Pages

Saturday, September 24, 2011

මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ...

පිලේ පහන නිව්වා මං
ගොම්මන් අඳුරේ...
තනිකම වරෙන් ඉදිකඩ පැන
මං නිදි පැදුරේ...

පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක

පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

ජීවිතේ යාත්‍රාව හැමදාමත් තනිකඩව පැදයන අය අනන්තයි. අප්‍රමාණයි. ඒත් ඒ අය නොවේ අනෙක්‌ අය තනි නොවී ජීවත් වන අය, හරිම කැමැතියි ඉඳලා හිටලා පැයක්‌ දෙකක්‌ නැත්නම් දවසක්‌ම තනිව ඉන්න. තනි වෙන්න. හුඟාක්‌ දුරට මෙහෙම තනි වුණාම තමයි ආදර හැඟුම් මෝදු වෙන්නේ. ජීවිතය ගෙවෙද්දී විඳපු සුන්දර වගේම අසුන්දර සිද්ධි විරහව... එක්‌වීම්... වෙන්වීම්... මේ හැම දෙයක්‌ම තනිකම එක්‌ක අප ඉදිරියේ චිත්‍රණය වෙනවා.

පිලේ පහන නිව්වා මං
ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන
මං නිදි පැදුරේ...

ගොම්මන් අඳුර කපාගෙන දැල්වෙන පහන නිවා දමා මම නිදි පැදුරට වැටුණා. තනි යහන... ඝනඳුරත් එක්‌ක හුදෙකලාව තදින් දැනෙනවා. මොනවා කරන්නද.. හැමදාම තනියම ඉන්න තනිකම වෙනදා වගේම ඉදිකඩ පැනලා වරෙන්... මම උඹ එන තුරු නිදි පැදුරේ බලා ඉන්නවා.

අමුතුම ගීයක්‌... විරහවකුත් නෙවෙයි. තනිවෙන්නේ විරහවක්‌ නිසාම නෙවෙයිනේ...

ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රිගේ තවත් එක්‌ ගීයක්‌... වෙනස්‌ම විදිහේ රචනාවක්‌.

මට මතක හැටියට අසූහත අසූඅට වගේ කාලයක සුනිල් එදිරිසිංහ කැසට්‌ එකකට සිංදුවක්‌ ලියන්න මට ආරාධනා කළා. ප්‍රේමයේ සුන්දරත්වය වගේම ආදරයේ ජයග්‍රහණය ආදී ගීත ඒ කැසට්‌ පටයේ තිබුණා. මම හිතුවා ප්‍රේමය වුණත් පරාජිත ස්‌වභාවය විවරණය කරන ගී සුනිල් ගේ හඬින් එතරම් ගායනා වෙලා නෑ කියලා. එවැනි නිර්මාණවලට ඉඩකඩ තිබුණා. එනිසා මම ප්‍රේමය ගාවන්නේ නැතුව හුදෙකලාව, පාළුව ගැන කියෑවෙන ගීයක්‌ හැදුවා. ඒක තමයි මේ...

පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්න...

මේ පරාජිතයාගේ තනියට ඉන්නේ බැස යන හීතල පසළොස්‌වක සඳ විතරක්‌ද... නැහැ. දොළේ වතුර බැසයන තාලෙට වැනි වැනී නටන උණ පඳුරත් ඔහුගේ තනිය

මකනවා. උලලේනා කියන්නේ මූසල සතෙක්‌ විදිහටයි සැලකෙන්නේ. උලලේනා හඬන්නේ දුක්‌බර මොහොතක. ඒ සුබ සුන්දර හඬක්‌ නොවේ. මොහුගේ තනිකම පාලුව ප්‍රතිනිර්මාණය කරන්න ගීත රචකයා යොදාගෙන තිබෙන්නේ මේ වගේ ගැමි යෙදුම්. අවසානයේ ඔහුගේ තනියට ඉන්නේ තනිකම විතරයි. ඉඳිකඩ පැන එන්නැයි තනිකමට ආරාධනා කරන්නේ වෙන කිසිවකට නොවේ. තුරුළු වෙලා නිදාගන්න ඔහුට ඉන්නේ මේ තනිකම විතරයි.

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක...

පොඩි බලාපොරොත්තුවක්‌ හිතේ තියෙනවා. එක්‌තරා උදෑසනක හිරු පායා ආවත්... හවසක වෙන්වීමක්‌ නැතිනම් සමුගැන්මක්‌ සිදු වෙන්නත් ඇති. ඒ කියන්නේ අද මොහුගේ තනිය මකන්නේ තනිකම වුණත්... පෙර එකදවසක කවුරුන් හෝ තනියට ඉඳලා තියෙනවා. ඒත් ඒ සතුට එක්‌ හවසක පස්‌සා දොරෙන්ම යන්න ගිහින්. දැන් ඔහුගේ සුසුම් නමැති මල් යායේ හමන්නේ බොල් ඉපනැලි සුවඳ විතරයි. තනියත් එක්‌ක මගේ හිතේ ඉපදෙන දුක නිසායි දෙනෙත් තෙත් වන්නේ.

සොබා දහමේ සත්‍ය ස්‌වභාවය ආදරයටත්, ජීවිතයටත් පොදුයි කියා කියන්නයි මම උත්සාහ කළේ. මා ලියූ ගීත අතුරින් විශේෂිත ගීයක්‌.... සපුතන්ත්‍රී සහෘද ගීත රචකයා ගීය ගැන අවසන් විග්‍රහයක්‌ කළේ සංගීතයත්, තනු නිර්මාණයත් කළ රෝහණ වීරසිංහවත් සිහිපත් කරමින්.

අජිත් අලහකෝන් - Divaina