ලැබෙන නොලැබෙන පතන නොපතන සෑම දෙයක් තුළම මා නුඹේ සිනහව අත්දැක්කා. නුඹ නොදන්නවා නෙවෙයි. දන්නවා. නුඹේ සිනහවට මා පෙම් බැන්ද තරම්... ලෝකයා කීවා පුංචි සමනලයා කුරිරු නෑ කියා. මාත් ඒ දේ විශ්වාස කළා. මොකද, කවදාකවත් මා නුඹෙන් අඩුවක් නොදැක්ක නිසා. නුඹේ හීනවලට පාට උවමනා වෙද්දී නුඹ මා අසලට පැමිණියා. නුඹේ හදවතට ළෙන්ගතු ආදරය අඩුවෙද්දී, ඒ සෙනෙහස නුඹට උවමනා වෙද්දී, නුඹ මාගේ ළෙන්ගතු ස්නේහය තුළට පියමැන්නා. නමුත් නුඹ දැන සිටියේ නෑ මා හඬනා තරම්...
සිහින් වැහි බිංදු, ඉඩෝරයට වැටෙන වැහි බිංදු තරම් වේදනාවක් ගෙන දෙද්දිත් නුඹ නිසා මං පාට සොයාගත්තා. ආදරණීය මගේ සමනල පැටියෝ, මං අද අඬනවා. කාලයක් තිස්සේ මට පෙම් බැඳ මා හැර ගිය, මා දමා දුර ඇතක පිය මැනූ නුඹ නිසා මං අද හඬා වැටෙනවා. ආගන්තුකයන් සක්මන් කරනා මේ ගිමන් හලේ ලාබැඳි සෙනෙහසකින් හමුවූ නුඹ... මටත් නොකියා පියමනිද්දී මේ දිවි කතරට දැනෙනා දුක පාළුව හරිම කුරිරුයි. මහා ලෝකයටම පෙනෙන්නට මම පෑයුවට මටත් හීන තියෙනවා කියලා කවුරුත් දැනගෙන උන්නේ නෑ. කාලයක් තිස්සේ මට ආදරය කළ නුඹවත් ඒ බව දැනගෙන සිටියේ නෑ.
මං නුඹට ආදරෙයි. හැමදාමත් සීමා රාමුවක කොටුවී මම සිටියත්, ලෝකයට පායන හැම නිමේෂයකම මම නුඹව සෙව්වා. නුඹ ආදරයෙන් මා දෙසට පියමැන්නා...
පුංචි පුංචි මොහොතවල්වල මට ලබාදුන් ඒ සතුටට, ආදරයට ඔබට ස්තූතියි සමනලයෝ. අවසානයටත් දෙයක් කියන්නද මම....?