Pages

Monday, December 19, 2022

හෙමින් සැරේ පියා විදා

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ "හංස විලක්" නොකලඹා හෙමින් සැරේ පියා විදා ගීතය පිළිබඳ වචනයකුදු කතා කළ නොහැකිය. මෙි චිත්‍රපටයත් ගීතයත් අතර ඇති අවියෝජනීය බැඳීම එතරම් ප්‍රබලය. හංස විලක් යනු ලාංකේය සිනමාව උඩුයටිකුරු කළ අග්‍රගණ්‍ය චිත්‍රපටයකි. අසූව දශකයේ නිර්මිත රොමැන්තික සලරුවක විස්මිත විස්කම රැඩිකල් සිනමා ආඛ්‍යානයකින් සුවිශද කිරීමට ධර්මසිරි බණ්ඩාරනායකයෝ මෙහිදී සමත්වූහ. මෙි වුකලි තහනම් ගහේ ගෙඩි කෑමට ගිය අනියම් පෙම් යුවළකගේ අඳුරු ජීවන ඛෙිදවාචකයයි.නිශ්සංක - සමන්ති සහ මිරැන්ඩා - ඩග්ලස් වනාහි සිවුකොන් වෘත්තාන්තයේ ප්‍රධාන පාත්‍රවර්ගයෝය. ඔවුහු කුඩා දරුවන් තිදෙනකුගේ මවුපියෝය. නිශ්සංක - මිරැන්ඩා දෙදෙනා සුතනඹුවන්, සැමියන් අතැර අසම්මත ⁣කාමරසාස්වාදයට ලොබ ලිය වඩා කැදැල්ලෙන් හිමින් සැරේ පියා විදා ගියෝය. එහෙත් මෙකී අසම්මත ප්‍රේමාස්වාදයේ සංක්‍රාන්තිය කුඩා දරුවන් දෙදෙනකුට පියා අහිමි කිරීමටත් පුංචි දියණියකට මව අහිමි කිරීමටත් සහේතුක විය.

චිත්‍රපටය ආරම්භයේදී ම නාමාවලිය සමඟ පසුබිමින් ඇසෙනුයේ ගැහැනියකගේ ශෘංගාරාත්මක විලාපයකි. එහෙත් අවසානයේදී ඇසෙනුයේ කුඩා දරුවකු හඬන ශබ්දයකි. මෙනයින් නිශ්සංක - මිරැන්ඩා අසම්මත ප්‍රේමය හේතුවෙන් කුරුලු කැදලි දෙකක් සුනුවිසිනු වී යන අයුරු ප්‍රේක්ෂකයාට පසක් වෙයි. අවසානයේදී නෛතික විවාහ බන්ධනය වින්දනය කළ අඹුසැමි යුවළක් අසම්මත ⁣කාමරසාස්වාදයක පැටලී කාමසම්භෝග සම්පර්කයට එළැඹෙති. සෙනෙහෙවන්ත සැමියකුගේ බිරියක ලෙස කල් ගෙවූ මිරැන්ඩා සැබැවින්ම නිශ්සංකට පෙම් කළාද? ආදරණීය බිරියකගේ පුංචි දරුවන් දෙදෙනකුගේත් පියකු වු නිශ්සංක සත්තකින්ම මිරැන්ඩාට ආදරය කළාද? එසේත් නැත්නම් ඔවුන් දෙදෙනාම කාමාග්නිය නිවාගන්නට ලැගුම්හලකට ගියාද? මෙි සියල්ල උභතෝකෝටිකයකි.

මෙහිදී නිශ්සංකට මෙන් නොව මිරැන්ඩාට හෘදයසාක්ෂියක් තිබිණි.තම දියණියගේ මතකයත් සැමියාගේ අහිංසකබවත් නිතර ඇගේ හෘදයසාක්ෂිය කොනහයි. එහෙත් නිශ්සංක හෘදයසාක්ෂියක් නැති නරුමයකු මෙන් හැසිරෙයි. ඔහු දිනක් මිරැන්ඩා සිය සැමියාත් දරුවාත් සමඟ ගේහසිත ප්‍රේමය විඳින දසුනක් දකියි. මෙි විස්මිත දසුන දුටු මතින් නිශ්සංක පරලවෙයි. මෙහිදී මිරැන්ඩා මරාදැමීමට තරම් ක්‍රෝධයක්, වෛරයක් ඔහුගේ සිතට නැගෙයි. ඔහුගේ මනෝභාවය අතිශය බියකරු ආස්ථානයකට පෙරළෙයි. මෙබඳු තතුවලට අප සමාජයේ වෙසෙන ලියෝ ද පිරිමි ද යන දෙගොල්ල ම ගොදුරු වෙති. ගේහසිත ප්‍රේමයේ ඇලී ගැලී කුටුමිබ රක්ෂණය වෙනුවෙන් දරදිය ඇද්දාට ඇතැමුන්ගේ ඇතුළත කැලඹිලාය. උනුන්ගේ ළබැඳියාව, අන්‍යොන්‍ය ප්‍රේමය ගිලිහුණු තැන විවාහකයෝ තහනම් ගහේ ගෙඩි කෑමට මාන බලති. ඇතමෙක් පවුල විසිරී නොදී රැකගනු වස් බැඳගත් බෙරයම ගසති. මෙහිදී දෙබිඩි ජීවිත උදාවීම ස්වාභාවික නොවෙිද?එහෙත් ඒවා සාධාරණීයකරණය කළ හැකිද?

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ කුළුඳුල් සිනමා සිත්තම හංස විලක් වූව ද එය සිංහල සිනමාවෙි එතෙක් මෙතෙක් බිහිවුණු අතිශය සිනමාරූපී රොමැන්තික සලරුවකි. එකල පෝලන්ත සිනමාකරුවන්ගේ පරපීඩන කාම (Sadism ) සිනමා දෘෂ්ටිවාද සහ ආකෘති ධර්මසිරි බණ්ඩාරනායකයෝ සෘජුවම අනුගමනය කළෝය. 1980 දශකයේ යුරෝපය පුරා කළුසුදු වර්ණ චිත්‍රපටවල නැගීමක් තිබිණි. ධර්මසිරි බණ්ඩාරනායකයෝ මෙි නව සිනමා ආඛ්‍යානය සිය සලරුව මූර්තිමත් කිරීමට යොදා ගත්හ. එහෙත් වාමාංශික දේශපාලන මතධාරියකු වූ බණ්ඩාරනායකයන් අසම්මත ලිංගික ඇසුරක් පිළිබඳ මෙබඳු සිනමා කෘතියක් නිර්මාණය කරනු ඇතැයි විචාරකයෝ පවා අපේක්ෂා නොකළෝය. මෙි ගීතයට දායකත්වය සැපයූ ප්‍රවීණ ගායන ශිල්පී ටී එම් ජයරත්න හැර අනෙක් කලාකරුවෝ සිවුදෙනාම ප්‍රබල වාමාංශික මතධාරියෝය. ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, ප්‍රේමසිරි කේමදාස, සුනිලා අබෙිසේකර පිළිබඳ දේශපාලනයෙන් විතැන් කොට කතා කළ නොහැකිය. මෙහිදී ධර්මසිරි පතිරාජයන්ගේ විශිෂ්ට ⁣ගී පද සංකල්පනාවත් ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිනාමාරූපී සංගීතයත් සිනමා කෘතියේ රූපරාමුත් අතර ඇති අවියෝජනීය බැඳීම චිත්‍රපටයේ සාර්ථකත්වයට තුඩු දී ඇතැයි නොකීම කුහකකමකි. මීට පෙර ධර්මසිරි පතිරාජගේ "බඹරු ඇවිත් " චිත්‍රපටයට පමණක් ගීතයක් ගැයු සුනිලා අබෙිසේකරගේ ශෘංගාරාත්මක හඬ පෞරුෂය ද මෙහිදී අමතක කළ නොහැකිය. ඇය හෙමින් සැරේ පියා විදා ගීතයට හඬ මාධුර්යෙන් උපරිම සාධාරණය ඉටු කරන්නීය. ටී.එමි ජයරත්නගේ කර්ණරසායන හඬ ද කේමදාසයන්ගේ සිනාමාරූපී සංගීතය ද විචිත්‍රෝපශෝභිතය.

