Pages

Friday, May 04, 2012

"විජය කුවේණි" ඓතිහාසික වරදක්‌ නිවැරදි කිරීමක්‌

විජය කුවේණි චිත්‍රපටයේ 
සැබෑ විචාරකයා බුද්ධිමත් ප්‍රේක්‌ෂකයායි
- අධ්‍යක්‍ෂ සුගත් සමරකෝන්


විශ්වයේ ඉපැරණිතම ශිෂ්ටාචාරයකට සහ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ජාතියක්‌ වන අප, ශ්‍රී ලාංකිකයින් යෑයි පවසන්නේ සාඩම්බරයෙනි. මේ ඉතිහාසය තුළ, අප දන්නා ඉතිහාසයකුත්, ඒ තුළ වැළලුණු සත්‍ය වූ තවත් ඉතිහාසයකුත් තිබිය හැකිය. මේ පිළිබඳ ගවේෂණාත්මකව තොරතුරු සොයා යමින් කළ දුෂ්කර ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය සිනමාරූපීව අපේ නෙතුමානයට රැගෙන එන අපූරු චිත්‍රපටයක්‌ තවත් දින දෙකක ඇවෑමෙන් අත්විඳින්නට ශ්‍රී ලාංකික සිනමා රසවතුනට අවස්‌ථාව උදාවනු ඇත. "මහා වංශය නොකී, අපේ වංශයේ මහ රැජනකගේ කතාව" ලෙසින් තිරයේ දිගහැරෙන මෙය "විජය කුවේණි" ය.

මෙය ඉතිහාස කතාවක්‌ වාර්තා කිරීම හෝ ප්‍රතිනිර්මාණ කිරීමක්‌ නොව, ඒ ඉතිහාස කතාවේ මූලාශ්‍ර පසුබිම් කොටගෙන කලාකරුවකුගේ ඇසින් දුටු නව නිර්මාණයකක්‌ ලෙස මා දකිමි. එය ඉතාමත් අපහසු කටයුත්තකි. නමුත් ඔහුගේ නොපසුබට වෑයම, රන් හා සමානව අගයන්නට බුද්ධිමත් වු ප්‍රේක්‌ෂක ඔබත් කැමැත්තෙන් ඇතැයි මා උපකල්පනය කරමි.

ඉතිහාසය හා සබැඳි චිත්‍රපට අතුරින් "විජය කුවේණි" තරම් මෑත භාගයේ වඩාත් කතාබහට සහ විචාරක විවේචනයන්ට නතුවූ වෙනත් නිර්මාණයක්‌ නොමැති තරම්ය. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමටත් ප්‍රථම එවැනි තත්ත්වයක්‌ අත්විඳින්නට ලැබීම මෙහි නිර්මාණකරුවනට, කුමනාකාරයේ බලපෑමක්‌ ගෙන එන්නට ඇතිද? විශාල පිරිවැයක්‌ දරමින් දැඩි වෙහෙස මහන්සියකින්, අති දුෂ්කර ක්‍රියාවක අවසන එවැනි වූ විචාර, විවේචන, අවිචාරවත්ව ඉදිරිපත් කිරීමට එවැන්නන්ට ඇති සාධාරණ අයිතිය කුමක්‌ද? "විජය කුවේණි" සැබවින්ම ඉතිහාසය අඳුරේ අතපත ගා විනාශයට ලක්‌ කිරීමක්‌ද? එසේනම් මේ පිළිබඳව විමසිය යුත්තේ කිනම් පුද්ගලයාගෙන්ද? ප්‍රවීණ කලා ශිල්පී සුගත් සමරකෝන් "විජය කුවේණි" චිත්‍රපටයේ රචක සහ අධ්‍යක්‍ෂවරයායි. මේ....ඔහුගේ කුළුඳුල් සිනමා ආගමනයයි. මතු දැක්‌වෙන්නේ "දිවයින සිනමා කලා" මේ පිළිබඳව විමසමින් ඔහු වෙත නැගූ පැනයට ලැබ දුන් පිළිතුරුයි.

"විජය කුවේණි" ඓතිහාසික වරදක්‌ නිවැරදි කිරීමක්‌ යෑයි ඔබ පවසනවා. එය අභියෝaගාත්මක කතාවක්‌. කොහොමද ඔබ එසේ පවසන්නේ?

