Pages

Sunday, June 01, 2014

සියෑටල් ගැන කතා නොකර කතා කළ නොහැකි ජාත්‍යන්තර පරිසර දිනය

ඇමරිගෝ වෙස්‌පුචි විසින් ඇමරිකාව සොයා ගැනීමෙන් පසු ඇමරිකා මහාද්වීපය යුරෝපීයයන්ගේ ක්‌ෂේම භූමිය විය. මෙම යුගයේදී යුරෝපීයයන් මෙහි ජීවත් වන රතු ඉන්දියානුවන් මරා දමමින් ඔවුන් සතු ඉඩම් කොල්ලකෑහ. නිරන්තරව මෙම කණ්‌ඩායම් දෙක අතර ගැටුම් ඇති වුණ අතර නිතරම රතු ඉන්දියානුවන් පසු බසින්නට වූහ.

මේ අතර 1854 වසරේදී ඇමරිකානු ජනාධිපතිව සිටි ප්‍ර්‍රEන්ක්‌ලින් පියර්ස්‌ විසින් රතු ඉන්දීය නායක සියෑටල් වෙත ලිපියක්‌ යවන ලදී. එම ලිපියෙහි සඳහන් වූයේ රතු ඉන්දියන්වරුන්ගේ ඉඩම් ඇමරිකානුවන්ට විකුණන ලෙස සහ ඔවුන්ට ඒ වෙනුවට ඉඩම් ලබා දෙන බවත්ය. සියෑටල් මේ වෙනුවෙන් ඇමරිකානු ජනාධිපතිට යවන ලද ලිපිය සියෑටල් ප්‍රකාශය ලෙස හඳුන්වන අතර වසර සිය ගණනක්‌ පැරණි මෙම ප්‍රකාශය සියෑටල් ප්‍රකාශය නම් වන අතර එය නොමැතිව ජාත්‍යන්තර පරිසර දිනය ගැන කතා නොකරන තරම් මෙය අදටත් වැදගත් වී ඇත.

වොෂිsංටන් නුවර ඉන්න මහ ලොක්‌කා අපේ ඉඩම් a මිලයට ගන්න සතුටුයි කියලා දන්වලා එවලා තියෙනවා. ඒක බොහොම කරුණාවන්ත ක්‍රියාවක්‌.... අපේ යාළු කමෙන් උන්නැහේට වැඩක්‌ නැති වුණත් අපි ඔබේ යෝජනාව සලකා බලනවා. මොකද අපි විකුණුවේ නැත්නම් මිනිහා ඇවිත් තුවක්‌කුවෙන් අපේ ඉඩම් මිලදී ගන්නා බව අපි දන්නවා.

අහස, මහ පොළව, එහි උණුසුම මිලයට ගන්නේවත් විකුණන්නේවත් කොහොමද ? ඒක අපිට නුහුරුයි. වාතයේ තියෙන නැවුම් බව, ජලයේ තිබෙන දිදුලන ගතිය අපිට අයිති නැත්නම් ඒවා මිලයට ගන්නේ කොහොමද?

මහ පොළවේ කොටසක්‌ම මගේ ජනතාවට අති පාරිශුද්ධයි. මගේ ජනතාව හැම දිලිහෙන පයින්කූරක්‌ම, හැම වැලි වෙරළක්‌ම, අන්ධකාර වනාන්තරයේ හැම මීදුම් පටලයක්‌ම, හැම එලිමහනක්‌ම, රුං රුං ගාගෙන එන හැම මැසි මදුරුවෙක්‌ම සිහිපත් කරන්නේ, අත්දැක තිබෙන්නේ අති පාරිශුද්ධ හැටියටයි. ගස්‌ මතින් ගලා යන යුෂ මගින් ගෙන යන්නේ රතු මිනිහාගේ මතක සටහන්ය. සුදු මිනිහාගේ මළවුන් අතර තරු අතර හැසිරෙන්න ගියාම උන්ට අපේ උපන් බිම අමතක වෙනවා. මේ ලස්‌සන පොළව රතු මිනිහාගේ මාතාව නිසා අපේ මළවුන්ට ඒ පොළව අමතක වෙන්නේ නැහැ. අපි පොළවේ කොටසක්‌... පොළව අපේ කොටසක්‌... සුවඳ කැවුණ මල් අපේ සහෝදරියෝ. ගල්කුළු, තණ බිමේ යුෂ, අශ්ව නාම්බගේ ඇඟේ උණුසුම, මිනිහා කෝකත් එකම පවුලට අයිතියි.

