය. ප්‍රාකෘත භාෂාවන් ඇතුළුව භාෂා කිහිපයක් මැනවින් දැන සිටියේය. නව දැනුම සොයා යාමේ හා පර්යේෂණයේ අවශ්‍යතාව ඔහු තරම් දැඩිව අවධාරණය කළ වෙනත් උගතෙක් ගැන මම දැන නොසිටියෙමි.
බොහෝ උගතුන්ගේ දැනුම ශාස්ත්‍රීය ඥානයට පමණක් සීමා වූ වපසරියක් තුළ මහාචාර්ය කාරියවසම් ගේ සේවාව වැදගත් වන්නේ ඔහු බැවහර ඥානය යොදාගන්නා ආකාරය කදිමට දැන සිටීමය. බුද්ධිමය කාර්යයේදී ඔහු දැඩි ශික්ෂණයකින් යුත් පුද්ගලයෙකි. කැපවීමෙන් සේවය කරන්නෙකි. තමන් විශ්වාස කරන මතය වෙනුවෙන් තිර ලෙස පෙනී සිටින්නෙකි. එම සිරුර තුළ මහාචාර්ය තිස්ස කාරියවසම් නම් බුද්ධිමතාට අමතරව ශුර පරිපාලකයෙක්ටද ජීවත් විය හැකි වූයේ එම දක්ෂතා නිසාය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය, සිංහල අංශයේ අංශාධිපති හා පීඨාධිපතිධුරය ඔහු හෙබවූ තනතුරු කිහිපයකි. ඊට අමතරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා පුස්තකාල සේවා මණ්ඩලය ඔහු සභාපති තනතුර දැරූ ආයතන දෙකකි. මෙයට අමතරව වර්තමානයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන එවකට සෞන්දර්ය කලා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ධුරයද එතුමන් හොබවනු ලැබීය. මෙය ආයතනය ස්ථාපිත කිරීමේදී එතුමන්ගෙන් පුරෝගාමි කාර්යයක් ඉටුවිය.
“ජීවිතය කියන්නේ එකිනෙකා කපාගෙන ඉදිරියට යන පංච ක්‍රීඩාවක් නෙවෙයි. බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ අනෙකා යටපත් කරගෙන මතු වෙන්නයි. නමුත් මම උත්සාහ කළේ පාරවල් කිහිපයක් සොයාගෙන යන්නයි. මේ මඟ දුෂ්කරයි. ඒත් අනර්ඝයි.” පැමිණි මාවත එතුමන් වරෙක ආවර්ජනය කළේ එසේය.
සාහිත්‍ය, සන්නිවේදනය, ජනශ්‍රැතිය, ලලිත කලාව, ඉතිහාසය ආදී ක්ෂේත්‍ර රැසක පැතුරුනු දැනුමක් එතුමාට තිබුණි. මේ ක්ෂේත්‍රයට ඔහු දායක කළ දැනුම ඉතා පෘථුලය. එය වළකන්නට රෝ සතුරාට නොහැකි විය. ප්‍රතිකාර ගන්නා අතරතුර පවා නිරන්තරයෙන් කෞතුකාගාරය වෙත යමින් හේ එහි පුස්තකාලය පරිශීලනය කළේය. පර්යේෂණ කටයුතු තවදුරටත් කරගෙන ගියේය. අවසානයේ එයට තිත තැබිය යුතු දවසක් එළඹිණි.
දිනයක් හැර දිනයක් රෝහල වෙත පියමං කළ යුතු දවසක් උදාවිය. එවිට ද ලැබෙන සුළු මොහොත හේ ශාස්ත්‍රීය කටයුතු සඳහා යෙදවූයේය. ග්‍රන්ථ පරිවර්තනය කළේය. ලිපි සම්පාදනය කළේය. දේශන පැවැත්විය. කෙටියෙන් කිවහොත් බුද්ධිමතෙක් නිරතවිය යුතු කාර්යයෙහි අවසන් මොහොත දක්වාම යෙදුණේය.
මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ බුද්ධිමය ව්‍යායාමයේ ප්‍රමුඛ කාර්යය වූයේ පර්යේෂණයන්හි යෙදීමය. ඔහු පර්යේෂණ සහායකයෙක් ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවරට දායක විය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ඔහු වැනි සහායකයෙක් නොලැබුණේ නම් කිසි විටෙකත් එතුමන් අතින් “සිංහල ගැමි නාටකය” වැනි නිබන්ධනයක් නොලියවෙනු ඇත. යක්දෙස්සන් විසින් පටලවා ගායනා කළ කවි නිවැරදිව සටහන් කළ හැකි වූයේ කාරියවසම් විද්‍යාර්ථියාට ඒවා ලඝු ලේඛන ලෙස සටහන් කරගත හැකි වූ නිසාය. මහාචාර්ය කාරිවසම් නොගිය කෝලම් මඩුවක්, නාඩගම් පොලක් නැති තරම් ය. උඩ, පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ට අයත් ප්‍රමුඛ රංගධරයන් හේ පුද්ගලිකව දැන සිටියේය. මේ දැනුම කැටිකර ඔහු ග්‍රන්ථ රැසක් රචනා කළේය.
යටත් විජිත යුගයෙන් මෙපිට දේශපාලන, සමාජීය හා සාමයික ඉතිහාසය පිළිබඳව ඔහුගේ දැනීම විශ්මය දනවන සුළුය. සියම්, අමරපුර හා රාමඤ්ඤ නිකායන් බිහිවීමට බලපෑ හේතූන්, ඒ එක් එක් නිකායන්ගේ විශේෂතා, ශාන්තිකර්ම බලි යාග පිළිවෙත් ගැන, සන්නිවේදන ප්‍රවණතා ගැන, නූතන විචාර වාද පිළිබඳව මහාචාර්ය කාරියවසම් තරම් පර්යේෂණ කළ වෙනත් විද්වතෙක් තවත් නැත. මේ ඕනෑම කරුණක් ගැන පරිපූර්ණ විස්තරයක් කිසිදු ලේඛනයක් නොලබා නිරවද්‍ය ලෙස පැවසීමට එතුමා දැන සිටියේය.
ඉහත දැක්වූ කරුණු සියල්ල අදාළ වන්නේ එතුමාගේ බුද්ධිමය සේවාවටය. ඉන් බැහැරව විශ්වවිද්‍යාල පද්ධතියට අයත් මෙන්ම ඉන් පිටස්තර, සිංහල හෝ දමිළ යනාදී කිසිදු ආකාරයක වර්ගීකරණයකට ලක් නොකොට උපකාරය අවශ්‍ය පුද්ගලයාට උපකාර කිරීමේ පුරුද්දක් එතුමන්ට තිබුණි. මේ සේවාවන් එතුමන් අතින් ඉටුවූයේ නිශ්ශරණාධ්‍යාශයෙනි. අප මහාචාර්යවරයාණෝ ඒ සඳහා ප්‍රචාරයන් බලාපොරොත්තු වූයේ නැත.
“බුද්ධිමතා, භූමියේ සීමාවන් හා කාලයේ සීමාවන් ඉක්මවා යමින් සෑම කල්හීම, සෑම දෙනාගේම ගෞරවයට පත්වන්නේය” යන පැරණි කියමන සැබෑ කරමින් එතුමන්ගේ නාමය සදාකල් පවතිනු ඇත. එහෙත් ඔහු අතින් ඉටුවූ සේවය ඉටුකිරීමට අනුප්‍රාප්තිකයෙක් බිහිවේද යන්න නම් සැක සහිතය.
චන්දන ජයවීර - Dinamina