Pages

Sunday, May 20, 2012

ඔබ ආයෙමත් ඇවිදින්


දැස අග මල් පිපී සැලූනත් කොයි තරම් 
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස්‌ තිබුනද කොයිතරම්
නුඹ නොදැන සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ 
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ගායනය - අමරසිරි පීරිස්‌
ගීපද - ධම්මික බණ්‌ඩාර
සංගීතය - ඩැනිස්‌ටර් පෙරේරා

බැඳීම්, සීමා මායිම් නිසා අපිට බොහෝ දේ අහිමි වෙනවා. සිපගන්න අවසර ඇත්තේ එකම එක මලයි... ඒත්... අත පොවන මානයේ කොතරම් මල් පිපී තියෙනවද.. ඒ මල් අතර හිත ගිය මලක්‌.... තිබුණත්... සිපගන්න... නැහැ.... වරම් නෑ...

ඔබ ආයෙමත් ඇවිදින්

හිත හදාගත්තා, විතරමයි

ඔබ ආයෙමත් ඇවිදින්...

ඇය ආයෙත් ඇවිත්.... ඔහු හිත හදාගෙන ඉන්නේ... ඒත්... ඇගේ නෙත ගැටෙන්න පටන් අරන්....

සැබෑ අත්දැකීමක්‌.... ගී පදවලට පෙරළුවේ ධම්මික බණ්‌ඩාර... හදවතක අත්දැකීමක්‌... ධම්මිකත් ගුරුවරයෙක්‌... ගීයත් ගුරුවරයෙක්‌ගේ අත්දැකීමක්‌... ඔහු කසාද බැඳලා නැහැ.... ඒත් විවාහ පොරොන්දුවක්‌ දීලා ඉවරයි... වැඩිහිටියන් එක්‌ක කතා බහ කරලා කසාදෙ තීන්දු කරලාත් ඉවරයි... ඒ නිසා... ඔහුගේ හදවත.... තව හදවතකට බැඳිලා ඉවරයි... ඒත්.... ඒත්.... හිත ගියා ලස්‌සනම ලස්‌සන තරුණ සිසුවියක වෙත.... සමීප වුණා.... ඒත්.... බැඳීම්වලින් ඔහු හිරවෙලා.... ඈ.... ඔහුගෙන් සිප් සතර හදාරා ඈතට ගියා.... ආදර සිතිවිල්ල එතැනින් අහවර වුණා... ඔහු හිත හදාගත්තා...

ඔබ ආයෙමත් ඇවිදින්

හිත හදාගත්තා විතරමයි...

ඔබ ආයෙමත් ඇවිදින්...

ඈ ආයෙත් ඇවිත්... කලකට පස්‌සේ... ගුරුවරියක්‌ ලෙසින් ඔහු උගන්වන පාසලටම පත්වීමක්‌ ලැබිලා... ඔහු එකලස්‌ කරගෙන තිබූ හිත... ආයෙත් සසල වෙන්න පටන් ගත්තා.

උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින් නින්ද මට නැති දවස්‌ තිබුනද කොයිතරම් නුඹ නොදැක සිටි දිගු කාලයේ හිත හදාගත්තා විතරමයි ඔබ ආයෙමත් ඇවිදින්

එදා.... ඔහු ඇය සමග එක්‌ වුණා නම්... තවත් යුවතියකට දුන් පොරොන්දු, සම්ප්‍රදායන් කැඩී ඉහිරෙනවා.... ඒක කවදාවත් වෙන්න දෙන්න බැහැ.... ඒත්.... ඔහුගේ හදවත ඇය ළඟමයි...

අහිමි හදක්‌ වුණත්... ඈ ගැන ඔහු හිතනවා... නිදිබරව දැස්‌ පියවුණත් පෙනෙන්නේ ඇගේ රුව... ඒ වෙලාවට ඔහු ඇය ගැන ආයෙත් හිතනවා... නින්දක්‌ නැහැ.... ඒත්... කාලයක්‌ ඒ රුව නොදැක සිටිද්දී ඔහු හිත හදාගත්තා... ඈ අමතක කළා... යටපත් වූ ආදරය ආයෙත් ඈ දකිද්දී මෝරා ආවා... දැන් ඔහු විවාහකයෙක්‌... බැඳීම් වැඩියි... ඒත් ඇගේ රුව ඔහුගේ හිතට වධ දෙන්න පටන්ගත්තා... හිත චංචලයි....