මෙි ගීතයේ කථකාව වියවුල් මනසින් තම අසම්මත ප්‍රේමයේ රූපාන්තරණය පාපෝච්චාරණය කරන්නීය.


හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ

බඹරකු මලක මකරන්ද උරා බී මත්වී එන්නා සේ ස්ත්‍රි ශරීරය පිරිමි ඇසට රසඳුනක් වන අයුරු රචකයා ධ්වනිතාර්ථපූර්ණ අන්‍යාලාපය මුසු කාව්‍යෝක්තියෙන් ප්‍රකාශ කරයි. මෙි කථකාව සැපවත් රසවත් ඔදවත් තෙදවත් නිලපති ජීවිතයක් ගත කළ තැනැත්තියක බව ගීතයේ ස්ථායි කොටසෙන් පසක් වෙයි."සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ " යන රූපකය තුළින් ඇය සුඛාස්වාදය, සුඛවිහරණය ලබන තැනැත්තියක බව ගම්‍ය නොවෙිද? පීඩත පන්තියේ ගැහැනියකට නම් පැදුරු කඩමලු මිස විල්ලුද ඇතිරු මෙබඳු සුමුදු සයනාසන කොහින්ද? සෙනෙහෙවන්ත සැමියකුගේ බිරියක වන මෙි කථකාවගේ සිතුවිලි කුරුල්ලන් මෙන් කැදැල්ලෙන් එපිට අසම්මත පෙම්වතාගේ තුරුලට ඉගිල යයි. සැමියා සමඟ සුමුදු සයනයක සිනිදු ඇතිරිල්ලක සැතපී සිටින විටත් ඇය අනියම් ප්‍රේමයේ කාමරසාස්වාදයට ලොබ ලිය ලියලවන්නීය.


මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

මල වනාහි වර්ණ ගන්ධයෙන් සපිරි ලෝකය සුන්දර කරන සොඳුරු සංකේතාර්ථයකි. මලකට අයිති සුකුමාර, රුවනාර, මනහාර, රූබර ජීවිතයක් ඇත. එබැවින් මලක් නම් එය මලක්ම විය යුතු බව නොවේද මෙි කියන්නේ? එහෙත් මලක මහිම නොදත් බඹරු නොදුටු මල් ලොව කොහිවෙත්ද? විලක් ද එසේය. විලක් යනු දිය සිඳිගිය ජරපත් කොදෙව්වක් නොවෙි. මෙි වුකලි ඔිලූ නෙළුම්. මානෙල්, කුමුදු මලින් සුපුෂ්පිත සුගන්ධිත ස්වර්ණ හංසයන් දිය කෙළින දුටුවන් වශී කරන මන බඳින සොබා සොඳුරු රූපකයකි. මෙහි නීල ඉඳුවර යනු නිල් මහනෙලට කියන තවත් නමකි. විලක් නම් එය නීල ඉඳුවර දියෙන් ඉපදිය යතු බව රචකයා කියයි. මෙි කථකාව ධනය හිමි නිලපති කුලයෙන් මිදිී පතන්නේ කවරනම් ආස්වාදයක් ද? ඇය පතන්නේ පරම රමණීය ප්‍රේමානන්දයක් ද? එසේත් නැත්නම් අසම්මත ප්‍රේමයක කාමසම්භෝගයක් ද? ඇගේ සිතේ රජයන දෙගිඩියාව මෙි ගීතයෙන් ප්‍රකාශයට පත්වෙයි.


නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදාහැරදා පවුරු සිරියහනේ

ප්‍රේමයත් රාගයත් අතර දෝලනය වී වල්මත් වන සිත අවසානයේදී නතර වන්නේ සිහින නිම්නයකය. නිම්නය යනු කඳු දෙකක් අතර ඇති තැනිතලාවයි. මෙබඳු තැනිතලාවක සුපුෂ්පිත වන පුෂ්පය කෙතරම් සොඳුරු ද? නැවුම් හැඩ පැහැ රුවැති මෙි කුසුම වර්ණ ගන්ධගුණෝපේතව,සුපුෂ්පිත ව සුදිලේ. එහි පරමානන්දය විඳීම ලොව්තුරු සැපය නොවේද? එහෙත් අවසානයේ මෙකී අසම්මත පෙම්සුවය ඇගේ සිතට ගෙන දෙන්නේ කිසියම් වරදකාරී හැඟීමකි. සිහින් හඬකින් මහද අමතයි යනුවෙන් ඇය පවසන්නේ එනිසා නොවෙිද? දෙවැනි අන්තරා කොටසෙහි අවසන් පද දෙක ගීතයේ කූටප්‍රාප්තියයි. සිරියහනට කුමන පවුරක් ද? මෙහිදී රචකයා ව්‍යාංගාර්ථයෙන් පවසන්නේ නෛතික විවාහ බන්ධනය ඇයට රහසේ ඔච්චම් කරන බවයි. මෙි ගීතයේ සමස්තාර්ථය චිත්‍රපටයට මුසුවී ඇති හෙයින් ඇතැමි ගී පාද තුළ සංකේන්ද්‍රිත දෝංකාරය රූපරාමුවලින් තොරව විඳීමට අපහසුය. එහෙත් ඇය මුහුණපා සිටින්නී අතිශය දුෂ්කර අවස්ථාවකට නොවෙිද? අසම්මත පෙමක පැටලී ඇගේ අධ්‍යාත්මය වෙළාගෙන පවත්නා අසන්තුෂ්ටිය පශ්චාත්තාපය මෙයින් ධ්වනිත නොවේද? මෙි අසම්මත ප්‍රේම සංක්‍රාන්තියෙන් සැබැවින්ම දුක් විඳින්නෝ කවරහුද? ඔවුහු දරුවෝය.


Tuesday, October 18, 2022

විල් නෙළුමාසනෙන් ආ හසඟන (මුව මුක්තා ලතා පිපි හංසාන්ගනා - විශාරද එඩිවඩි ජයකොඩි)



විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ, ධ්වනිතාර්ථපූර්ණ, රූපකාර්ථවත් සුගේය පද සුසංයෝගයෙන් ද විශාරද එඩිවඩි ජයකොඩි සූරීන්ගේ භාවපූර්ණ හඬ මාධුර්යයෙන් ද ප්‍රවීණ සංගීතවෙිදී ආනන්ද පෙරේරාගේ මධුර මනෝහර ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මෙි අනගි ගී මිණ ශෘංගාර රසය මෙන්ම ලලනා ලාවණ්‍යලෝලය ද දල්වයි.