මෙවැනි ඓතිහාසික කතාවක්‌ මුල්කර ගනිමින් නිර්මාණයකට යැම දැඩි අභියෝගයක්‌ බව මා මුලසිටම දැන සිටියා. ඒ නිසා ඉතිහාසය විකෘති නොකිරීමට මා උපරිමයෙන් පරිස්‌සම් වුණා. මා එසේ කළේත්, විවේචනයට බඳුන්වීමට ඇති ඉඩකඩ වැඩි නිසයි. ඉතිහාසය වෙනස්‌ නොකොට නිර්මාණාත්මක වෙනස්‌කම් සිදුකිරීමත් විශාල අභියෝගයක්‌. සිනමා මාධ්‍යයේ පවතින ශිල්පීය ධර්මතා ආරක්‌ෂා කරමින් නිර්මාණයක්‌ එළිදැක්‌වීමත් අභියෝගයක්‌. අප දන්නා ඉතිහාස පුරාවෘත්තයන්හි අද්භූත සිදුවීම් රාශියක්‌ තිබෙනවා. කුවේණිය කියන්නේ අද්භූත බලවේග සහිත මිනී මස්‌ අනුභව කරන ගැහැණියක්‌ ලෙසටයි මහාවංශයේ සඳහන් වන්නේ. මට ඕන වුණේ මෙය පදනම් විරහිත කතාවක්‌ බව ඔප්පු කිරීමටයි. මේ වස්‌තු බීජ සොයා යමින් මා කළ ගවේෂණය අවසානයේ මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, ඒ. සුද්දහාමි, ආචාර්ය සඳුන් විඡේසිරි, අරිසෙන් අහුබුදු සූරීන් මේ පිටපත කියවා ලබාදුන් සහතිකයත්, මෙය උසස්‌ තිර පිටපතක්‌ ලෙස ජාතික චිත්‍රපට සංස්‌ථාවේ බුද්ධි මණ්‌ඩලයෙන් හිමි වූ අනුමැතියත් තිබියදී ද්වේශ සහගතව ඉදිරිපත් කරන, විවේචන, විචාර මා ගණන් ගත යුතුද? හැබැයි මා විශ්වාස කරන්නේ "විජය කුවේණි" චිත්‍රපටයේ නියම විචාරකයන් විය යුත්තේ අපේ රටේ බුද්ධිමත් ප්‍රේක්‌ෂකයන් බවයි. කලාකරුවා යනු සංවේදී පුද්ගලයෙක්‌. ඉතිං විචාරකයාත් සංවේදී විය යුතු බවයි මගේ හැඟීම. මෙවැනි අභූත විචාරයන්ට ලක්‌වූ පළමු නිර්මාණකරුවා මා නොවෙයි. ලෝක සිනමාව පිළිගත්, ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතා නිපැයූ "නිධානය" චිත්‍රපටයටත් මෙවැනි චෝදනා ඉදිරිපත් කළා. නමුත් එතුමා නොසැලී සිටියා. අවසානයේ චෝදනා නැගූවන් නිරුත්තර වුණා. යහපත් ධර්මතාවන්ට අනුව ජීවිතය හැඩගස්‌වා ගැනීමට කියා දුන් උත්තම පුරුෂයකු වූ අනගාරික ධර්මපාලතුමාටත් අවසානයේ මුහුණ දෙන්නට වූ තත්ත්වයක්‌ පිළිබඳව මා සිහි කැඳවීමට කැමතියි. වැඩි විග්‍රහයන්ට නොගියත් තතු දන්නෝ මේ සියල්ල පිළිබඳව ඇත්ත දකිනවා.

