ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස. වැඩියෙන් වැස්සොත් දෙගොඩ තලා යනවා. අඩුවෙන් වැස්සොත් මහ පොළව වේලෙනවා. සමබර ව වහින වැස්සක් මුණගැසෙන්නෙ කලාතුරකින්.
වැස්ස එක්තරා මානසික උත්තේජකයක්. විශේෂයෙන්ම ආදරයෙන් බැඳුණු අයගේ සිතේ වැස්ස නානාවිධ සිතුවිලි මවනවා. ඇතැම් පේ‍්‍රමවන්තයන්ට වැස්ස ආශිර්වාදයක්. ඒත් ඇතැම් පෙම්වතුන් වැස්සට කැමති නෑ. සුනිල් ආරියරත්නයන් අතින් මෙහෙම ලියවිලා තියෙනවා.
“හිත මිතුරු සුළඟ ළඟ එන
වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි
රැගෙන එන ලෙසින්
දිගු කලකින් ඈ මුණ ගැසේවි
හසඟනක් ලෙසින්
වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත
අඳුරු වෙයි සැණින්
ඇත්තටම කොළඹ වාගේ නගරයකට වැස්ස ඇද වැටුණොත් ඕනෑම සොඳුරු මොහොතක් අඳුරු වෙන්න පුළුවන්. ඒ නිසා එතුමන් ගේ සංකල්පනාවෙන් අපූර්වත්වයක් තියෙනවා. ඒ වගේම විප්‍රලම්භ ශෘංගාරය ජනිත කිරීමේ හැකියාවත් වැස්සට තියෙනවා. තමා සතු පේ‍්‍රමණීය අතීත සිහිවටන මෙනෙහි කරමින් වැස්ස ඉදිරියේ දුක් වෙන්නටත් කෙනෙකුට පුළුවන්. මේ තරුණ ගීත රචකයා මවා ඇත්තෙ ඒ වගේ සංකල්පනාවකි.
මන්දාරම් අඳුර මැදින්
සිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදින් යන්නට
ඔබ සිටියා නම්
මන්දාරම් අඳුර මැදින් සිරිපොද වැස්ස වැටෙද්දී තරුණයා තුළ හටගන්නේ පශ්චාත්තාපයකි. ඒ වැස්ස වැටෙන්නේ ඔහුට අවැසි මොහොතක නොවේ. මේ මොහොතේ ඔහුගේ ස්නේහවන්තිය ඔහු ළඟ නොමැත. ඇය ළඟ සිටියා නම් මේ මොහොත කෙතරම් සුන්දර වේ ද යන්න ඔහු මනසින් දකියි.
මේ පේ‍්‍රමවන්තයන් අතීතයේ මෙවන් අකල් වැසි යටින් ගමන් කර ඇත. එහි දී ඔවුන් ගත කළ සොඳුරු නිමේෂයන් තරුණයාගේ සිත තුළ මැවෙන්නට පටන් ගනී. ඇය නොමැති නිසා ඒ සොඳුරු නිමේෂයන් සියල්ල ඔහුට අහිමි වී යයි. ඔවුන් මෙවැනි සිරිපොද වැහි යටින් එක කුඩයක ගමන් කළ ආකාරය වැස්සෙන් බේරීමට ඒ කුඩය ප්‍රමාණවත් නොවුණත්, එයම සතුටක් වූ ආකාරය, පෙම්වතා මේ මොහොතේ ආස්වාදනීය ලෙස සිහිපත් කරයි. එහෙත් ඒ ආස්වාදයම මේ මොහොතේ ඔහු තුළ ජනිත කරන්නේ අපරිමිත වූ ශෝකයකි.
තනියමවත් යන්නට බැරි
කුඩේ යටින් ඔබේ ළඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුණා
යන්නට තිබුණා...
එක්කෙනකුටවත් නොසෑහෙන කුඩයක තෙමි තෙමී සතුටින් යාම වැනි කාව්‍යෝක්ති යොදාගෙන තිබීම ගීත රචකයාගේ ප්‍රතිභාව මැනවින් හෙළි කරන්නකි. භාෂාවේ වචනවල ඇති ප්‍රතිහාර්යය රචකයා මනාව වටහාගෙන ඇති බව පැහැදිලිය.