මෑතකදී අප අතරින් වියෝවූ ආචාර්ය අජන්තා රණසිංහයෝ මෙි මනරම් ගීමිණිරුවනෙහි ගේය කාව්‍ය සිත්තරුවෝය. අජන්තා නම ඇසූ සැණින් අප මතකයට නැගෙනුයේ ඉන්දියාවේ අජන්තා ලෙන් හා ඒවායේ ඇති මනරම් බිතුසිතුවම්ය. අජන්තා රණසිංහයන්ගේ නමත් මෙරට ගීත සාහිත බිත මත සිත්තම් කළ සදා නොමැකෙන සුන්දර සිතුවමක් වැනිය. දෙරියන්, සිවුරියන්, නවරියන් පද රචකයන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ දහඅට රියන් ගේය කාව්‍ය සිත්තරුවෙක් වූහ. ගීපද රචකයෝ හතු පිපෙන තරමට බිහිවෙති. එහෙත් සුභාවිත ගීතයට පණ පොවන වාග්චාතුර්යයෙන් පොහොණි ගේය පද සිත්තරුවෝ සුදුර්ලභයෝය. ගීතය වඩාත් භාවපූර්ණ වූ සාහිත්‍ය භාෂණයක් බවට පරිවර්තනය කරමින් දශක ගණනාවක් පුරා සිංහල සුභාවිත ගීතයට ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉටුකළ අප්‍රමාණ මෙහෙවර අමරණීය වෙති.

ගීතය වූකලි අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකි. ගේය පද රචකයකුගේ සංකල්පනාවකට සංගීතයෙන් හා ගායනයෙන් නව අර්ථකථන ද සම්පාදනය කොටගත හැකිය. එහෙත් ගීතය තුළින් අර්ථය අතික්‍රමණය කළ පුළුල් ආර්ථික, දේශපාලන හා සමාජ පැතිකඩක් නිරූපණය කිරීමෙි ශක්‍යතාව සෑම ගේය පද රචකයකුටම නැත. සරල නොගැඹුරු හරසුන් විවරණ වෙනුවට නවීන අර්ථ විවරණ සපයන හුදු ප්‍රකාශන වාගාලාප වෙනුවට සියුම් රස ජනනයට මුලපුරන සාහිත්‍ය රසයෙන් අනූන ගේය කාව්‍ය රචකයෝ ද අද විරල වෙති.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්.රත්නායක, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබෙිසේකර ආදී පුරෝගාමී සුවිශිෂ්ට ගේය කාව්‍යක්කාරයන්ගේ පෙකෙණිවැල කපාගෙන ලාංකේය ගීත කේෂ්ත්‍රයට පිළිපන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ධර්මසිරි ගමගේ, ලූෂන් බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රි, රත්න ශ්‍රී විජේසිංහ, වසන්ත කුමාර කොබවක, සුනිල් ආර්.ගමගේ, බන්දුල නානයක්කාරවසම්, බණ්ඩාර ඇහැළියගොඩ ආදීන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉහළින්ම වැජඹෙති. සිංහල ගීත වංශයේ අවිච්ඡින්නව ගලා යන ප්‍රේම ගීතාවලිය පිළිබඳ කතා කරන විට අජන්තා රණසිංහයන් අමතක කළ නොහැකිය. අජන්තා ගීතාවලිය සැබැවින්ම අනභිභවනීයය. විචිත්‍රෝපශෝභිතය. සබුද්ධිකය. ප්‍රේමයේ විරහා වෙිදනාව මෙන්ම විප්‍රලමිබ ශෘංගාරය දනවන ගීත ගොන්නක උරුමකරුවෝ ද අජන්තාවෝය.

මෙි ගීතයේ කථකයා සිය මංගල රාත්‍රියට මුහුණදී සිටියි. කාමසම්භෝග සම්පර්කයට නොතිත් ආසාවෙන් භාවලීලානු රාගයෙන් බලා සිටින ඔහු සිය මනාලියගේ රූපශෝභාව අරබයා උපන් ලෝලයත් එය පාදක කරගෙන නිපන් ශෘංගාරයත් ප්‍රකාශ කරයි. ගීතයකින් සිදුවිය යුත්තේ භාව ප්‍රකෝප කිරීම නොව භාව විකසිත කිරීමය. එහෙත් අද ඇසෙන බොහෝ ගීත තුළින් සිදුවන්නේ ජුගුප්සිත හැඟීම් ඇති කොට භාව භංග කිරීමය. අජන්තා රණසිංහයන්ගේ විශිෂ්ට පද හරඹ සහිත මෙි ගීතයේ පැදි පෙළ හැදෑරීමකින් තොරව සාමාන්‍ය රසිකයාට තේරුම්ගත නොහැකිය. අපි මුලින්ම ගීතයේ ස්ථායි කොටස දෙස අවධානය යොමු කරමු.


මුව මුක්තා ලතා පිපි හංසාන්ගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිළේ

මුතුවන් දත් දෙපළක් හිමි මෙි හසඟන පැමිණ ඇත්තේ අඟහරු ලෝකයෙන් නොව විල් නෙළුමාසනයකිනි. නෙළුමාසනය හෙවත් පද්මාසනය යනු පාරිශුද්ධත්වයේ සංකේතයකි. මෙි කාන්තාවගේ නිර්මලත්වය සුවිශද කිරීමට රචකයා එබඳු බහුඅරුත් දනවන වචන යොදාගෙන ගෙන ඇත. සාහිත්‍යයේදී ස්ත්‍රි වර්ණනයට නෙළුම් මල යොදාගැනීම ගතානුගතිකය. එහෙත් ආචාර්ය අජන්තා රණසිංහයෝ අවස්ථාවෝචිතව විවිධත්වයෙන් යුතුව නෙළුමක මහිම කාව්‍යෝක්තියට නගති. නම් සියයකින් විතර හැඳින්වෙන මෙි අරුම පුදුම පියුම පිළිබඳ මහාකවි කාලිදාසයෝ ද වර්ණනය කරති. ඔහුගේ මහාකාව්‍ය කෘති වන මෙිඝදූතය, රඝුවංශය ඊට දෙස් දෙයි. අජන්තා රණසිංහයන්ට අනුව ඇය උපන්නේ විල් නෙළුමාසනයකිනි. මෙි වූකලි නිකන්ම නිකන් හංසදෙනක නොව රන් වන් පැහැයෙන් සුදිළෙන ස්වර්ණ වර්ණ හංසදේනුවකි. මෙහිදී කථකයා ඇයට භාග්‍යා සරෝජා යනුවෙන් ද ආමන්ත්‍රණය කරයි. සකු භාෂාවෙන් නෙළුම් මලට සරෝජා යන අරුත දෙයි. මෙි වුකලි වාසනාවන්ත නෙළුමක් නොවෙිද ? සියපත, තඔර, රතුපුල්, අරවින්ද, පංකජ, යන යෙදුම් ද කවියෝ නෙළුම්මල අරුත් ගැන්වීම සඳහා යොදා ගනිති. ස්ත්‍රී සෞන්දර්ය තරම් පුරුෂයාගේ නෙත් සිත් වශී කරන මනදොළ වඩන අන්‍ය සුකුමාර සෞන්දර්යයක් මෙි විස්මිත විශ්වයේම නැත. මෙයට හේතුව ජීවවිද්‍යාත්මක යැයි ඇතමෙක් කියති. එහෙත් එය හුදෙක් ජීවවිද්‍යාත්මක කරුණක් පමණක්ම නම් කාන්තාවන්ට නෙත් සිත් වශී කරන රූපශෝභාව අවශ්‍ය නොවෙි. හුදු ස්ත්‍රිත්වය පමණක් ප්‍රමාණවත්වෙි.


මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රහසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

මෙහිදී කථකයා මනාලියට පවසන්නේ තමන්ගේ හදවත නමැති ප්‍රේමාංගණය රංජනය කරමින් ඉණ බැඳී මිණිමෙවුල තවත් කල්යල් නොබලා ගලවා දමා කාමසම්භෝගයට සුදානම් වන ලෙසයය.එපමණක් නොව රැය පහන්වන තුරුම අනුරාගය දල්වමින් නිදිවර්ජිතව කාමාස්වාදයෙන් කුල්මත් වන ලෙසටද ඔහු ඉඟි මරයි. මෙි ගීතය ශෘංගාර රසයෙන් සුපෝෂණය කිරීමට ආචාර්ය අජන්තා රණසිංහයෝ ලිංගික මෙවලමක් ( Sexual Device ) ද භාවිතයට ගනිති. මණිමේඛලාව හෙවත් පතිවත තීරය ( Chastity Belt) යනු ඉපැරැණි සමාජයේ රජ බිසවුන්, කුමාරිකාවන් ඉණට මඳක් පහළින් පැළඳි ලෝහයෙන් තැනු ආභරණයකි. කාන්තාවන් පතිවත සුරැකීමට මෙම ආභරණය භාවිත කළ බවත් එය ඉණ පැළඳි කතුන්ගේ තුනටිය මඳක් සිහින් වන බවත් පැරැන්නෝ කියති. එහෙත් යකඩයකින් තැනු මෙවලමක් රහසඟ එල්ලා සිටිමෙන් ඇතිවන පීඩාකාරී අපහසුව කාන්තාව කෙසේනම් විඳදරා ගන්නේ දැයි මම නොදනිමි. මණිමේඛලාව පිළිබඳ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ කියති. මණිමේඛලාව යනු ගැහැනුන්ගේ ඉඟටිය මඳක් සිහින්කර සුන්දරත්වය පෙන්වීම සඳහා යොදා ගන්නා ආභරණයකි. එය Griddle (දැලක් ) එකක් වැනිය. වික්‍රමසිංහයන් පවසන පරිදි ඉඟසුඟ මිටින් ගත හැකි හැඩැති රුවැති ලලනාවකට අකමැති පිරිමිහු කවරහුද ?

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

සම්භාව්‍ය සාහිත්‍ය මැනවින් ප්‍රගුණ කොට ඇති ආචාර්ය අජන්තා රණසිංහයෝ මෙහිදී අහස් ගඟක් ගැන ද වර්ණනය කරති.අහස් ගඟ යනු කුමක්ද? නිල්වන් අහස් කුස මතින් දිවෙන සුදු පැහැති ආලෝක තීරයකට පැරැන්නෝ අහස් ගඟ යැයි කීහ. හිමාලයේ අනෝතප්ත විල දකුණු දිශාව ඔබ්බෙන් අහස් ගඟ පටන් ගන්නා බව ද ඔවුහු කියති. එහි සිටින්නෝ කවරහුද? ඇතැමි පක්ෂිහු සහ දිව්‍යාංගනාවෝ අහස් ගඟට බැස දිය කෙළියේ යෙදෙති. මෙි ගීතයේ කථකයා සිය මනාලියට මධුසමය ගත කිරීමට යාමට කතා කරනුයේ මෙකී සුන්දර අහස්ගඟටය. පිරිසිදු ධවල වර්ණනයෙන් ශෝභමාන සුගන්ධවත් අහස් ගං දියේ බැබළෙන සඳවතිය නමැති නැවට ගොඩවී එහි තනිවීමට ඔහු ඇයට ඇරියුමි කරයි. මෙබඳු මනස්කාන්ත පරිසරයක තම වල්ලභයා සමඟ මංගල රාත්‍රිය ගත කිරීමට අකමැති මනාලිය කවුරුන් ද?

රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

මධුසමය නමැති සොඳුරු සුයාමය අබිමුව සිටින මෙි කථකයා සිය මනාලියගේ නවයෞවන ලලනා සෞන්දර්යයෙන් කුල්මත්වී, වල්මත්වී සිටියි. ඔහු ඇගේ තුරුණු රූසපුව වර්ණනා කරමින් චමත්කාරයෙන් ඔජ වඩයි. චමත්කාරය නම් සිත පිරී ඉතිරී යන විස්මය මුසු හැඟීමයි. මෙි විස්මයට හේතුව සරෝජාගේ අපරිමිත අභිරූපි රූපකල්‍යාණයම නොවෙිද? මනාලයා ඇගේ සුන්දර සිරුර මත සැතපීමට පවා සූදානම්. මෙි සොඳුරු කත පිරිමි මනස ආනන්දයෙන් මුසපත් කරන මන්දෝදරීයකි. මෙහිදී ආචාර්ය අජන්තා රණසිංහයෝ ප්‍රථමවරට සිංහල ගීත ශබ්ද කෝෂයට අලුත් වචනයක් ද හඳුන්වා දෙති. ඒ මන්දෝදරී නමිනි. මන්දෝදරී යනු සිහින් උදරයක් සහිත කාන්තාවයි. කෝට්ටේ විසූ මහාකවියකු වන ෂඩ්භාෂා පරමෙිශ්වර තොටගමුවෙි ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සඳසෙහි ජයවද්දන පුර වැනුමෙහි කාන්තා සිරුර මෙසේ වනති.

සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රියසක යුරු තිසරතන
දිසි රන් ලියෙව් රූසිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන තරමින් නොවෙති දෙවඟන

මෙි කවිය ලලනා වර්ණනයක් නොවූද එදා ජයවර්ධන පුර නගරයේ සුන්දරත්වය ක්‍රියාපෑමට රාහුල හිමියෝ රූපකල්‍යාණියකගේ සුන්දර සිරුර උපහැරණයට ගත්හ. එබඳු අසාමාන්‍ය නාරිසෞන්දර්යය කවි ඇසින් කලා නෙතින් දැක්ම මනසානන්දනීය නොවෙිද?

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

ගීතයේ අවසාන අන්තරා කොටසෙන් කථකයා ඇයට මියුරු මියැසිය නගන සුමිහිරි ගීතයක් ගැයුමට ද ආයාචනා කරයි. සූර්යයා උදාවීමට පෙර රැය පහන් වනතුරු ප්‍රේමයෙන් රාගයෙන් මුසපත්වීමට නොවෙිද මෙි ඇරියුම? නිදිවර්ජිත ⁣මෙි රාත්‍රිය තවත් දිගුවී හිරු නොපායන ලෙස ද ඔහු අයදියි. මෙි ගීතයේ අන්තිම පැදි පෙළ ද අතිරමණීය වෙයි.

ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

මෙි පද ගීතයේ හද මෙනි. මෙහිදී කථකයා විචිකිච්ඡාවෙන් පවසන්නේ ඇගේ අඩසඳ සදිසි නළල්තලයේ රුව වඩවා දිදුළන සඳුන් තිලකය තම දෙතොලේ චුම්බන පහසින් මුවමීවලින් සේදී මැකී යාමට ඉඩ ඇති බවයි. මෙි කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ අතිවිශිෂ්ට පද සංයෝජනය ද විශාරද එඩිවඩි ජයකොඩිගේ භාවපූර්ණ හඬ මාධුර්ය ද ආනන්ද පෙරේරාගේ නාද සංයෝජනය ද සමග්‍රව සුසැදි මෙිගීමිණ කාමීජනහද අමන්දානන්දයට පත්කරයි.

Tuesday, October 04, 2022

අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා


විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප

නීතිඥ රජී වසන්ත වෙල්ගමයන්ගේ ඉසියුම්වූත් ඉගැඹුරුවූත් සුගේය පද සුසංයෝගයෙන් ද ප්‍රතිභාපූර්ණ තරුණ සංගීතවෙිදී දර්ශන රුවන් දිසානායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ යතිවර හඬ මාධුර්යෙන් ද සුවිභූෂිත වූ මෙි ගී මිණ අසාහය ගල් වඩුවකුගේ මාහැඟි නිමැවුමක විස්මිත බව මෙන්ම මානවබන්ධුත්වය පිළිබඳ හැඟීම් දනවයි.