ඉතින් වොෂිංටනයේ ඉන්න මහ ලොක්‌කා අපේ ඉඩම් මිලයට ගන්න කැමැත්තෙන් ඉන්නවයි කියලා කියන කොට අපෙන් ඉල්ලන්නෙ දෙන්ඩ බැරි දෙයක්‌. මහ ලොක්‌කා දන්වලා එවලා තියෙනවා අපට සුව පහසුව ජීවත් වෙන්න අපිට වෙන් කරපු තැනක්‌ දෙනවා කියලා... උක්‌නැහේ අපිට තාත්තෙක්‌ වෙනවාලු... අපි උන්නැහේගේ දරුවොලු... ඒ හින්දා අපේ ඉඩම් මිලයට ගන්න කරපු යෝජනාව සලකා බලමු. හැබැයි ඒක ලේසි පහසු වැඩක්‌ නෙවෙයි. මොකද කියනවා නම් මේ භූමිය අපිට ශුද්ධ භුමියක්‌.

ඇළ දොළවල ගලා බසින්නේ නිකම් වතුර නොවේ. ඒ අපේ මුතුන් මිත්තන්ගේ ලේ. අපි තමුන්නාන්සේට ඉඩම් වික්‌කොත් ඒ ඉඩම් අති පාරිශුද්ධයි කියන එක තමුන්නාන්සේ මතක තබා ගන්න වෙනවා. තමුන්නාන්සේගේ දරුවන්ටත් මේ ඉඩම් පාරිශුද්ධ බව කියලා දෙන්න.

පැහැදිලි ජලයේ පිළිබිඹු වී පෙනෙන හැම ඡායාවකින්ම පෙනෙන්නේ මගේ ජනතාවගේ ජීවිතයේ ඒ ඒ සිද්ධීන්. ජලය මුමුණන විට ඇහෙන්නේ මගේ අප්පච්චිගේත් අප්පච්චිගේ කටහඬයි. ගංගා අපේ සහෝදරයෝ. අපේ පිපාසය නිවන්නෙ ගංගාවන්. ගංගාවන් අපේ ඔරු ගෙනියනවා. අපේ දරුවන්ට කන්න දෙන්නේ අපි.... අපේ ඉඩම් තමුන්නාන්සේට වික්‌කොත් තමුන්නාන්සේගෙ දුවා දරුවන්ටත් උගන්වා දෙන්න වුවමනා වෙන්නේ මේ ටිකයි. ගංගාවන් අපෙත් තමුන්නාන්සේලාගෙත් සහෝදරයෝ.

උදා හිරු ළඟා වන විට, මීදුම බහින විට රතු මිනිහාත් සුදු මිනිහා ඉදිරියේ පසු බැස්‌සා. ඒත් අපේ මුතුන් මිත්තන්ගේ අළු අපට පාරිශුද්ධයි. ඒ ගොල්ලන්ගේ සොහොන් යුද්ධ භූමි. සුදු මිනිහා රාත්‍රියේ ඇවිත් තමන්ට අවශ්‍ය දේ පොළවෙන් ලබා ගන්න ආගන්තුකයෙක්‌ නිසා ඒ මිනිහට කොයි භූමියත් එකයි. පොළව එයාගේ සහෝදරයෙක්‌ නෙවෙයි. සතුරෙක්‌ එක තැනක ජයගත්තායින් පසුව තවත් තැනකට යනවා. එයා යන්නේ මුතුන් මිත්තන්ගේ සොහොන් අත හැරලා. කිසිම කැක්‌කුමක්‌ නැහැ. එයා එයාගේ මෑණියන් වහන්සේ වන මහ පොළවත් එයාගේ සහෝදරයා වන ආකාසයත් සලකන්නේ බැටළුවන් වගේ. එහෙමත් නැත්නම් දිලිසෙන පබළු වගේ සල්ලිවලට ගත්තත්, පැහැර ගත්තත්, විකුණන්න පුලුවන් දෙයක්‌ විදිහටයි. ඒ කෑදරකම මහ පොළව ගිලගෙන කාන්තාරයක්‌ ඉතුරු කර දෙයි. සර සර හඬ මම දන්නේ නැහැ. අපේ ගති සිරිත් තමුන්නාන්සේලාගේ සිරිත්වලට වඩා වෙනස්‌. තමුන්නාන්සේලාගේ නගර දැක්‌කාම රතු මිනිසුන්ගේ ඇස්‌වලට කඳුළු නැගෙනවා. සමහර විට රතු මිනිහා ම්ලේච්ඡයෙක්‌ නිසා ඔය දේ නොතේරෙන නිසා වෙන්නැති. සුදු මිනිහගේ නගරවලට නිස්‌කලංක තැනැක්‌ නැහැ. වසන්ත කාලෙ ගස්‌වල කොළ දිග ඇරෙන සද්දෙට සතුන්ගේ සර සර සද්දෙට කන්දී ගෙන ඉන්න ඉඩක්‌ නැහැ. මම ම්ලේච්ඡයෙක්‌ නිසා මට මේක නොතේරෙනවා වෙන්නැති. ගෝසාව මට දැනෙන්නේ කනට නිග්‍රහ කරනවා වගෙයි.

උළලේනිගේ වැළපුම් හඬකටවත්, විල වටා නැගෙන ගෙම්බන්ගේ වාද විවාදවලවටත් රෑ කාලේ ඇහුම්කන් දීගෙන ඉන්න බැරි මිනිහාගේ ජිවිතේ ඵලය කුමක්‌ද? මම රතු මිනිහෙක්‌. මට තේරෙන්නේ නැහැ. විල් ජලය පිසගෙන හමන සුළඟේ නාදයට. දහවල් වැස්‌සෙන් පිරිසිදු වුණ එසේත් නැත්නම්, පයිනොන් පයින් සුවඳින් සුවඳවත් වුණ ඒ සුළඟේ සුවඳටත් රතු ඉන්දියානු මිනිහා ප්‍රිs්‍රය කරනවා. රතු මිනිහට වාතය බොහොම ප්‍රියයි. හැම දෙයක්‌ම ගහ කොළ, වන මෘග, මනුෂ්‍ය හැමෝම හුස්‌ම ගන්නේ එකම වාතය. සුදු මිනිහාට මේ ගැන දැනුමක්‌ නැතුවා වගෙයි. දවස්‌ ගණනක්‌ තිස්‌සේ පණ අදින මිනිහෙක්‌ වගේ එයාට ගඳ සුවඳ තේරෙන්නේ නැහැ.

හැබැයි.... අපි අපේ ඉඩම් තමුන්නාන්සේට වික්‌කොත්, වාතය අපි බොහොම අගය කරන දෙයක්‌ බවත් ඒකෙන් අපේ පණ රැකෙන හැම දෙයක්‌ සමගම ඒ ජීව වායුව බෙදා ගෙන සිටින බව අමතක කරන්න නරකයි. අපේ මුත්තාට මුලින්ම හුස්‌ම දුන්නු සුළඟ තමයි අද උන්දැගේ අන්තිම හුස්‌ම භාර ගන්නෙත්. අපේ දරුවන්ට ඒ ජීව වායුව සුළඟෙන් ලැබෙන්න ඕන. ඒ වගේම අපේ ඉඩම් වික්‌කොත්, ඒවා වෙන් කරල ශුද්ධ භූමි හැටියට තණ බිමෙන් සුවඳ වුණ පවන් සුවඳ විඳින්නට සුදු මිනිහට ගිය හැකි තැන් විදිහට තියාගන්න ඕන.

