නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා
සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා
මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූසිරි කුමට ද
හද දුටු ජනපද කලණ නිසා
පද රචනය, සංගීතය සහ ගායනය
සෝමතිලක ජයමහ
සංගීතය හා ගායනය එකම පුද්ගලයා අතින් නිමැවෙන අවස්ථා සිංහල ගීතය තුළ හමුවන්නේ ඉතා කලාතුරකිනි. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ෂර්ලි වෛජයන්ත ආදීන්ගේ නිර්මාණ තුළ මේ තත්ත්වය කලාතුරකින් දක්නට හැකිය. මේ අතර සෝමතිලක ජයමහ නම් වූ ගාන්ධර්වයාට හිමිවන්නේ සුවිශේෂත්වයකි. අප අතර කීර්තියට පත්වූ ගී නිර්මාණ කීපයකම මේ ත්‍රිපුද්ගල සංයෝගය සෝමතිලක ජයමහ නම් වූ කලාකරුවා අතින්ම සම්පූර්ණ වී තිබේ. කාව්‍යක්කාරයෙකු, සංගීතඥයෙකු මෙන්ම මධුර හඬකට හිමිකම් කියමින් සුගායනයේ යෙදීමේ හැකියාව වූ කලී කෙනකුට කලාතුරකින් දායාද වන භාග්‍යයකි.
එක්තරා විරෝධාකල්ප නිර්මාණයක් ලෙස සැලකිය හැකි මේ නිර්මාණයට පසුබිම් වන්නේ සද්ධර්මරත්නාවලියේ හමුවන නන්ද තෙරුන්ගේ වස්තුවයි.