මම පරක් තෙරක් නොපෙනෙන ආකාසය දෙස බලා සිටින්නෙමි. සිත් ගැඹුරේ හටගත් ශෝකී සිතිවිලි සයුර පාළු අහස් ගැබ පුරා විසිරී නින්නාද වෙයි. දුර ඈත අහසේ දිලෙන තනි තරුව ඒ සිතිවිලි සයුරේ සුසුම් රාවය තම ළතෙත් හදවතෙන් උරා ගනී. තරුව අයිති අහසට ය. තරුව දිලෙන්නේ ද අහස නිසා ය. මේ තනි තරුව සමඟ කතා කරන්නේ මා පමණ ද? තනි තරුව පෙනෙන්නේ මට පමණ ද?
එක ම අහස්තලය යට, එක ම මිහිතලය මත සිටිය ද අප සිටින්නේ කෙතරම් නම් දුරකින් ද? අමරදේවයන්ගේ මියුරු හඬ හද නිවාලමින් ඈතින් නාද සිත්තමක් ව ගලා එනු ඇසේ. සේකරයෝ ගිනිගෙන දැවෙන හද මතු නොව හුදකලාව විසින් ගිනි තබන හිත ද අමාවැස්සකින් සනහා ලනු දැනෙත්.
පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුවෙ පැතුම ඇයයි
ශෝකය රසයක් ද? ම සිත විමසයි. මම නොවහෙළා පිළිතුරු දෙමි. ඔව්. ශෝකය රසයක් මැයි. ප්‍රේමයේ වියෝව රසයක් ද? සෞන්දර්යයෙන් මත් වූ සිතකට ප්‍රේමයේ වියෝව ශෝකී රසයකි. ප්‍රේමය යනු කවර නම් හැඟීමකැයි කිව හැක්කේ කාටද? මේ ලොව බොහෝ කලාකරුවෝ තම ප්‍රේම වියෝව අනෙකාට සෞන්දර්යයක් බවට පත් කිරීමට අනන්ත අප්‍රමාණ දුක් ගත්හ. මහෝඝයක් තරම් වූ ස්නේහය ශෝකී හුයක් කොට සිත් පත්ලෙහි දිලෙන කඳුළු ගංගාවක් බවට පත් කරමින් පේ‍්‍රමය සදාකාලික කළ කලාකරවෝ බොහෝ වෙත්? සදාකාලික ප්‍රේමයක සිහිවටනයක් ලෙසින් ටජ්මහල් තනන්නෝ මෙන් ම අහස මත දිලෙන තනි තරුව සමඟ හදවතින් අමතන්නෝ ද මේ විශ්වයේ එක ම ශෝකී රාවයක කොටස්කරුවෝ නොවෙත් ද?
’අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා’ යැයි ලියූ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ම ‘පේමතී ජායතී සෝකෝ’ නමින් ශෝකී රසය හදවතට ළං කරති. ප්‍රේමයේ අපූර්වත්වය සුන්දර වියමනක් ව හදවත විටෙක සනසමින්, විටෙක නළවමින්, තවත් විටෙක හඬවමින් ඔහු ගලා යන්නට සලස්වන්නේ ‘මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ කෘති යුගලෙනි. නොරිකෝ හා දෙවොන්දරා සං ගේ ප්‍රේම අසපුවේ චාරිකාවක නිමග්න වන අපි ප්‍රේමයේ නෙක මනෝභාව ඉදිරියේ පුදුමයට පත් නොවන්නේ ද? ඉදින් ප්‍රේමය අරුමයක් නොවේද?
”ඔහු මා වැලඳ ගන්නේ මඳ අස්වැසිල්ලකින් තමා කෙරෙන් වියෝ වී යන කෙනකු අවසාන වරට ළයෙහි හොවා සිප ගන්නා කලක මෙනි. ඔහුගේ ආදරය කාමදේවයාගේ පුදසුන අබියස හඬ නඟා කරන අයැදුමක් වැන්න. මොහොතින් මොහොත ගතවී යන සෞන්දර්යයක් සදහට රස විඳීම සඳහා හද පිරි සන්තාපයෙන් යුතු ව බැඳ තබා ගැනීමට කරන ලද වෑයමක් වැන්න. ගඳින් මලින් කරන වතක් පිළිවෙතක් සේ මගේ සිතට හෝ කයට නිගා නොකරන්නකි”
ප්‍රේමයේ ශෝකය හදවත පත්ලේ නින්නාද වෙද්දී ම එහි වන අපූර්ව සුවය නොරිකෝ අත්විඳියි. කණවේර ජාතකයේ සඳහන් ගණිකාව එක්තරා සොරකුට පෙම් කරයි. සොරා ඇගේ ගෙල මිරිකා අභරණ ද රැගෙන පලා යයි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ‘විලාසිනියකගේ ප්‍රේමය’ කෘතියෙන් ගණිකාවගේ ප්‍රේමයේ පෘථුල බව අවධාරණය කරයි. සොරාගේ අධමකම ඔහුගේ සිතිවිලි රැහැනට නතු නොවේ. සෞන්දර්යයවාදීන්ගේ පේ‍්‍රමයේ විශ්වීය ගුණය එයයි. විශ්ව සාහිත්‍යයේ ද එවන් අපූර්ව කැපකිරීම් නොතිබේද? රෝමියෝ ජුලියට් එවන් භාව අප වෙත තිළිණ කළා නොවේද?
