කරදිය ගැඹරේ
තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ //
අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් කඩලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ //
දුම්රොටු අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට
පුදන්නයි
කිරිකැටි පුතුනේ
පද රචනය - පේ‍්‍රමකුමාර ජයවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - එඩ්වඩ් ජයකොඩි
මගේ මතකය අසූව දශකයට දිවයයි. එකල අග්‍රාමාත්‍යවරයා වූ රණසිංහ පේ‍්‍රමදාසයන් ගේ උදාගම් ව්‍යාපාරය ඇරැඹුණු සමයයි. උදාගම ජනතා අයිතියට පවරන දින මහා සැණකෙළියක් පැවැත්වීම එතුමන්ගේ සිරිත විය. මේ සැණකෙළියේ පවත්වන සංගීත සන්දර්ශනයේ අනිවාර්යයෙන් ගැයෙන ගීයක් ලෙස මේ ගීතය මට තවමත් මතකය.
එක්තරා දවසක මේ ගීතය ගායනා කළ එඩ්වඩ් ජයකොඩි කලාකරුවාට දෙවරක් ම මේ ගීතය ගයන්නට සිදුවූ බවක් මට මතක ය. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මතයි.
පියකු සහ පුතකු අතර පෞද්ගලීකත්වය ඉක්මවන ආකාරයේ නිර්මාණයක් බවට මේ නිර්මාණය පත්වන්නේ දුක් විඳින පියවරුන් ගේ දාඩිය කඳුළෙන් ගොඩනැඟෙන අනාගත පරපුරකට ම මේ නිර්මාණය තුළින් අමතන බැවිනි. “කිරිකැටි පුතුනේ” යන යෙදුම එබඳු අනාගත පරපුරක් නියෝජනය කරන්නා වූ යෙදුමකි.
පියකුගේ සිතුවිලි ආශ්‍රයෙන් වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට වැඩි වටිනාකමක් ලබා දෙමින් ඒ ශ්‍රමිකයන් කෙරෙහි වඩාත් සංවේදී ව සිතන්නට ජන සමාජය පෙලඹවීමට මෙහිදී රචකයා උත්සාහ කරයි. ධීවරයකු, කුලීකරුවකු සහ කම්කරුවකු යන ත්‍රිත්වය ම නියෝජනය කරන වැඩ කරන පියකු ගේ සහ පියවරුන්ගේ හඬ රචකයා තම නිර්මාණයෙන් ඇසෙන්නට සලස්වමින් වැඩ කරන ජනතාවගේ ප්‍රාර්ථනයක් අප හමුවේ තබයි.
“කරදිය ගැඹරේ
තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට
දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා
යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ”
මේ පියවරුන් දුක් විඳින්නේ තම බඩ වියත රැක ගැනීමට පමණක් නොවේ. තම දරුවන් වෙනුවෙන් අලුත් ලොවක් ගොඩනැඟීමටයි. ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැඟීමටයි. “සුහුඹුල් අත්පා යදඬු කරන්නයි” නමැති යෙදුම අතිශයින් හැඟීම්බර ය. සමාජයට සේවයක් කළ හැකි, දුක් ඉසිලිය හැකි, අයුක්තිය ඉදිරියේ පෙනී සිටිය හැකි අනාගත පරපුරක් ගොඩ නැඟීමේ සුබ ප්‍රාර්ථනය මේ වැඩ කරන මිනිසුන්ගේ හදවත්හි කැටි ගැසී ඇති බව මෙහි දී රචකයා මතුකොට දක්වයි.
ඒ මඟින් වැඩ කරන මිනිසුන්ගේ ශ්‍රමයට වැඩි වටිනාකමක් රචකයා විසින් ලබා දෙනු ලබයි.
අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් කඩලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරි කැටි පුතුනේ
තමා ගේ ලොව නිවහල් නොවන බව මේ පියා දනියි. එහෙත් ඒ වහල් බව අනාගත පරපුරට උරුමකර දීමට මේ පියා සූදානම් නැත. තම ශ්‍රමයෙන් කළුගල් කඩා ඔහු ඉදිකරන්නේ මං මාවතක් පමණක් නොවේ. ඔහු ඉදි කරන්නේ සියලු වහල් බැමි බිඳ දමා අනාගත පරපුරට යා හැකි මාවතකි.දුම්රොටි අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ
ජීවිතය දුක් කන්දරාවකි. ඒ දුක් කන්දරාව ඔහු දැන් අත්විඳිමින් සිටී. අනාගත පරපුර වෙනුවෙන් ඔහු එය ඉසිලිය යුතුය. ඒ දුක් උහුලන්නේ තමාට වඩා වෙනස් අලුත් මිනිසකු නිර්මාණය කිරීමටයි.
ඒ අලුත් මිනිසා යුක්තිය සාධාරණය අගය කරන මිනිසකු විය යුතුය. සංවේදී මිනිසකු විය යුතුය. ලෝකය ජයගත හැකි උගතකු බුද්ධිමතකු විය යුතුය. මේ දහදිය කඳුළු හෙළන්නේ ඒ වෙනුවෙනි.
ඇතැම් විට කම්කරුවකු තුළ මෙබඳු දියුණු චින්තනයක් නොතිබිය හැකිය. එහෙත් මේ ගීතය ශ්‍රවණය කරන විට කම්කරුවකු තුළ පමණක් නොව ඕනෑ ම මිනිසකු තුළ මේ චින්තනය අවදි වේ.
දිනක් ගිරිඋල්ල බස් නැවතුම් පළ අසල කුඩා තේ කඩයක් පවත්වාගෙන යන පුද්ගලයකු මට මුණ ගැසිණි. මඳක් අල්ලාප සල්ලාපයේ යෙදෙන විට ඔහු මට පැවසූයේ ඔහුගේ පුත්‍රයා ඉංජිනේරු උපාධිය සඳහා, සූදානම් වන බවයි. එසේම ඔහු පැවසුවේ දරුවාට උගන්වන්නට, කුලියට දර පලන්නට ගත් වෙහෙස අපරිමිත බවයි. මෙබඳු පියවරු දහස් ගණනක් අපට නිරතුරුව හමු වෙති. මේ ගීතය ඔවුන්ගේ හදවත් පසාරු කර යන්නකි.
මේ ගීතයට මීළඟ සාධාරණය ඉටුවන්නේ තනුව හා ගායනය ඔස්සේ ය. පියකුගේ දුක වේදනාව ශ්‍රම අභිමානය මෙන්ම දරු සෙනෙහස ද තනුව හා සංගීතයෙහි ගැබ් වෙයි.
මම මහමගෙහි ගමන් කරමි. මිනිස්සු පාරේ වැඩ කරමින් සිටිති. ගැහැනු කළුගල් පටවති. මිනිස්සු තාර දමති. ඉර එළියේ අනුකම්පාවක් ඇති බවක් නොපෙනේ. සිරුරු දාඩියෙන් නැහැවී ඇත. යන එන රථවාහන වලින් ඇවිස්සෙන දුහුවිලි වලාවන් ගෙන් ඔවුහු වැසී යති. මම ඔවුන්ගේ දෑස් දෙස බලමි. අනාගතයේ උපදින කිරිකැටි පුතකු ගැන සිහිනයක් ඒ දෑස්වල ලියැවී පවතී.
ධම්මික බණ්ඩාර Silumina