ගේය පදගත බස ද ස්වර රචනය ද ගායනය ද අතිවිශිෂ්ට සමායෝජනයකට එළැඹි මෙි තරමි පරිසමාප්ත මනරම් ගී මිණිරුවනක් මෑතකාලයේදී මම නොදිටිමි. මානව ජීවිතය වනාහි මෙලොව පවත්නා උදාරතම වස්තුව යි යන්න සමඟ එකඟ නොවන්නෝ කවරහුද?⁣ සුභාවිත ගීතය අභාවිතයට මෙන්ම අවභාවිතයට යන වකවානුවක මෙබඳු ගී මිණක් හමුවීම මොනතරම් භාග්‍යයක් ද? අද්‍යතන සිංහල ගී කෙතේ පඳුරු ලලා වැඩෙන වල්පැළ අතර කිරිවැදුණු රන් වී කරලක් දැකීම නෙතට උළෙලක් නොවෙිද? වත්මන් තරුණ පරපුරට පෙර පරපුරෙන් නැගෙන චෝදනාවලට නීතිඥ රජි වසන්ත වෙල්ගමයෝ මෙි ගීතය හරහා නිසි පිළිතුරක් සපයති. සාහිත්‍යය,සංගීතය, ගායනය මනාව කැටිවුණු මෙි ගී මිණ ධ්වනිතාර්ථපූර්ණය.

රසාලිප්තය.මනෝරංජනය.

මෙි වුකලි කලාව වෙනුවෙන් උදාර පරමාර්ථයකට ඇප කැපවී සිටින තවත් සාම්ප්‍රදායික දුප්පත් අහිංසක කලාකරුවකුගේ ජීවන ඛෙිදවාචකයයි. මෙබඳු සාමිප්‍රදායික කලාකරුවෝ අවවරප්‍රසාදිතයෝය.ඔවුහු වියත් කලාවෙි නිරතවූ රජවරුන්, පඬිවරුන්, යතිවරුන් මෙන් රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් වරදාන, වරප්‍රසාද ගරුබුහුමන් නොලැබු අහිංසක දුප්පත් සාමිප්‍රදායික කලාකරුවෝය. විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදෙමින් පීඩත පන්තියේ පහළ අඩියේ ජීවත්වූ ඔවුහු සිය කලා මාධ්‍යයෙහි අතීත නිර්මිත සත්සම්ප්‍රදාය ආරක්ෂා කළෝය. ඔවුහු අනවරතයන්ම සිය කලාවෙි ජීවගුණය,උදාරත්වය නොනසා රැකගැනීමට සමත් වූහ. ලෝකයේ විශිෂ්ට කලාකරුවන් හැමවිටම තම පරමාර්ථය ලෙස අවධාරණය කර ඇත්තේ කලාවෙන් තමා ලබන අධ්‍යාත්මික වින්දනයමයි. ඔවුනට මූලික වූයේ මුදල නොව කලාවය. කලාකරුවා කලා නිර්මාණ නිපදවන්නේ තමාගේ යුගයේ බලපවත්වන ප්‍රතිගාමී දෘෂ්ටිවාද බිඳ හෙළීමටය. දෘෂ්ටිවාදී සිපිරිගෙදරින් ජනතාව මුදාගැනීමටය.එහෙත් අද රටෙි හැමතැනම සිටිනුයේ ගුත්තිල කාව්‍යයේ එන මූසිලලා වැනි ධන තෘෂ්ණාවෙන් වෙළෙඳ වසල කුලයට මුක්කු ගසන අවස්ථාවාදී කලාකරුවෝය. ඔවුහු සරස්වතිය ගණිකා වෘත්තියේ යොදවමින් ලක්ෂමිය තුරුලට ගනිති.

ගුත්තිල කාව්‍ය නිර්මාණය කරමින් වෑත්තෑවෙි හිමියෝ ව්‍යාජ කලාකරුවාගේ වෙස් මුහුණ ගලවා දැමූහ.මුදල නමැති යක්ෂයා මූසිලගේ ඉවසීම පලවා හැරියේය. මූසිලට වීණා වාදනය හැදෑරීම සඳහා කුසලතාවත් ආසාවත් උනන්දුවත් තිබිණ. එහෙත් ඔහුගේ මූලික අභිප්‍රාය වූයේ මුදල් ඉපයීමටය. මූසිල හොඳ වීණා වාදකයකු වීමට වඩා මුදල් උපයන්නකු වීමට ආසා කළේය. බරණැස් නුවර හොඳ වෙළෙඳ වටිනාකමක් ඇති සරුබිමක් වූ නිසා ඔහු එහි පැළපදියම් වූයේය. මූසිලගේ පරම පරමාර්ථය වූයේ ධනෝපායනයයි. ඔහුගේ කූට අභිප්‍රාය වූයේ ශිල්ප ශාස්ත්‍රය මැනවින් දත් ගුත්තිල පඬිවරයා අල්ලාගෙන වීණා වාදනය ප්‍රගුණ කොට ප්‍රදේශයේ ධනකුවෙිරයන් දිනාගැනීමය. මූසිල ශිල්පය වෙනුවෙන් කැපවුණු කලාකරුවකු නොවූයේ ද මෙි නිසාය.කලාකරුවාට ජීවිත්වීම සඳහා මුදල් අවශ්‍යය. එහෙත් ඔහු කිසිදු මොහොතක සිය ප්‍රතිභාව වෙන්දේසි නොකළ යුතුය. කලාකරුවාගේ මූලික අභිප්‍රාය විය යුත්තේ මුදල් ඉපයීම නොව කලාවයි. මුදල ද්විතීයික අරමුණ විය යුතුය.එහෙත් එබඳු කලාකරුවෝ දුර්ලභයෝය. මෙි ගීතයේ කථකයා ද එබඳු සුදුර්ලභ කලාකරුවෙකි.

ව්‍යවහාරික කලා අතර ඉපැරැණිම සම්ප්‍රදාය වනුයේ සිතුවම් හා සුරුවම් කලාවය. රළු බිතක, පාෂාණයක නන් විසිතුරු ලාක්ෂාවෙන් සිතුවම් මැවූ සිත්තරුන්ගේ ගල් වඩුවන්ගේ දස්කම් විස්කම් සීගිරියෙන්, තිවංක පිළිම ගෙයින්, සමාධි බුදු පිළිමයෙන් අපි දකින්නෙමු. අනුරාධපුරයේ කලාවැව අබියස තිබෙන අවුකන බුදු පිළිමය ද එබඳු විස්මකර්ම⁣යකුගේ දෑතින් නිමැවුණු සුරුවමකි. ධාතුසේන රජ සමයේ නිර්මාණය කළා යැයි පැවසෙන අවුකන පිළිමය භරණ නමැති ගල් වඩුවකු විසින් තැනූ විස්මිත සුරුවමකැයි ඉතිහාසඥයෝ කියති. අනුරාධපුරය වූකලි සිංහලයන් දීර්ඝතම කාලයක් අපරාජිතව වැජඹුණු රාජධානියයි. මෙි ශුද්ධ නගරයේ ජීවත්වන්නෝ බෞද්ධයෝය. ආගම යනු පීඩිත මිනිසාගේ සුසුමය. පීඩතයන්ගේ හදවතක් නැති ලෝකයේ හදවතය.එමෙන්ම ආගම යනු අබිං යැයි ද වරක් ජර්මානු දාර්ශනික කාල් මාක්ස් කීවේය.

මෙනයින් ආගමෙි පැටලීගත් කාව්‍ය, ගීත, සංගීත, චිත්‍ර මූර්ති ආදී අගනා කලා කෘති රාශියක් ඇත.එකී කලා කෘති නිපදවූවෝ අහිංසක දුප්පත් සාමිප්‍රදායික අව්‍යාජ කලාකරුවෝය. ඔවුහු නිරාමිස ප්‍රේමයෙන් නිස්සරණාධ්‍යාශයෙන් මෙි දස්කම් විස්කම් ලොවට දායාද කළහ. එහෙත් අප්‍රතිහත ධෛර්යෙන්, භක්තියෙන්, කැපවීමෙන් කළ එ් කිසිදු කලා නිමැවුමක ඔවුනගේ වතගොත හාංකවිසියක් නැත. ඒ සියල්ලට අයිතිවාසිකම් කියමින් බැබළෙන්නෝ රාජරාජ මහාමාත්‍යාදීහුය.ඔවුන්ගේ නම ගියේය. කලාකරුවන්ගේ හම ගියේය. මෙි වූකලි ව්‍යවහාරික කලාව පෝෂණය කළ දුප්පත් අහිංසක ගල් වඩුවකුගේ අඳුරු ජීවන අන්දරයයි. ගල් වඩුවෝ රළුපරළු පාෂාණ ගල් කටුවෙන් ඔප දමා නන්විධ පිළිම කැටයම් නිමවති.එහෙත් සිතේ සමාධිය නොබිඳමින් මෙි නිමැවුමි කළ යුතුය. ඔවුන්ගේ නිර්මාණ විශිෂ්ටත්වයට පත්වනුයේ ඊට අයත් සම්ප්‍රදායේ නියාම ධර්මවලට අනුගතවුහොත් පමණි.

මෙිතරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

ගල් වඩුවා කළුගලක නෙළා ඇති සියුම් සිත්තම් දුටු මතින් රජි වෙල්ගම කවියාගේ සිතෙහි කුකුසක් පැන නගී.පාෂාණයක මෙතරමි සියුමැලි මල්කම් ලියකම් කළ හැකි දැයි ඔහු අසයි. මෙතරමි මනරම් විස්කම් කළ මිනිසා කෙරෙහි ඔහු තුළ අසීමිත ගෞරවාදරයක් උපදියි. අවසානයේ තම සිතෙහි ලොබලිය වැඩු මෙි අහිංසක දුප්පත් සාමිප්‍රදායික කලාකරුවා සොයායෑමෙි නොතිත් අාසාවක් කවියා තුළ උපදියි .

මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

මෙි ගීතය කන වැකුණු සැණින් කේෂත්‍රයේ ඇතැමි ප්‍රවීණයෝ බුදුන්ට දෑස් දිය හැකි ජගතා කවුරුන් දැයි ඇසූහ. ඊර්ෂ්‍යා පරවශභාවයෙන් මඬින ලද ඇතැමි කූපමණ්ඩුක කුහකයෝ ක්ෂෙත්‍රයට පිළපන් නවකයාට ගර්හා කළහ. එහෙත් මෙි ගීමිණ ඒ සියලු අභියෝග ජයගෙන සුභාවිත ගී ⁣අඔර එකලු කළේය. අංගුලිමාල, නාලගිරි, නන්දෝපනන්ද, ආලවක, තීර්තක ආදීන් දමනය කළ බුදුන් රදුන්ගේ දෑස් පාෂාණමය අනුරුවකට නැගීම විස්මිත පෙළහරකි. අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා යනුවෙන් කවියා අතිප්‍රබල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ද බෞද්ධ සාහිත්‍යයේම මෙි පිළිබඳ විවිධ කතා පුවත් ඇත.දෑස්දීම යන පද සංඝට්නාව බහුඅරුත් දනවන සුලුය. වරක් සුබා තෙරණිය කෝක නම් වූ වැද්දකුට සිය නෙත් සඟල උදුරා දුන්නීය. එයින් වැද්දා තමා කළ අනුවණකම ගැන පශ්චාත්පයට පත්වූයේය. මෙයින් ගම්‍යවනුයේ වැද්දාගේ ඇස් පෑදීමට සුබා තෙරණිය සරණ වූ බව නොවෙිද? දෑස්දීම යනුවෙන් අදහස් කරනුයේ ජීවිතාවබෝධය පිළිබඳ සංඥාර්ථයකි. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන ශිල්පියා හුදු පූර්ව කෘතියක පිටපතක් නෙළන්නකුට වඩා බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදාය නැණසින් දැක එය ප්‍රතිනිර්මාණය කරන්නෙකි. මෙනයින් බුද්ධ ප්‍රතිමා නෙළීම යනු බුදුන් මනසින් මවාගෙන ඊට සමවැදී කරනු ලබන භාවනායෝගී ව්‍යායාමයකි. මෙි ගීතයේ කථකයා ද එබඳු කලා ශිල්පියෙකි.

⁣කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙි කථකයා දුප්පත් අහිංසක අව්‍යාජ කලාකරුවෙකි.මෙයින් සංඥාර්ථ ගන්වන්නේ ඔහු තුළ ඇති අල්පේච්ඡතාවයි. දුගියෝ කවදත් අල්පේච්ඡ ජීවන ශෛලියකට අනුගතවූවෝය. ලෞකික සැප සම්පතින් ඈත් කරන ලද පන්ති සමාජය ඊට දෙස් දෙයි. කලා වැව ඉස්මත්තේ කටුමැටි නිවෙසක වෙසෙන මේ අසාහය කලාකරුවා සැඳෑඳුරත් කැටුව විත් කඩමලු පන් පැදුරක දිග ඇදී ගත සිත විඩාව නිවා ගනී. තනිකඩ ජීවිතයට හුරුවුණු ඔහුගේ විඩාබර සිරුරේ කකියන වෙිදනාව කාටනම් කියන්නද?⁣ තෙල් සාත්තු සප්පායම් කරන්නට කෙනකු නොමැති කල ඔහු සිය ගත සිත වෙිදනා සංතාප තනියම පිරිමැද ගන්නා බව නොවෙද මෙි කියන්නෙ?


රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙි වූකලි මොනතරම් රමණීය කාව්‍යෝක්තියක්ද? උත්පාද ඨිතී භංග යන දහම් පාඨය මැරෙන ඉපදෙන රළ යන යෙදුම ඇසෙන සැණින් සිහියට නැගෙයි. මෙි කථකයා අනිමිස ලෝචනයෙන් බලා සිටිනුයේ කලා වැව් දියමත නැඟී බිඳී යන රළ දෙසය. කලාකරුවාගේ මුළු ජීවිතයම ආගම දහමට නැඹුරුවී පේවි ඇති බව ඉන් තව දුරටත් සුවිශද වෙයි. ඔහු හිස් දියඹෙි රළට සිත්දී කල් මරයි. සංසාරයේ අනිත්‍ය බව මෙනෙහි කරයි. සැබෑ කලාකරුවෝ හැමවිටම සිය නිර්මාණ තුළින් ආත්මතෘප්තිය ලබති. ඔවුහු ලෞකික සැප සම්පත් හඹා නොයති.

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූවිට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා

ඉසුරුමුණියේ පෙම් යුවළ භාවලීලා රසික හදවත් තුළ ශෘංගාර හැඟීම්, කමාස්වාදය ජනනය කරති. නරඹන්නෝ ඊට ලොබ බඳිති. ඔවුහු දිවියේ සොඳුරු තැන් සංස්පර්ශ කරමින් ඔද වැඩෙති. එහෙත් මෙි කථකයා ඒ සොඳුරු දිවි තතුවලින් විනිර්මුක්ව තනිකඩ දිවිපෙවෙතක් ගත කරයි. ඔහු සියලු ජීවන ලාලසා මඬිමින් අඳුර රජයන පාළුපැලේ හුදෙකලා අවනඩුවක පැටලී සිටියි. ඉසුරුමුණියේ සුන්දර පෙම් යුවළක් තැනූ ඔහුට ගේහසිත ප්‍රේමය පවා අහිමිය. සුතනඹුවන් නොමැති නිවෙස හිස් පාළු සොහොන් පිටියකි. කලාව වෙනුවෙන් මුළුමහත් ජීවිතයම කැපකළ මෙබඳු අසාහය නිර්මාණකරුවන්ගේ භාවනායෝගී ජීවිත කවදත් වීතරාගීය. ඔවුහු ගේහසිත ප්‍රේමයට ලොබලිය නොබඳිති. මෙි ගීතයෙන් අවුකන බුදු පිළිමය තැනූ නිර්මාණකරුවාගේ ප්‍රතිභා ප්‍රභා සුවිශද කරමින් රජි වෙල්ගම කවියා සිංහල බසෙහි සිරි විසිතුරු රැකීමට ද උත්සුකවෙයි. සක්ක පද අමුණමින් හරසුන් ගීත ලියන අැතැමුන්ට මෙය අතුල් පහරකි.. මෙබඳු සංවෙිදි කලාකරුවන් නොතකමින් ඇතැමි දේශපාලන අඳබාලයෝ අදටත් ඔවුනගේ නිර්මාණ කොල්ලකමින් සාක්කු පුරවාගෙන ප්‍රදර්ශන කාමයේ නිරතවෙති. එබඳු කලා විහීනයන්ට මෙි ගීතයෙන් රජී වෙල්ගමයෝ ප්‍රබල කනේ පහරක් ද එල්ල කරති.

Tuesday, September 27, 2022

වෘන්දා වනේ සැඟවුණු ගොපලු ආදර අන්දරය



විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද විශාරද නන්දා මාලනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සංගා⁣යනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වර සංරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මේ මහඟු ගී මිණ කෙරෙන් විප්‍රලම්බ ශෘංගාරයේ තරම මොනවට සුපැහැදිලි වෙයි.

ප්‍රේමය බිඳ වැටෙන කල්හි ඇති වන සංවේගය එය ඉපදී වැඩි එන කල්හි ජනනය වන ප්‍රහර්ෂය තරම්ම බලවත්ය. සොබාදහම ද මානව සමාජයේ ද බලපාන චලන නියාම ධර්මයට, විපරිණාමයට ගෝචර නොවන කිසිදු දෙයක් මේ මිහිපිට තිබේද? ප්‍රේමයට පමණක් වෙසෙසි වෙනත් ඉරණමක් ද මෙලොව නැත.ලෝකය ගෝලාකාරය. මිනිසුන් විවිධාකාරය. ජීවිතය පුදුමාකාරය. ප්‍රේමය විසමාකාරය. මේ නියාම ධර්මයට අනුව සමාජය චලනය වෙයි. වෙනස් වෙයි. දුෂ්ට වෙයි. ප්‍රචණ්ඩ වෙයි. එහෙයින් මිනිස්සු ද වෙනස් වෙති. ප්‍රේමය යනු මිනිසුන් දෙදෙනකු අතර ඇති වන ළෙන්ගතු බැඳීමක් විනා අන් කුමක්ද? පෙම් බැඳුම් හට ගනී. බොහෝ පෙම් පලහිලව් ඉක්මනින් හෝ කල්ගත වී හෝ බිඳී යයි. එහෙත් උනුන් අතර සුඛප්‍රහර්ෂයෙන් ගෙවුණු මතකය සදා අමරණීය නොවේද?

රාධා - ක්‍රිෂ්ණා පෙම් යුවළ අපට හමුවන්නේ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දයේදීය. යමුනා ගං තීරය යනු රාධා - ක්‍රිෂ්ණා පෙම්වතුන් යුවළ නුගිනුරා ප්‍රේමයෙන් වශී වී කෙළිදෙලෙන් වාසය කළ ස්ථානයයි.එහිදී ඔවුහු අපරිමිත ප්‍රේමයෙන් ආලෝලනය වී අන්ධ වී කාමසම්භෝගයේ පවා යෙදුණහ. මේ ගීතයේ එන පරිසර වැනුම් හා කාව්‍යමය යෙදුම් රාධා තුළ බිඳී ගිය ප්‍රේම විජිතය යළි ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට පවත්නා අභිලාෂයේ සුන්දරත්වය හඟවයි. මේ වූකලි කාමසම්භෝගය ඉල්ලා නඟන රාවයක් වැනිය.

ශ්‍රී කෘෂ්ණ හෙවත් ක්‍රිෂ්ණා යනු කවුරුන්ද? ඔහු විෂ්ණු දෙවියන්ගේ අවතාරයකි. හින්දු පුරාණෝක්තිවලට අනුව විෂ්ණු යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්මටත් ධර්මය රැකීමටත් අඳමිටුවන් විනාශ කිරීමටත් නේක වේශයෙන් විෂ්ණු ලොව පහළ වන බවට හින්දු භක්තිකයෝ විශ්වාස කරති. මහභාරතයේ සඳහන්ව ඇත්තේ ද එසේය.

විෂ්ණුට අවතාර නවයකි. මත්ස්‍ය, කුර්ම(ඉදිඹු), වරහා(ඌරු) නරසිංහ, මානව, පරශුනම, රාම, කෘෂ්ණ, බුද්ධ යන අවතාර නවයකින් විෂ්ණු ලොව පහළ වූ බවත් කල්කි නම් වේශයෙන් අනාගතයේ පහළ වන බවත් කියති.

මේ අවතාර අතරින් වඩාත් ජනප්‍රිය වූයේ රාමා සහ ක්‍රිෂ්ණාය. ක්‍රි.පූ තුන්වැනි සියවසේදී වාල්මිකී නමැති ඉසිවරයා රාමා චරිතය ඇසුරින් රාමායණය නම් වූ අතිශය ජනප්‍රිය ප්‍රබන්ධය රචනා කළේය. ක්‍රිෂ්ණා වඩාත් ජනප්‍රිය වූයේ ඔහුගේ ආදරවන්තිය වන රාධා නමැති රූමත් ගෝපිකාව නිසාය. ගොපල්ලකු සහ ගෝපිකාවක වන ක්‍රිෂ්ණා - රාධා පෙම් යුවළ කුඩා කල පටන් හැදී වැඩුණේ වෘන්දා වනය හෙවත් හිමාලය ආසන්නයේ ගමකය. ක්‍රිෂ්ණා කාල වර්ණය. එහෙත් රූපශ්‍රීයෙන් අගතැන්පත්ය. වෘන්දා වනගැබ අසල ගෝපිකාවෝ ක්‍රිෂ්ණාට වශී වී සිටියහ. ක්‍රිෂ්ණාගේ රූපයත් නුවණත් ශක්තියත් වෘන්දා වනය සිසාරා ගොපලු ගම් දනව් අතර පැතිර ගියේය. බටනළා වාදනයට ද එකසේ දස්කම් විස්කම් පෑ ක්‍රිෂ්ණා කතුන්ගේ සිත් වශී කරන ඉන්ද්‍රජාලිකයෙක් ද වූයේය. ගෝපිකාවෝ ඔහුගේ වස්දඬු රාවය නොඅසා රාත්‍රි නින්දට නොගියහ. ගමේ ගෝපිකාවෝ මෙන්ම වැන්දඹු කාමිනියෝ ක්‍රිෂ්ණාගේ හදවත දිනාගැනීමට පොරකෑහ. රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය ශෝකාන්තයක් වූවද ඒ ඇසුරින් සාහිත්‍යකරුවෝ විවිධ නිමැවුම් කළෝය. ඇතමෙක් කවි, ගීත ලියූහ. තවත් අයෙක් චිත්‍ර ,මූර්ති කලා කැටයම් කළහ. ඔවුහු රාධා - ක්‍රිෂ්ණා ලෝකයේ අමරණීය පෙමි යුවළක් බවට පත් කළහ.

