Pages

Tuesday, November 13, 2012

දරුවාගේ මොළෙන් අම්මාගේ ආදරය පෙනේ

අට හෝරාවකටත් වඩා වැඩියෙන් වැඩ කළ අම්මාට දවස අවසන් කරන්නට තවත් වැඩ රාජකාරී අපමණ ප්‍රමාණයක් ඇත. ඒවා ගැන හිතන විට මඟ තොට හමුවන කා සමඟ වූවත් හිනාවෙනු බැරි තරමට බරක් දැනේ. හිරට පියවුණු දෙතොල් මැද්දෙන් ගිලිහෙන පුංචි පහේ විරිත්තීමකින් කාට වුණත් අම්මා සංග්‍රහ කළේ යුතුකමට මිස හදවතින් නොවේ. එහෙම එන අම්මා කඩුල්ල අරින්නේ කුමක් හෝ උයා පිහා දී පුංචි පැටවුන්ගේ බඩගිනි නිවන්නට බලාගෙනය. අත්තම්මාගේ බහට රැවටී දවස පුරාම අම්මා ඒ දැයි කියා බලාගෙන සිටි දෙහැවිරිදි පුංචි පුතා අම්මාගේ ඇඟේ එල්ලෙන්නේ දෙවරක් නොසිතාය. ගෙට ගොඩවන්නට පෙරම අනෙක් දරුවොත් පැමිණ අම්මා වටකරගනිති. 

මෙතෙක් අම්මාගේ දෙතොලින් නොපැන්න සුන්දරම සිනහව මතුවන්නේ එවිටයි. දරු කැළ වටකරගත් ඈ දවසේ ඉතිරිය ගෙවා දමන්නේ දරුවන්ගේ අතොරක් නැති සිනහා, කතා, ඇඬිලි, දෙඩිලි මැදය. එතරම් සතුටක් ගෙවීගිය දවසේ එකදු එක නිමේශයකදීවත් අම්මා නොලැබුවාය. දරුවන් වෙනුවෙන් උපන් ආදරය අම්මලාගේ හිත් තුළ දෙගොඩ තලා යන්නේ ඒ විදියටය. ඒත් ලෝකයේ බොහෝ මවුවරුන්ට මාතෘ භූමිකාව හොඳටම අමතක වී ගොස් තිබේ. මිහි මත මැවුණු ආශ්චර්ය එසේ වියැකෙන්නේ මිනිස් සංහතිය කම්පා වී දෙස්දෙද්දීය. 

අම්මලාගේ සැබෑ මාතෘ ප්‍රේමය ලියැවී තිබෙන්නේ දරුවන්ව නහවා, කවා, පොවා, නළවා තැබීම තුළ පමණක් නොවේ. දරුවාගේ අනෙකුත් මානසික අවශ්‍යතාත් මවගේ ආදරයෙන් සන්තර්පණය විය යුතුය. එසේ නැති වුවහොත් එතැන ලොකු අඩුවක් ඇති වේ. ඒ අඩුව එළි බහින්නේ දරුවාගේ මොළයෙනි. අම්මලාගේ ආදරය හොඳින්ම ලියවෙන්නේ දරුවන්ගේ මොළය තුළයි. අම්මලාගේ ආදරයේ තරම දරුවන්ගේ මොළය ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමෙන් සොයාගත හැකිය. 

මේ සම්බන්ධයෙන් අමෙරිකා විද්‍යාඥයෝ පිරිසක් පර්යේෂණයක නියැළුණහ. පර්යේෂණයට යොදා ගත්තේ වයස අවුරුදු තුන වයස් කාණ්ඩයේ පසුවන දරුවන් සමූහයකි. ඔවුන්ගේ මොළයේ තොරතුරු ස්කෑන් කිරීමෙන් විවරණය කරගනු ලැබිණි. ඇතැම් දරුවන්ගේ මොළයේ වම්පස විශාල බවත්, එහි කළු පැහැ ලප අඩු ප්‍රමාණයක් තිබෙන බවත් වෛද්‍යවරුන්ට පෙනී ගියේය. තවත් සමහර දරුවන්ගේ මොළයේ වම් පස කුඩාය. එහි තිබුණු අඳුරු පැහැ ලප ප්‍රමාණයද සාපේක්ෂව වැඩිය. 

මේ තත්ත්වය පැහැදිලි කරන්නට වෛද්‍ය විශේෂඥයෝ වෙහෙස වූහ. ඔවුන්ගේ නිගමනය වූයේ අම්මලා දරුවන්ට සලකන ආදරණීය බව මත මොළයේ වම් පැත්ත ගොඩනැගෙන බවත් කළු පැහැ ලප ආදරයේ තරම නිරූපණය කරන බවත්ය. හොඳින් වැඩුණු විශාල මොළයකට හිමිකම් කියා තිබුණේ මවු සෙනෙහස නොකඩවාම ලැබූ දරුවන්ය. ඔවුන්ගේ මොළයේ වම්පස විශාලය. අඩංගු කළු පැහැ ලප ප්‍රමාණයත් අඩුය. එවැනි දරුවන් ඉතා බුද්ධිමත් බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුහු ඉගෙනුමෙහි සමත්කම් ඇත්තෝය. හොඳ මතක ශක්තියක් ඇත. මානසික ආතතීන් පීඩාවන් වැනි තත්ත්ව ඇතිවුණු විට ඒවා හොඳින් කළමනාකරණය කරගැනීමට ඔවුන්ට පුළුවන. මනා පෞරුෂයකින් යුතුය. ඔවුහු සමාජ සම්බන්ධතා ඇති කරගැනීමටත් ඒවා පවත්වාගෙන යෑමටත් හැකි අයයි. අනෙක් අය ගැන උණුවන සිත් ඇත්තේය. 