ඉතින්....අපේ මිලයට ගන්න කරපු ඉල්ලීම ගැන අපි සලකා බලන්නම්. ඒ ඉල්ලීම පිළිගන්න අපි තීරණය කළොත් එක කොන්දේසියක්‌ පනවන්න අවශ්‍යයි. සුදු මිනිහා මේ භුමියේ ඉන්න සත්තු තමන්ගේ සහෝදරයෝ විදිහට සලකන්න වෙනවා. මම නම් ම්ලේච්ඡයෙක්‌. ඒ හින්දා මට නම් තේරෙන්නේ නැහැ. කෝච්චියක යන ගමන් සුදු මිනිහා මරා දැමූ දහස්‌ ගණනක්‌ මීමුන්ගේ මළ සිරරු තණ බිම්වල මං දැකලා තියෙනවා. අපිට ජීවත් වෙන්න වුවමනා නිසාම විතරක්‌ අපි මරණ මීමුන්ට වඩා ඔබට යකඩ ගොඩ වැදගත් වෙන්නේ කොහොමද?

අපි අපේ දරුවන්ට ඉගැන්නුවා වගේම තමුන්නාන්සේලාත් දරුවන්ට කියා දෙන්න.. පොළව අපේ මෑණියන්. පොළවට යමක්‌ සිද්ධ වුණොත් පොළවෙනුත් ඒ දෙයම සිද්ධ වෙනවා. පොළවට කෙළ ගහන මිනිස්‌සු තමන්ටත් කෙළ ගහ ගන්නවා. පොළව මිනිහට අයිති නැහැ ඒත් මිනිහා පොළවට අයිතියි. හැම දෙයක්‌ම එකිනෙකට සම්බන්ධයි. පොළවට යමක්‌ වුණොත් පොළවෙනුත් ඒ දෙයම සිද්ධ වෙනවා. ජීවිතය කියන දැල වියෑව්වේ මිනිහා නෙවෙයි. මිනිහා ඒ දැලේ එක නූල් පොටක්‌ විතරයි. මිනිහා දැලට කරන දේ තමාටම කර ගන්න දෙයක්‌. අයිතිය කොහොම වුණත් අපේ අයට තමුන්නාන්සේ වෙන් කරලා තිබෙන වාසභූමියට යන්න කියන ඉල්ලීම අපි සලකා බලනවා. අපි වෙන්වී සාමයෙන් ජීවත් වෙන්නම්. අපේ ඉතිරි කාලේ කොහේ ගෙව්වත් වෙනසක්‌ නැහැ.

තමන්ගේ අප්පච්චිලා පරාජයෙන් දණ ඇණ හිටි විදිහ අපේ දරුවො දැක තිබෙනවා. පැරදුනාම අපේ රණශූරයෝ ලැ-ජාවට පත් වුණා. දැන් ඒ උදවිය කාලය කකා දවස ගෙවනවා. අපේ ජීවිතයේ ඉතුරු දවස්‌ හේමන්ත සෘතු කිපයක්‌ වේවි. තමුන්නාන්සේලා වගේම බලවත්, තමුන්නාන්සේලාට වගේම බලාපොරොත්තු තිබුණ ජනතාවකගේ සොහොන් මත වැළපෙන්න මේ පොළවේ කලක්‌ සැරි සැරූ ඒ ගෝත්‍රවල දරුවෝ කිසිවෙක්‌ ඉන්නේ නැති වේවි. අපි එක දෙයක්‌ දන්නවා. අපේ දෙවියන්වහන්සේත් සුදු මිනිහාගේ දෙවියන් වහන්සේත් එකයි. උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේම දෙවියන්වහන්සේයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ රතු මිනිහාට, සුදු මිනිහාට කියලා වෙනසක්‌ නැහැ...

පුන්‍යා චාන්දනී ද සිල්වා - Sunday Divaina