ප්‍රේමය සුවයක් ද? ම සිත පැනයක් නඟයි. මම කැඩපත දෙස බලන්නෙමි. නෙත් ගැඹුරේ ලියැවී ඇති අව්‍යාජ සිතිවිල්ල මට පිළිතුරක් සපයයි. සිත නිවන ප්‍රේමය සුවයක් ම ය. තමා හැරදමා රහසේ නික්ම ගිය තම ස්වාමිපුරුෂයා ගැන සිහි කරමින් යශෝදරාව කවි පබඳියි. ඒ සිත නිවූ ප්‍රේමයක් වෙනුවෙනි.
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා....
ප්‍රේමයේ සදාතනික පරිත්‍යාගය එය නොවේ ද? එහෙත් එතරම් පරිත්‍යාගශීලී විය හැක්කේ කාටද? අසූ කෙළක් ධනැති සිටුලියක වූ පටාචාරා මෙහෙකාර තරුණයකු සමඟ සැඟව ගියා ය. ස්වර්ණතිලකාට පෙම් කළ උද්දාල බමුණා මට සිහිපත් වේ. රස බොජුන්, සැප සයන අතහැර සිංහයකුට පෙම්බැඳි සුප්පාදේවිය... විවාහයෙන් තොර ප්‍රේමයක් ගැන පැනයක් අප ඉදිරියේ ඉතිරිකර අපෙන් සමුගත් කරුණාසේන ජයලතුන් ද සිහිපත් වේ. දම්මි, සුගත්ගෙන් අසන පැනය ඔබ ඔබෙන් අසා තිබේද? ඒ පැනය මම මගෙන් අසන වාරයක් පාසා මගේ සිත අවිනිශ්චිත භාවයකින් වෙළී යයි. ප්‍රේමය යනු ජීවිතය නොවේද? එයට අයිතිවාසිකම් අවැසිද? ඔව්, සහ නැත යන පිළිතුරු දෙක ම ම සිත ඉදිරියේ රඟ දෙයි. ඉදින් ඒ ගැන සිතීම අතහැර ප්‍රේමයෙන් සිත පුරවා ගැනීම ම ඒ පැනයට පිළිතුරක් නොවේදැයි සිතෙයි.
මම යළිත් තනි තරුව දෙස බලා සිටියෙමි.
වික්ටර් රත්නායකයන්ගේ මධුර හඬ රමණීය ආයාචනයක් බවට පත් ව ඈත අහසෙන් කෙමෙන් ඇසෙන්නට වෙයි.
සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියේ
අනිකකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි
මහ වන පියෙසක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි
හිරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරවෙයි මා හද....
ආදරයේ සංකීරණත්වය යළිත් මහද පාරවයි. ප්‍රේමය නිසා ශෝකය උපදිනා බැව් බුදුහු වදාළහ. බුදු වදනේ සර්වකාලීන, සර්වභෞමික බව කෙතරම් ද? බණ්ඩාර විජේතුංගයන් මේ ස්පර්ශ කරන්නේ ප්‍රේමයේ අති සංකීර්ණතලය නොවේද? තම ප්‍රියාවිය කිසිදු ඇසකට තබා සොබාදහමේ සොඳුරු නෙත් පහසට හෝ ලක්වීම මේ පෙම්වතා නොඉවසයි. හිරු එළිය, සඳකැන් මතු නොව මදනල කෙරෙහි ද පෙම්වතා නොරිසි වෙයි. ලෝක ස්වභාවය ඉදිරියේ සැලෙන පෙම්වතා ‘බොමින් මී රිසිසේ බමර සුපුල් පියුම්හි’ යැයි කවියන් විසින් පවසන වදන් ගැන සිහිපත් කරයි. ආදරයේ ආත්මාර්ථය ද, ඊර්ෂ්‍යාව ද, තමන් සතු කරගැන්මේ දෘඩතර ආශාව ද විසින් කලතන ලද පෙම්වතාගේ මනෝභාව පහදාලීමට වචනවලට නොහැකි ය. ආදරය ඇත්තේ වචනවලට ඔබ්බෙනි.
ආදරයෙහි සහ නිහඬතාවයෙහි ඇති ගැඹුර වටහාගැන්මට ඔබට හැකිද? ආදරය මෙන් ම නිහඬ බව ද මැන බැලිය හැකි මිම්මක් නොවේ.
මුළු මහත් අහස්තලය ම ගැඹුරු නිහඬතාවක ගිලී තිබේ. තනි තරුව පමණක් මේ හුදෙකලා රාත්‍රියේ මගේ හදවතට කොඳුරනු ඇසේ.
මා දෙස බලා සිටින්නේ ඔබ පමණක් නොවේ....
ඉදින් මා හුදෙකලා වන්නේ කෙසේද?
Silumina -