දිනක් බස්නැවතුමක බස්රියක් එනතුරු මම බොහෝ වේලාවක් සිටියෙමි. ඒ බස්නැවතුම අසල පොල් අතු සෙවිලි කළ පුංචි කූඩාරමක් විය. එය තාවකාලික පදික නිවාසයකි. ඒ තුළින් මට ඇසුණේ අඬන බිලිඳකුගේ හඬකි. ඒ දරුවාගේ මව දරුවා නළවා ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටියා ය. ඇය දරුවාට කිරි දෙන්නට වෑයම් කරනු මම දුටුවෙමි. එහෙත් දරුවාගේ ඇඩීම නැවතුණේ නැත. මට දයාසේන ගුණසිංහයන් ගේ කවි පදයක් සිහිවිය.
”වියළී ගිය දෙතනේ නැත
කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුළේ නැත
සුව යහනක් සැදුණේ”
(එතෙර ගිය පොඩි දුවට)
ඒ මොහොතේම බස් නැවතුම මා පසුකර ගියේ සුවිසල් මොටෝරියකි. එහි පිටිපස අසුනේ ජනේලය ළඟ මහත් උද්දාමයෙන් පිටත බලා සිටින දැවැන්ත සුනඛයකු මම දුටුවෙමි. මට ඒ සුනඛයාගේ ස්වාමියා ගැන වෛරයක් හෝ, සුනඛයා ගැන ඊර්ෂ්‍යාවක් හෝ ඇතිවුණු බවක් මතක නැත. එහෙත් අර බිලිඳු දරුවා හා දරුවා නළවන්නට තැත් කළ මව පිළිබඳ ව අනුකම්පාවක් ඇතිවිය. බස් රථය පැමිණි නිසා ඒ මවු පුතුන් ගැන මිට වඩා දෙයක් කීමට නොදනිමි. ඒත් දිළිඳුකම නිසාම පීඩාවට පත්වෙන මෙබඳු අම්මාවරුන් සහ දරුවන් අපරිමිතව මේ සමාජයේ සිටින බව නම් මම දනිමි. මේ ගීතය ඒ අම්මාවරුන්ගේ දෑසෙහි කඳුළින් උපන් ගීයක් නොවේ ද?
” රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිළේ
අද නුඹෙ සිරි යහනේ
මේ කියන දරුවා රජ මැදුරක උපන්නා නම් ඔහු රත්තරන් හැන්දෙන් රන්කිරි කට ගානු ඇත. පිය රජුගේ ඔටුන්න පලඳිනු ඇත. එහෙත් දරුවා උපදින්නේ හිසට නිසි වහළක් නැති දිළිඳු පැලක ය. පුංචි සුළං රොදකට වහළේ පොල් අතු ඉහළ යන අතු පැලකය. ඇතැම් විට දරුවාගේ සිරියහන ගෝනි පඩංගුවක් විය හැකිය. මේ කිසිවක් නොදන්නා දරුවා හීනෙන් හිනාවෙයි. ඒ හිනාව දකින අම්මාගේ සිතේ ඇතිවන්නේ කම්පාවකි. මක්නිසාද හිනාවන්නට තරම් සතුටක් ඔවුන් අතර ඉතිරි වී නොමැති බැවිනි.
”හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ”