නෙළාගනු බැඳි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ...
වැහි පබළු යට රගමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රගහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ...
වඩින තුරු සද දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ...
ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන
ඇසෙන්නේ අප්‍රමාණ මිහිරකි. ඒ මිහිර උපදවනා සුසංයෝගයේ අරුමය විටෙක අප මවිත කරවයි. සිංහල ගේය සාහිත්‍යයේ අප්‍රමාණ සලකුණ වූ පණ්‌ඩිත් අමරදේවයෝ වෙණ නද සරි ස්‌වකීය මියුරුසර පුබුදුවා ලති. ඒ උමාරියා නම් යොවුන් ගායිකාව සමඟය. මුලින්ම මේ සුගායන සංයෝගය පිළිබද යමක් ලියා තබනු වටී.
අමරදේවයන් ඇසුරු කිරීම, ඔවුන් හා ගැයුමක් ගැයීම, ඔවුන් වෙත තනුවක් නිර්මාණය කිරීම, ඔවුන් වෙනුවෙන් පද පෙළක් ලිවීම මේ රටේ ගී කව් රස විඳිනා ඒ ඇසුරෙහි නිර්මාණකරණයේ යෙදෙනා සෑම සහෘදයෙකුගේම සිsහිනයකි. එවන් වූ අමරදේවයෝ නූතන ගී ගැයුම් රැල්ලේ පා වී එන උමාරියා නම් යොවුන් ගායිකාවගේ ප්‍රතිභාව පිළිබද පමණක් සලකා, අතිශය මියුරු ස්‌වර රටා තුළ සුසර වන මහා බරසාර පද පෙළක් ඇය හා ගැයුමට එක්‌වෙති. පණ්‌ඩිත් අමරදේවයන් විෂයෙහි අප තුළ අප්‍රමාණ ගෞරවනීය හැගීමක් උපදවන්නේ මේ ප්‍රවේශය ය. අපේ නිර්මාණ සාහිත්‍යයේ යුගපුරුෂයෙක් ලෙස සම්භාවනාවට ලක්‌වන ජීවමාන මහා ගාන්ධර්වයා වූ හේ ප්‍රකට කරනා මේ ප්‍රගතිගාමී චින්තන විලාසය, එහි ගැබ්වී ඇති ගැඹුර ඇත්තේ අපටත් වටහා ගත නොහැකි දුරකය.
අනෙක් පසින් ස්‌වකීය ප්‍රමාණය හඳුනනා තරුණ නිර්මාණකරුවෝ යම් නිර්මාණයක් සදහා අමරදේවයන් හා එක්‌වීමට ලද අවස්‌ථාව ස්‌වකීය නිර්මාණ ජීවිතයේ ලද අපමණ වු භාග්‍යයක් කොට සලකති. උමාරියා නම් යොවුන් ගායිකාව එය ගනු ඇත්තේ කෙසේදැයි යන්න පිළිබදව අපට වැටහීමක් නොවේ. එහෙත් උත්පත්තියෙන් ලද දුලන ප්‍රතිභාවේ යහ භාවිතය පිළිබද මුල්ම උත්කෘෂ්ට අත්දැකීම ඇය ලබා ඇත්තේ අමරදේවයන් හා ගැයූ මේ ගැයුමෙන් බව අපගේ හැගීමය. ඒ ගැයුම එපමණම රමණීයය. සහෘද රසවතුන් ආනන්දයෙන් පුරවා ලන්නේය.
මේ පද පෙළ ජානක සිරිවර්ධන නමැති කාව්‍යක්‌කාර රසවතාගේය. ඔහු තරම් සුකර ලෙස මානව සම්බන්ධතාවන්හි ගැබ් වූ අතිශය සියුම් වූත් ගැඹුරු වූත් විචිත්‍රත්වය රසාලිප්ත පදපෙළකට හසුකරගන්නා කවියෙක් අපේ කාලයේදී හමුවේ නම් ඒ ඉතා විරලවය.
ජානක සිරිවර්ධනයෝ කවියෙක් වූ මියුරු කතාකාරයෙකි. විටෙක හේ අපේ මියුරුම කතාකාරයා වන්නේය. මලී, අත්තම්මා වැනි රටක් රසවත් කළ දීර්ඝ රෑපවාහිනී මාලා නාටකයන්හි නිෂ්පාදකවරයා ඔහුය. මේ වෘත්තීය කතාකරුවාගේ විචිත්‍රත්වය වනුයේ ගීයක පදපෙළක් නිර්මාණය කිරීමෙහිද ද ඊට පාදක වන කතාවක් සොයා යැමය. ඒ ඇසුරෙහි චිත්ත රූප මැවීමය. ඒ මියුරු කතාවේ මානුෂික සංවේදනයන්හි චමත්කාරය උකහාගෙන රූපවාහිනි මාලා නාට්‍යාවලියකින් කිවයුතු කතාවක් අතිශය දැනුවත් භාවයකින් තෝරාගත් පද තුළ ගැබ් කර කාව්‍යයක් නිර්මාණය කිරීමය. "හන්තාන හීනේ" පද පෙළෙහි යටිපෙළේ ගැබ් කළ එවැනි විචිත්‍ර කතාවක් තිබේ. ජානක සිරිවර්ධනයෝම ඒ රසපූර්ණ කතාව අපට කියති.
"අමරදේවයන් වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්නට හැකිවීම අතිශය භාග්‍යයක්. අමරදේවයන්ගේ ඉල්ලීම මත ඔහු වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්නට ඉඩ ලැබීම සැබෑ ලෙසම අප්‍රමාණ භාග්‍යයක්. අරුණ ගුණවර්ධන කියන මා කල්‍යාණ මිත්‍ර යොවුන් සංගීතඥයා මාර්ගයෙන් මේ යෝජනාව මා වෙත එනවා. අමරදේවයන් ප්‍රාර්ථනා කරන්නේ නව ගී පද රචකයෙක්, ප්‍රභාන්විත යොවුන් සංගීතඥයෙක් හා ගායිකාවක් සමග එක්‌ව ජව සම්පන්න නිර්මාණ කාර්යයක යෙදීම. යුග ගීතයේ ගායිකාව ලෙස අප යෝජනා කළේ උමාරියා නැමැති යොවුන් ගායිකාව. "
"දැන් ඔබට වැටහෙනවා ඇති මේ අභියෝගයේ ප්‍රමාණය. අමරදේවයන් වැනි යුගයක් නිර්මාණය කළ මිනිසෙක් සමග නව පරපුර බද්ධ කරනා නිර්මාණයක් කිරීම ඉතාම වගකීම් සහගත භාරදූර කාර්යයක්. වැරදුනොත් එය නිවැරදි කළ නොහැකි වරදක්. මේ හේතුව නිසාම මාත් අරුණත් එක්‌ව දින ගණනක් නිදි වරාගෙන මේ ගීයට තේමාවක් සෙව්වා. එය සාම්ප්‍රදායික තාත්තා හා දුව අතර වන සංවාදයක් නොවිය යුතුයි. ගුරු ගෝල සබදතාවක් නොවිය යුතුයි. මේ සංවාදයේදී තමයි හන්තාන හීනයට තේමාව වන නිමිත්ත හමුවන්නෙ.
"පසුබිම පේරාදෙණිය සරසවිය. යුගය සිංහල නාට්‍ය කලාව, සාහිත්‍ය කලාව, පේරාදෙණිය සරසවි බිම ඇසුරෙහි උත්කර්ෂයට නැංවෙන හැටේ දශකයෙ අග භාගය. එය හන්තානය මෙන්ම පේරාදෙණිය සරසවියෙ _වලත්" ප්‍රේමාන්විත යෞවන යෞවනියන්ගෙ හැගීම් හා සංවාදයේ යෙදුනු කාලයක්. මේ කාලයේදී සරසවියට එන සාහිත කලාවන් පරිශීලනය කළ තරුණ සිසුවියක් ඒ වනවිට මැදිවියත් ඉක්‌මවමින් සිටිනා යුගයේ ප්‍රභාෂ්වර සාහිත්‍යක්‌කාර සරසවි ඇදුරුවරයා පිළිබද ප්‍රේමයෙන් වෙළෙනවා. ඒ මොහොත වනවිට සිය විවාහ දිවියෙන් පැරද සිටිනා මේ ඇදුරිඳු හා තරුණ සිසුවිය අතර උපදින සංවාදය තමයි මේ පදපෙළට නිමිත්ත වන්නෙ." ජානක සිරිවර්ධනයන් කියන්නේය.