ක්‍රිෂ්ණාට තිබුණේ සල්ලාල ජීවිතයකි. රාධාගෙන් පමණක් සෑහීමට පත් නොවූ ඔහු වෙනත් ගෝපිකාවන් සමඟ රැය පහන් කළේය. ක්‍රිෂ්ණාගේ අනග රැඟුම් නොඉවසූ රාධා අවසානයේ ඔහු අත හැරියාය. එහෙත් ඇය ඔහුට දිවිහිමියෙන් පෙම් කළාය. ඔහු සමඟ ගෙවූ සුමිහිරි අතීත මතකය සිතේ ගුලිකර ගෙන පෙම් නටබුන් අතර අතරමං වී දුක් වින්දාය.

මේ ගීතයට බිඳී ගිය ප්‍රේම වෘත්තාන්තයක් ගෝචර වෙයි. එයින් හටගත් ඉමහත් සෝ තැවුලින් තැවෙන පෙම්වතිය තම හෘදයාභ්‍යන්තරයට ඔහුගේ ප්‍රේමාගමනය පතා සිටින්නීය. මහැදුරු සුනිල් ආරියරත්නයෝ මේ ගීතයෙන් ප්‍රේමපරවශ ලිය සිතක ජීවන ලාලසාව රාගී හැඟීම් මහෝඝයකින් කොනහති. අතීතයේදී ක්‍රිෂ්ණා සමඟ යමුනා ගංතෙර අසබඩ විඳපු කාමාරසාස්වාදය රාධාට යළි සිහිවෙයි. ඒ සොඳුරු සුයාමය පිළිබඳ තවමත් ඇගේ සිතෙහි ලොබලිය ලියලවයි.

යමුනා ගංතෙර
තමලු ලතා සෙවණේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලා හිඳී
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

මේ ගීතයේ ස්ථායි කොටසෙන් රාධා ජීවත්වන පරිසරය පිළිබඳ යම් ඉඟියක් සපයයි. යමුනා ගඟ අසබඩ හිමාලයට ආසන්නයේ තාමලි නමින් ලස්සන මල් වැල් වර්ගයක් සුපුෂ්පිත වන බවත් ඒවා අව් රශ්මියෙන් වසන්වීමට සෙවණ සදන බවත් කියති. මේ මල් වැල් ආරක්කු පෙළක් මෙන් වනාන්තරය අලංකාර කරයි. මෙහි යොහොඹු කුසුම් යහනක් ඇති බව ද මහැදුරු ආරියරත්නයෝ කියති. යොහොඹු කුසුම් යනු අසෝක මල්ය. අසෝක මල් දසත සුගන්ධය පතුරවමින් පලසක් මෙන් බිම වැතිරී සිටී. කවියා එය යහනක් කොට දකී. රාධා මෙකී අසෝක මල් ඇතිරු යහනට වී අපේක්ෂා දල්වමින් බලා සිටිනුයේ ක්‍රිෂ්ණා යළි එනතුරුය. එහෙත් ගෝපි ලියන් සමඟ අනාචාරයේ ගිය ක්‍රිෂ්ණා යළි ඒවිද?

තාමලි, යොහොඹු වැනි පියුමිවල වර්ණ - ගන්ධ - ගුණ සම්පත්තිය කෙතරම් විභූතිමත්ද? රාධාගේ අනුරාගික හැඟීම් විරහා වේදනා සුසුම් ප්‍රේමයේ ප්‍රීති ප්‍රමෝද උද්දාමය කිරීමට මේ සංකේතාර්ථ, උපමා රූපක මොනතරම් ඖචිත්‍ය දැයි නොකියමනාය. ඔවුන් සිප වැළඳගෙන පෙම් සුව විඳි යොහොඹු කුසුම් යහන අද පාළුය. එහි සිටිනුයේ රාධා පමණි. පෙම් සැඩ සුළඟේ විසුළ අසෝක මල් පෙති ඇයට ඔච්චම් කරයි. අතීත මතකාවර්ජනයෙන් ඔද්දල් වී ඇය සිතින් වැලපෙන්නීය. එහෙත් ඇගේ සිත පෙර සැමරුම් පටුවත දිගේ ගමන් කරයි.

නළලත බබළන සඳන තලාවයි
සිරුරත ගන නිල් මේඝ වලාවයි
මානස විල මැද රණ තිසරානෙණි
වෘන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

කාලවර්ණ දේහයකට හිමිකම් කීව ද ක්‍රිෂ්ණා කඩවසම්ය. ඔහුගේ නළල අඩසඳ මෙන් බබළයි. එහෙත් මෙහිදී කවියා ඔහුගේ කළු පැහැති සිරුර ගන නිල් මේඝ වලාවකට සම කරයි. සාහිත්‍යයේදී කළු පාට වරණවත් කිරීමට විවිධ වර්ණ යොදයි. සාහිත්‍යකරුවෝ ඊට කාලවර්ණ, නීලවර්ණ ආදී නම් දෙති. විභීෂණ දෙවියන්, නීල මහ යෝධයා වැනි ප්‍රකට චරිත ද කළු පැහැතිය. මෙහිදී මහැදුරු සුනිල් ආරියරත්නයන් ක්‍රිෂ්ණාගේ සිරුර ගන නිල් ⁣මේඝ වලාවකට සම කරන්නේ ඒ අරුතිනි.

මානස විල මැද රණ තිසරානෙණි
වෘන්දා වනයේ වසන්තයයි

මානස විල යනු හිමලයේ ඇතැයි කියන ප්‍රසිද්ධ විලකි. ඇතමෙක් එය මනඃකල්පිත විලක් යැයි ද කියති. ප්‍රේමසිරි කේමදාස ගාන්ධර්වයෝ මානස විල නමින් සංගීත ඔපෙරාවක් ද කළහ. සාහිත්‍යකරුවෝ ද මානස විල, වෘන්දා වනය, ගැන නිතර ඔජ වඩති. ඒවා ඉන්දියාව තරම්ම ජනප්‍රියය. රාධාට අනුව මේ මානස විල මැද සිටිනුයේ රන් පැහැති හංසයෙකි. ඒ හංසයා අන් කවුරුවත් නොව ක්‍රිෂ්ණාය. වෘන්දා වනය යනු හිමාලයයි. රාධාට අනුව හිමාලයට වසන්තය උදව් ඇත. ගහකොළ මලින් බරවී ඇළදොළ වැව් ගංගා පිරී ඉතිරී යන වසන්ත සමයට වඩා සුදුසු කාලයක් කාමසම්භෝගයට තිබේ දැයි රාධා අසන්නීය.

මලයගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොනරානෙණි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

මලයගිර යනු හිමාල කන්දයි. ඈත පිළිරැව් දෙන්නෙ ක්‍රිෂ්ණාගේ මධුර මනෝහර වස්දඬු රාවයයි. එපමණක් නොව එහි විවිධ අලංකාර කනට මීබිඳු වෑහෙන ගීත පවා ඇසෙයි. තුන් ලෝක⁣යේම දෙවියන් විවේක සුවයෙන් ආරක්ෂා කරන මෙබඳු හෝරාවක් වටිනුයේ සොඳුරු සුයාමයකට විනා අන් කවරකට දැයි රාධා අසන්නීය. රාධා ජීවත් වනුයේ හිමාල අඩවියේ වනලැහැබකය. මේ වනාන්තරය වෙන්වන රේඛාවේ ඉන්නෙ කවුරුන්ද? ඒ වෙන කවුරුවත් නොව කෘෂ්ණ නම් රණ මොනරාය. ඇය එහිදී ක්‍රිෂ්ණා රන් පැහැති මොනරකුට සම කරන්නීය. තරු එළියකුදු නොමැති මේ රාත්‍රිය කාමසම්භෝගයට සුදුසු නොවේ දැයි රාධා පුන පුනා අසන්නීය. මේ වූකලි සිංහල ගීත වංශය බබළවන තවත් මහඟු ගී මිණක් නොවේද?