ආසියාවේ, යුරෝපයේ හෝ වෙනත් තැනකදී වුවත් නිර්මාණකරුවාගේ උන්නතිය වෙනුවෙන් සැමවිට පෙනී සිටින්නේ විචාරකයායි. අවාසනාවට අපේ රටේ විචාරකයා එතැනට පැමිණ නැහැ. මේ රටේ විචාරකයෝ කිහිප දෙනෙකු මා කලාවෙන් ඈත් කරන්නට වෙර දැරුවත්, මා නිර්මාණ කළේ මගේ රටේ ජනතාව වෙනුවෙන් මිස ඔවුන් වෙනුවෙන් නොවන බව නැවත නැවත සිහිපත් කළ යුතුයි. "විජය කුවේණි" තිරගතවීම සැබැවින්ම මගේ කලා දිවියේ සන්ධිස්‌ථානයක්‌ වෙයි. මෙය උසස්‌ නිර්මාණයක්‌ ලෙස අපේ රටේ බුද්ධිමත් ප්‍රේක්‌ෂකයා පිළිගතහොත් මෙවැනිම ඉතිහාසයකට සබැඳි කතාවක්‌ වන "මහා රාවණා" ඇතුළු තවත් නිර්මාණ සඳහා මා යොමුවෙයි. එසේ නොමැති වුවහොත් කලාවට ආයුබෝවන් කියා නිශ්චිතවම මා නැවත නොඑන්නටම විදේශ ගතවෙනවා. ඒ නිසා මේ මොහොතේ මගේ ආරක්‌ෂකයා විචාරකයා නොව, මගේ රටේ ආදරණීය බුද්ධිමත් ප්‍රෙක්‌ෂකයායි. මා කළේ "චොකා බයිලා" චිත්‍රපටයක්‌ නොවෙයි. මේසා විශාල පිරිවැයක්‌ නොදරමින් අවර ගනයේ චිත්‍රපට දෙක තුනක්‌ම නිර්මාණය කරන්න තිබුණා. එසේ වූවා නම් මෙවැනි විචාර නොඑන්නටත් ඉඩ තිබුණා. එදා කුවේණියව තේරුම් නොගෙන ඇයව ඝාතනය කළ යකුන්, අද වෙනස්‌ වේශයකින් නැවත ඉපිද, කුවේණිය කියන අපේ ඥාතිවරිය පිළිබඳව ඇත්ත කතාව කියවෙන මේ සිනමා නිර්මාණය සහමුලින්ම අකා මකා දැමීමේ පහත් උත්සාහයකයි එවැනි විචාරකයන් යෙදී සිටින්නේ. අප මෙතෙක්‌ සිදුකළේ මහාවංශය කියවා කුවේණියට ශාප කිරීමයි. මහාවංශය රචිත, මහානාම හිමියන්ට මඟහැරුණු හෝ හිතාමතාම මඟහැරපු ඉතහාසයක්‌ අපට තිබුණා. මා උත්සාහ කළේ "විජය - කුවේණි" සිනමාපටය හරහා, ලිඛිත ඉතිහාසයේ නොගැළපෙන අද්භූත කරුණු කාරණා ඉවත්කොට නිවැරදි ඉතිහාසය මතුකර දීමට යත්න දැරීමයි. මෙය වර්තමාන පාසල් දුවා දරුවනටද නිවැරදි ඉතිහාසය පිළිබඳ දැනගැනීමට අත්වැල් සැපයීමක්‌ වනු ඇති.

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මෙවැනි සිනමා පටයක්‌ නිර්මාණය කිරීමේදී අධ්‍යක්‌ෂවරයා ලෙස ඔබ සැලකිලිමත් වූ වෙනත් කරුණු කාරණා මොනවාද?

ඇත්තෙන්ම මේ කතාව පිළිබඳව කියවෙන එදා තිබුණු වටා පිටාව සහ පරිසරයට වර්තමාන ප්‍රේක්‌aෂකයා කැඳවාගෙන යැම දුෂ්කර කටයුත්තක්‌a. ඒ සඳහා සුදුසු පරිසරය, ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීමටත් සිදුවුණා. අනුරාධපුරය, රාජාංගණය, වෙස්‌සගිරිය, ගම්පහ, මාතලේ, රිවර්ස්‌ටන්, මීගමු වෙරළ සහ නාරාහේන්පිට රූපගත කිරීම් සිදුකළා. එහිදී ඇඳුම් නිර්මාණ සිදුකළ ප්‍රියාන් අනුරසිරිත් විශේෂිතව සිහිපත් කළ යුතුයි.

"විජය කුවේණි" ඉතිහාසගත කතාව සිනමා සිත්තමට ගෙන ඒමේදී, රංගන දායකත්වය එක්‌කළ අපේ නිරූපණ ශිල්පීන් පිළිබඳව යමක්‌ සඳහන් කළොත්...