දැස අග මල් පිපී සැලුනත් කොයිතරම් එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම් නුඹ නොදැක සිටි ඒ කාලයේ නෙත කඳුළ මැකුණා විතරමයි ඔබ ආයෙමත් ඇවිදින්...

කොතරම් ලස්‌සන සිසුවියන් ඔහු නෙත ගැටෙනවද... හරියට දැස්‌ අග පිපී සැලෙන මල් වගේ... ඒත්... ඈ තරම් සුවඳ තවත් මල් එහි ඇත්ද... නැහැ... ඔහුගේ හිත ගියේ ඈ කෙරෙහි විතරමයි... බැඳීම් හරස්‌ වුණා ඈ... ඉවතට ගියා... ඔහු හිත හදාගත්තා... දෙනෙත් බොඳ කළ කඳුළු කැට... සිඳී ගියත්... ඒ සැණින්.... ඈ ආයෙත් ඔහු නෙත ගැටෙන්න පටන් අරන්....

යම් යම් කරුණු නිසා ඈත්වූ පෙම්වතියක්‌.. ආදරයක්‌... නැවත නැවත දකිද්දී... දරාගන්න බැරි දුකක්‌ හිතට දැනෙනවා.... මේ ගීයේ සංගීතය නිර්මාණය කළේ ඩැනිස්‌ටර් පෙරේරා...

මේ සිංදුව පටන් ගන්නේ මියුසික්‌වලින් නොවේ.... "ඔබ ආයෙමත් ඇවිදින්..." කියන වචන පටන් අරන්... සංගීතයට යන්න ඇරලා තමයි "හිත හදාගත්තා විතරමයි..." කොටස ගැයෙන්නේ.... සම්ප්‍රදායෙන් ඈත්වූ සංගීත ශෛලියක්‌... සෙක්‌සෙµdaන් එකෙන් තමයි පටන් ගන්නේ... ගී පද රචකයා ධම්මික බණ්‌ඩාර ගීයේ ආරම්භය සඳහන් කළා.

මේ සිංදුව අමරසිරි පීරිස්‌ටම කියලා නොවේ ලියුවේ... ඔහුට ගීත පහක්‌ කරලා දෙන්න ඇරියුම් ලැබුණා. මගේ පුංචි රෝස මලේ, හන්තානට පායන හඳ, "හිම දියවී හිමාලයේ", "උදම්රළ ඔබ" කියන ගීත හතරත් එක්‌ක මේ ගීයත් මම ඔහුට ලියාදුන්නා.. සිංදුව තැටිගත කළාට පස්‌සේ බොහෝ දෙනෙක්‌ කියන්න ගත්තා... මේ අත්දැකීමට ඔවුනුත් මුහුණ දුන්නා කියලා.

ධම්මික මේ ගීය ලියා තිබෙන්නේ බැඳීම් සහ සම්ප්‍රදායන් නිසා.. හිතට වධ දෙන තරුණයෙක්‌ ගැන... කසාදය නිසා ඔහුට ඔහුගේ හිතගත් යුවතියට ආදරය කරන්න බැහැ... ඒත්.... මෙහි අනෙක්‌ පැත්ත? බැඳීම්, සම්ප්‍රදායන් බිඳ දමා... වෙනත් හදවතකට ළං වෙන තරුණයන්ද සිටිනවා... ධම්මික කියන්නේ මේ දෙපැත්තෙන් එක පැත්තක්‌ ගැන විතරයි.... ඒත් මේ දෙපැත්තම ආදරය නමැති සංකල්පය නිසා සිද්ධ වන්නක්‌.


අජිත් අලහකෝන් Divaina