මෙසේ කුඩය යටින් ගමන් කරද්දී මේ තරුණයා ආනන්දයට පත්කළ තවත් සංසිද්ධියක් නම්, ලෝකයට හොරෙන් ඇයව සිප ගැනීමයි. ඒ සියලුම සොඳුරු අවස්ථා මේ මන්දාරම් වැස්ස වැටෙද්දී ඔහුට සිහිපත් වෙයි. ඔහුට සිහිපත් වන අතීත සිදුවීම්හි මෙන්ම මේ මොහොතේ ඔහුට අහිමි වී යන සොඳුරු අවස්ථාවන්ගෙන් ද යොවුන් පේ‍්‍රමයක සුන්දරත්වය මෙන්ම අහිංසකත්වය ද ඉස්මතු වෙයි.
මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුණා
බලන්න තිබුණා
රචක මෙහිදී භාවිත කරන ‘කොපුලේ වැහි බිඳුවක රස’ නම් වූ යෙදුම මනරම් කාව්‍යෝක්තියකි. කුඩේ යටින් යන විට රහසේ ම ඇගේ කොපුලට හාදුවක් දීම ඔහුගේ ආනන්දයට හේතු වෙයි. ඇගේ කොපුල වැහි බිඳුවලින් තෙත් වූ මොහොතක ඔහු අත්විඳිනුයේ වැහි බිඳුවක රසයි. එහෙත් අද ඔහුට ඒ රසය අහිමි ය. ඔහුගේ පසුතැවිල්ලට හේතුව එයයි.
මෙහි රචකයා වන ගයාමන් දිසානායක මා දන්නා පරිදි වෛද්‍යවරයෙකි. ඔහු අද කොතැනක සේවය කරන්නේ දැයි මම නොදනිමි. ඔහුගේ පියා වන්නේ මහින්ද දිසානායකයන් ය. රජරට ප්‍රදේශයෙන් බිහි වූ මහින්දයන් අතිදක්ෂ ගීත රචකයෙකි. ප්‍රවීණ සිංහල ගුරුතුමෙකි. තම පියාගේ ජන්ම ප්‍රතිභාව පුත්‍රයාට ද මැනැවින් පිහිටා ඇති බව මගේ හැඟීමයි. ඔහු දිගටම ගීත රචනයේ යෙදේ නම් කය මෙන්ම මනස ද සුවපත් කළ හැකි නිර්මාණ ඔහු අතින් අනාගතයේ දී බිහි වනු ඇත. ඒ වගකීම ඔහු සතුය.
මේ ගීතයේ සංගීතය හා ගායනය ද සුවිශේෂ වූවකි. එච්. එම්. ජයවර්ධනයන්ගේ තනුව, සංගීත සංයෝජනය මන්දාරම් අඳුර කරා අප කැඳවාගෙන යයි.
වැහි වලාකුළු, වැහි බින්දු පමණක් නොව වැහිලිහිණියන් ද ජයවර්ධනයන් ගේ සංගීතය තුළින් මතු ව එයි.
ක්‍රිෂාන්තට ඇත්තේ අතිශයින් පේ‍්‍රමණීය හඬකි. ඒ හඬට ශ්‍රී ලංකාවේ නම් ආදේශයක් නොමැත. මේ හඬ අනාගතය සඳහා යොදා ගැනීම ඔහුගේ වගකීමයි. මතක් කර සිටීම අපගේ වගකීමයි.
මේ ගීතයේ අත්දැකීම මා විඳ නැත. එය යළිත් ලබන්නට ද නොහැකිය. එහෙත් මේ ගීතය රස විඳින වාරයක් පාසා මම ද කොපුලේ වැහි බිඳුවක රස විඳිමි. ඒ කොපුලේ හිමිකාරිය කවුරුන් දැයි මම නොදනිමි.
ධම්මික බණ්ඩාර - Silumina