මෙහි ප්‍රධාන චරිත යුගලය වන "විජය - කුවේණි" සඳහා ජීවය මවනු ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පී, රොජර් සෙනෙවිරත්න සමඟ දුලානි අනුරාධා. ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌, සඳුන් විඡේසිරි, බුද්ධදාස විතානාරච්චි, අනුර ධර්මසිරිවර්ධන, සුසිල් පෙරේරා, නෝමන් පලිහවඩන ඇතළු පිරිස සුවිශේෂී රංගන දායකත්වයන් එක්‌කළ බව පැවසිය හැකියි. මෙය ඓතිහාසික කතාවක්‌ නිසාවෙන්ම විශාල පිරිසක්‌ රංගනය සඳහා යොදාගන්න සිදුවුණා. එය සංඛ්‍යාත්මක 1700 ක්‌ පමණ. නොයෙක්‌ දුක්‌ ගැහැටයන්ට නතුව, මේ නිර්මාණය සඳහා ඔවුන් එකාවන්ව ලැබ දුන් දායකත්වය පිළිබඳව අධ්‍යක්‌ෂවරයා ලෙස මා සිටින්නේ විශාල තෘප්තියකින්. අභියෝග, බාධක මැද මේසා විශාල වූ කලා නිර්මාණයක්‌ එළි දැක්‌වීම වෙනුවෙන් නිෂ්පාදන දායකත්වය ලැබ දුන් ගයාන් රණධීරයන් ද ගෞරවයෙන් සිහිපත් කරන්නට මෙය අවස්‌ථාව කරගැනීමට කැමතියි. කලාවට ගරු කරන දේශීයත්වය අගයන ඔහු සැබැවින්ම දැ හිතකාමියෙක්‌. ඊට අමතරව "විජය කුවේණි" සඳහා එක්‌වූ සියලුම ශිල්පීන් මෙහි සාර්ථකත්වය පිටුපස සිටිනා අයෝමය හස්‌තයන් ලෙස ගෙනහැර දැක්‌වීමට කැමතියි.

"විජය කුවේණි" ඓතිහාසික කතා පුවත තිරගතවීමට යෝජිතව ඇත්තේ ඓතිහාසික දිනයක...

ඇත්තටම එයත් දෛවෝපගත සිදුවීමක්‌. එදා විජයාගමනය සිදුවූයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පසුදිනයි. "විජය කුවේණි" සිනමා පටය ප්‍රදර්ශනය ඇරඹෙන්නේත් වෙසක්‌ පොහොයට පසු දිනයි. එළඹෙන 6 වැනිදා ඉරිදා සිට දිවයින පුරා පිහිටි සිනමාහල් 45 කදී අපේ ඉතිහාසයේ සුවිශේෂි තවත් එක්‌ කතාවක පුනරාගමනය ප්‍රේක්‌ෂකයාට අත්විඳිය හැකියි. මා ඉල්ලන්නේ මෙය නරඹන්න. අවංක වූ ඔබේ යෝජනා, චෝදනා මා වෙත යොමු කරන්න කියලයි. මා එසේ ඉල්ලන්නේ මගේ කලා දිවියෙහි අනාගතය රැඳී ඇත්තේ ආදරණීය ප්‍රේක්‍ෂක ඔබ මතම නිසයි.

ඓතිහාසික කතා තේමාවක්‌ රැගත් චිත්‍රපට අතරට අලුතින්ම එක්‌වුණු "විජය කුවේණි" සිනමා සිත්තම, නිවැරදි ඉතිහාසයක සත්‍ය තොරතුරු නැවත සිහි කැඳවන්නක්‌ම වනු ඇති බව කලාවේ නාමයෙන් අප ද විශ්වාස කරමු. අති දක්‍ෂ සිනමාවේදීන් රැසක්‌ සතු ශ්‍රී ලාංකික සිනමාවේ, සුගත් සමරකෝන් නමැති ඔහුටද හිමි තැනක්‌ ඇතැයි අපි උපකල්පනය කරමු. "විජය කුවේණි" එහි ආරම්භය වනු ඇත.

සංවාද සටහන සුජීව තත්සර  - Divaina