දිනක් බස්නැවතුමක බස්රියක් එනතුරු මම බොහෝ වේලාවක් සිටියෙමි. ඒ බස්නැවතුම අසල පොල් අතු සෙවිලි කළ පුංචි කූඩාරමක් විය. එය තාවකාලික පදික නිවාසයකි. ඒ තුළින් මට ඇසුණේ අඬන බිලිඳකුගේ හඬකි. ඒ දරුවාගේ මව දරුවා නළවා ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටියා ය. ඇය දරුවාට කිරි දෙන්නට වෑයම් කරනු මම දුටුවෙමි. එහෙත් දරුවාගේ ඇඩීම නැවතුණේ නැත. මට දයාසේන ගුණසිංහයන් ගේ කවි පදයක් සිහිවිය.
”වියළී ගිය දෙතනේ නැත
කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුළේ නැත
සුව යහනක් සැදුණේ”
(එතෙර ගිය පොඩි දුවට)
ඒ මොහොතේම බස් නැවතුම මා පසුකර ගියේ සුවිසල් මොටෝරියකි. එහි පිටිපස අසුනේ ජනේලය ළඟ මහත් උද්දාමයෙන් පිටත බලා සිටින දැවැන්ත සුනඛයකු මම දුටුවෙමි. මට ඒ සුනඛයාගේ ස්වාමියා ගැන වෛරයක් හෝ, සුනඛයා ගැන ඊර්ෂ්‍යාවක් හෝ ඇතිවුණු බවක් මතක නැත. එහෙත් අර බිලිඳු දරුවා හා දරුවා නළවන්නට තැත් කළ මව පිළිබඳ ව අනුකම්පාවක් ඇතිවිය. බස් රථය පැමිණි නිසා ඒ මවු පුතුන් ගැන මිට වඩා දෙයක් කීමට නොදනිමි. ඒත් දිළිඳුකම නිසාම පීඩාවට පත්වෙන මෙබඳු අම්මාවරුන් සහ දරුවන් අපරිමිතව මේ සමාජයේ සිටින බව නම් මම දනිමි. මේ ගීතය ඒ අම්මාවරුන්ගේ දෑසෙහි කඳුළින් උපන් ගීයක් නොවේ ද?
” රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිළේ
අද නුඹෙ සිරි යහනේ
මේ කියන දරුවා රජ මැදුරක උපන්නා නම් ඔහු රත්තරන් හැන්දෙන් රන්කිරි කට ගානු ඇත. පිය රජුගේ ඔටුන්න පලඳිනු ඇත. එහෙත් දරුවා උපදින්නේ හිසට නිසි වහළක් නැති දිළිඳු පැලක ය. පුංචි සුළං රොදකට වහළේ පොල් අතු ඉහළ යන අතු පැලකය. ඇතැම් විට දරුවාගේ සිරියහන ගෝනි පඩංගුවක් විය හැකිය. මේ කිසිවක් නොදන්නා දරුවා හීනෙන් හිනාවෙයි. ඒ හිනාව දකින අම්මාගේ සිතේ ඇතිවන්නේ කම්පාවකි. මක්නිසාද හිනාවන්නට තරම් සතුටක් ඔවුන් අතර ඉතිරි වී නොමැති බැවිනි.
”හීනෙන් හිනා නොවී
දිළිඳුකම නිසාම කුඩා දරුවාගේ සුන්දර ළමා ලෝකය ඔහුට අහිමි වී තිබේ. අනෙක් දරුවන් කනබොන දෑ ඔහුට අහිමි ය. විසිතුරු සෙල්ලම් බඩු ඔහුට අහිමි ය. දැන් තමාට අහිමි දේ පිළිබඳව දරුවා ඉවකින් මෙන් වටහාගෙන හිඳී. සල්පිල් මැදින් ගමන් කරද්දී ඔහු නිහඬව බිම බලාගන්නේ එබැවිනි. ඒ නිසාම මවගේ හෘද කම්පනය දැඩි වේ.
”පුංචි පැටික්කන් මඟ දිග හඬවන
සිල්ලර රස කැවිලී
දිවයන ඉගිළෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලාගනෙ මඟ දිග යන විට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා
හඬවාපන් මේ රෑ යාමේ-
දැන් මේ දරුවා අකුරු කරන වයසට පැමිණ තිබේ. අකුරු ඉගෙනීමේ වටිනාකම අම්මා මැනවින් දනී. ඒත් අනික් දරුවන්ට මෙන් කුස පිරෙන අහරක් දරුවාට දීමට ඇයට නොහැකි ය. ළිප මෙළවෙන්නේ ඉඳහිට ය. ඒත් අම්මා අතින් දෙන කැඳ උගුර දරුවාට දිව බොජුනකි. පටසළු කසීසළු දරුවාට නොමැත. එහෙත් ඔහු ඇල්මෙන් අකුරට දිවයයි.
”කල්ගිය රෙදි වැරළි ඇඳ දැළි
කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව්
ඉදිරි වැඩ තකා”
මේ ආප්තෝපදේශ දරුවා ඉවෙන් මෙන් තේරුම් ගත්තා සේ ය. ඒ නිසාම ඇයට වාවාගත නොහැකි වේදනාවක් දැනෙයි. මක්නිසාද ඇය වචනයේ පරිසමාප්තියෙන්ම අම්මා කෙනකු බැවිනි.
මට සේකරගේ පද්‍ය ඛණ්ඩයක් සිහිවෙයි.
ගල්වා හිසෙහි තෙල් යහමින්
එල්ලා කරේ පංචා යුධය
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය
(‘ප්‍රබුද්ධ’ මහගමසේකර)
මේ ගීතයේ සිටින්නේ ද ඒ අම්මා ය. සමාජයේ බහුතරයක් සිටින්නේ ද එබඳු අම්මලා ය. යුගයෙන් යුගය අම්මලාගේ ආකල්ප ගති පැවතුම්, වෙනස් වුවද තම දරුවා රජෙකු කරවීම, අම්මාවරුන්ට පොදු සිහිනයයි. ඒ සිහිනය වීදි සරණ ගණිකාවක් වුවද දරුවකු නිසා හටගන්නා සිහිනයකි.
”මල් මල් සාරිය ඇඳලා
වීදි කොනේ රැක ඉඳලා
ඇස් ඉස් මස් ලේ දීලා
කිරි අරගෙන එයි අම්මා
(මක්නිසාද යත් – මහගමසේකර)
ගීතයේ සංගීතය පදමාලාව සමඟ මැනැවින් බද්ධ වේ. නැළවිලි ගී යනු ස්වර මාලාව සංගීතඥයා මනාව සංයෝජනය කර තිබේ. මාලනියගේ ගායනය ගැන විවාදයක් නොමැත.
නගරයේ පැල්පත්වල මෙන්ම ගම් දනව්වල පැල්පත්වලද කිරුළු අහිමි රජවරු නැළවෙති. ඒ දරුවන්ගේ අම්මලා සුසුම් හෙළති. සුවිසල් මොටෝරියක් මා පසුකොට යයි. එහි අසුනක බල්ලකු සිටීදැයි මම නිකමට මෙන් හිස ඔසවා බලමි.
ධම්මික බණ්ඩාර - Silumina