පද පෙළෙහි වන විචිත්‍රත්වය සියක් වරක් තීව්‍ර වන්නේ මේ කතා නිමිත්ත හෙළිවන විටය. නව යෞවනියගේ ප්‍රේaමාන්විත ආයාචනය ඇසේ. ඇය සිය හදවතේ ඇදගත් මහා පුqරුෂයා දකින්නේ නෙළාගනු නොහැකි සිහිනය ලෙසය. හන්තානයේ පිsපුණ සිහිනය ලෙසය. ජීවිතාවබෝධය රහිත මේ ප්‍රේමාන්විත යුවතියගේ ආයාචනය ඇදුරිඳු ඉවසන්නේ උපේක්‌ෂාවෙනි. හෙතෙම ඇයට ප්‍රේමයේ වේදනාවෙන් උපන් කඳුළින් යථාවබෝධය උපදවාගෙන ජීවිතය ගෙත්තම් කරගන්නා ආකාරය පහදයි.
එහෙත් ඒ ගැඹුර වටහා ගන්නට මේ ප්‍රේමනීය යුවතිය නොපෙළඹෙන්නීය. ඇය ජීවත්වන්නේ මිණි මිණි පොදෙහි තෙමෙමින් දුහුල් මලින් ගැවසි පේරාදෙණිය සරසවියේ එළිමහන් රගමඩල මත ඔහුගේ දෑතේ උණුහුමට තුරුලු වීමේ සිහිනය තුළය. ඒ සිහිනයේ මිහිර වියපත් ඇදුරිඳුගේ චිත්තයෙහි ආලෝක පුංජයක් දල්වයි. මේ මොහොත වනවිට ඔහු සිය පියඹගෙන් වෙන්වීමේ කම්පනයෙන් මිදී නැත. බිසෝතෙම වැදි රජ හා පලාගිය මොහොතේ සිට අඳුරු වූ රගහල වැනි සිය අඳුරු හදගැබ තුළට නොවඩින්නට ඔහු ඇය පොළඹවයි.
එහෙත් ඇය තරුවක් වූ ඔහුගෙන් පෙම් ගී අසමින් අමාවක ඝන"ඳුරේ ගිලීs ඔහු හදවතට සද වඩිනතුරු ඉන්නට ප්‍රාර්ථනා කරයි. මේ ප්‍රේමාන්විත සංවාදය කෙළවර ඇදුරුතෙම සද දිය සදිසි ඒ ප්‍රේමයේ ගිලී කිමිදී යයි. හේ ඇයට ඒ මොහොතේ මුල්ම වරට සොඳුරිය ලෙස අමතනු ඇසේ.
මේ මියුරු සංවාදය සදහා උපයුක්‌ත වහර සුගමය. ඉන් තරුණියගේ මෙන්ම ඇදුරිඳුගේ ජීවිත දැක්‌මෙහි වෙනස චිත්‍රණය කෙරෙන්නේය. ඒ භාවිතය තුළම කාව්‍යයක වන ගැඹුරු මිහිර උපදින්නේය.
මේ සොඳුරු කව භාවපූර්ණ ගීයක් වන්නේ අරුණ ගුණවර්ධනයන්ගේ මියුරු සංගීත සංයෝජනය තුළය. වෘත්තීය සංගීතවේදියෙක් නොවන, සහෘදයෙක් ලෙස ස්‌වකීය තෘප්තිය උදෙසා සංගීතකරණයේ යෙදෙන අරුණ ගුණවර්ධන නමැති මේ යොවුන් සංගීතඥයා පදපෙළෙහි භාවයන් උද්දීපනය කරමින් මවනා සංගීත පෙළහරෙහි මුසපත් වන පණ්‌ඩිත් අමරදේවයන් ගයන ගැයුම අසන අප තුළ අප්‍රමාණ හැගීම් උපදවන්නේය.
එවිට අප ජීවත්වන මේ යුගය නොසිස් බව දැනෙන්නේය. ඉන් උපදිනා ආනන්දය ජීවිතය එක් මොහොතකට හෝ පුරවාලන්නේය.
ජාලිය Divaina