පර්යේෂණයෙන් හෙළිවුණු දත්ත අනුව කුඩා ප්‍රමාණයේ මොළයක් සහිත දරුවන්ට තිබුණේ වෙනස්ම ගති ලක්‍ෂණය. මේ අයගේ මොළය හොඳින් වැඩී නැති නිසා මොළයේ වම්පස ද කුඩාය. සමහරුන්ගේ මොළය හැකිලී ගිය ස්වභාවයකින් යුක්ත විය. එවැනි තත්ත්වයන් ඇති වන්නේ දරුවන් නොසලකා හැරීම්වලට ලක්වූ විටදීය. නැත්නම් නොයෙක් ආකාරයේ ශාරීරික හා මානසික හිරිහැරවලට ලක්වූ විටයි. මේ දරුවන් නුදුරු අනාගතයේදීම මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන්නට පුළුවනි. එසේත් නැත්නම් සිරුරට නුවමනා දේ ඇතුළු කරගන්නා අය වන්නටත් ඉඩ තිබේ. ඔවුන් නොයෙකුත් අපරාධවල යෙදෙමින් විරැකියාවෙන් කල් ගෙවන්නටත් අනෙක් අය මත යැපෙමින් කරදරකාරී ජීවිතයක් ගත කරන්නටත් හොඳටම ඉඩ ඇති බව විශේෂඥයන්ගේ මතයයි. එපමණක් නොව ඔවුහු අවදානම් සහිත ශාරීරික හා මානසික රෝගවලින් පෙළෙන්නෝය. 

මහාචාර්ය ඇලන් ස්කෝරේ පර්යේෂණයට සහභාගි වුණු විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු කියන විදියට දරුවන්ට අම්මලාගේ ආදරය වැඩිපුරම වුවමනා වන්නේ දරුවාගේ උපතින් පසු පළමු අවුරුදු දෙක ඇතුළතදීය. එයින් අදහස් වන්නේ ඉන් පසුව මවු සෙනෙහස අනවශ්‍ය බව නම් නොවේ. දරුවකුගේ ජීවිතය සරුසාර වන්නේ මවු සෙනෙහස නිසයි. ඒ නිසා එය දරුවකුට දිගින් දිගටම ලැබිය යුත්තකි. 

දරුවන් නොසලකා හැරීම්වලට ලක්වන ක්‍රියාවලිය වක්‍රාකාර ලෙස සිදුවන්නක් බවද විද්‍යාඥයෝ අනාවරණය කර ගෙන සිටිති. මවුපියන් නොයෙකුත් නොසලකා හැරීම්වලට තාඩන පීඩනවලට මැදිව තම ළමා විය ගෙවා දැමුවේ නම් ඔවුන් තම දරුවන්ට සලකන්නේත් එපරිද්දෙන්මය. ඔවුන්ට තම දරුවන් ආදරයෙන් රැකබලා ගන්නට තේරුමක් බේරුමක් නැත. ඒ නිසා ඔවුන් අතින් සිදු වන්නේ ඔවුන් ලද අත්දැකීම්ය. මෙහි ප්‍රතිඵල භයානක බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එය පෞද්ගලිකව දරුවාට හානියකි. අවසානයේදී සමාජයට අන්තරාකාරී ප්‍රතිඵල ගෙන දෙන්නක්ද වේ. චක්‍රාකාර ලෙස සිදුවන මේ විපත්තිය අනිවාර්යයෙන්ම බිඳ දැමිය යුතු බව විද්වතුන්ගේ මතයයි. 

මිනිස් මොළයේ ඇතැම් වර්ධනයන් ජාන සමග බද්ධවන බව සැබවි. එසේ වුවත් දරුවකුගේ පෞරුෂය හොඳින් හැඩගස්වාගන්නටත් දරුවා යහපත් පුරවැසියකු කරන්නටත් අවශ්‍ය ඥානය පාදා දියයුතුය. ජාන මගින් ඇතිවුණු වර්ධනය මුවහත් කර ගත යුතු වන්නේ එබැවිනි. ඊට අම්මාගේ ආදරය, රැකවරණය, දයාව, කරුණාව අවශ්‍යමය. පර්යේෂණ සිදු කළ අමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥයන් දිගින් දිගටම අවධාරණය කරන්නේ දරුවන්ගේ මොළයේ වර්ධනය කුමන සාධක මත තීරණය වී තිබුණත් එහි තීරණාත්මකම සාධකය වන්නේ අම්මලා බවය. 

හැන්දෑවට වැඩ ඇරී ගෙදරට එන අම්මලාගේ අතේ එල්ලෙන්ට බලාගෙන සිටින පුංචි දූ පුතුන් ඉතින් තවත් ඈත් කර තැබිය යුතු නැහැනේද. අම්මලා ළඟට වී සිටින පුංචි දරුවන්ගේ හිත තුළ ලොකු සතුටක් ඇතිවී ඔවුන් වැඩදායි මිනිසුන් ලෙස හෙට සමාජයට පිවිසෙනු ඇත. යහපත් මිනිසුන් පිරුණු ලෝකයක් හදන්නට උරදුන්නා යැයි කියන සතුටින් ඇහැ පියාගන්න එවිට අම්මලාට හැකිවනු නියතය. 

Mail Online ඇසුරිනි 

මංජුලා විජයරත්න - SAMAKAYA