විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ "හංස විලක්" නොකලඹා හෙමින් සැරේ පියා විදා ගීතය පිළිබඳ වචනයකුදු කතා කළ නොහැකිය. මෙි චිත්‍රපටයත් ගීතයත් අතර ඇති අවියෝජනීය බැඳීම එතරම් ප්‍රබලය. හංස විලක් යනු ලාංකේය සිනමාව උඩුයටිකුරු කළ අග්‍රගණ්‍ය චිත්‍රපටයකි. අසූව දශකයේ නිර්මිත රොමැන්තික සලරුවක විස්මිත විස්කම රැඩිකල් සිනමා ආඛ්‍යානයකින් සුවිශද කිරීමට ධර්මසිරි බණ්ඩාරනායකයෝ මෙහිදී සමත්වූහ. මෙි වුකලි තහනම් ගහේ ගෙඩි කෑමට ගිය අනියම් පෙම් යුවළකගේ අඳුරු ජීවන ඛෙිදවාචකයයි.නිශ්සංක - සමන්ති සහ මිරැන්ඩා - ඩග්ලස් වනාහි සිවුකොන් වෘත්තාන්තයේ ප්‍රධාන පාත්‍රවර්ගයෝය. ඔවුහු කුඩා දරුවන් තිදෙනකුගේ මවුපියෝය. නිශ්සංක - මිරැන්ඩා දෙදෙනා සුතනඹුවන්, සැමියන් අතැර අසම්මත කාමරසාස්වාදයට ලොබ ලිය වඩා කැදැල්ලෙන් හිමින් සැරේ පියා විදා ගියෝය. එහෙත් මෙකී අසම්මත ප්‍රේමාස්වාදයේ සංක්‍රාන්තිය කුඩා දරුවන් දෙදෙනකුට පියා අහිමි කිරීමටත් පුංචි දියණියකට මව අහිමි කිරීමටත් සහේතුක විය.
චිත්‍රපටය ආරම්භයේදී ම නාමාවලිය සමඟ පසුබිමින් ඇසෙනුයේ ගැහැනියකගේ ශෘංගාරාත්මක විලාපයකි. එහෙත් අවසානයේදී ඇසෙනුයේ කුඩා දරුවකු හඬන ශබ්දයකි. මෙනයින් නිශ්සංක - මිරැන්ඩා අසම්මත ප්‍රේමය හේතුවෙන් කුරුලු කැදලි දෙකක් සුනුවිසිනු වී යන අයුරු ප්‍රේක්ෂකයාට පසක් වෙයි. අවසානයේදී නෛතික විවාහ බන්ධනය වින්දනය කළ අඹුසැමි යුවළක් අසම්මත කාමරසාස්වාදයක පැටලී කාමසම්භෝග සම්පර්කයට එළැඹෙති. සෙනෙහෙවන්ත සැමියකුගේ බිරියක ලෙස කල් ගෙවූ මිරැන්ඩා සැබැවින්ම නිශ්සංකට පෙම් කළාද? ආදරණීය බිරියකගේ පුංචි දරුවන් දෙදෙනකුගේත් පියකු වු නිශ්සංක සත්තකින්ම මිරැන්ඩාට ආදරය කළාද? එසේත් නැත්නම් ඔවුන් දෙදෙනාම කාමාග්නිය නිවාගන්නට ලැගුම්හලකට ගියාද? මෙි සියල්ල උභතෝකෝටිකයකි.
මෙහිදී නිශ්සංකට මෙන් නොව මිරැන්ඩාට හෘදයසාක්ෂියක් තිබිණි.තම දියණියගේ මතකයත් සැමියාගේ අහිංසකබවත් නිතර ඇගේ හෘදයසාක්ෂිය කොනහයි. එහෙත් නිශ්සංක හෘදයසාක්ෂියක් නැති නරුමයකු මෙන් හැසිරෙයි. ඔහු දිනක් මිරැන්ඩා සිය සැමියාත් දරුවාත් සමඟ ගේහසිත ප්‍රේමය විඳින දසුනක් දකියි. මෙි විස්මිත දසුන දුටු මතින් නිශ්සංක පරලවෙයි. මෙහිදී මිරැන්ඩා මරාදැමීමට තරම් ක්‍රෝධයක්, වෛරයක් ඔහුගේ සිතට නැගෙයි. ඔහුගේ මනෝභාවය අතිශය බියකරු ආස්ථානයකට පෙරළෙයි. මෙබඳු තතුවලට අප සමාජයේ වෙසෙන ලියෝ ද පිරිමි ද යන දෙගොල්ල ම ගොදුරු වෙති. ගේහසිත ප්‍රේමයේ ඇලී ගැලී කුටුමිබ රක්ෂණය වෙනුවෙන් දරදිය ඇද්දාට ඇතැමුන්ගේ ඇතුළත කැලඹිලාය. උනුන්ගේ ළබැඳියාව, අන්‍යොන්‍ය ප්‍රේමය ගිලිහුණු තැන විවාහකයෝ තහනම් ගහේ ගෙඩි කෑමට මාන බලති. ඇතමෙක් පවුල විසිරී නොදී රැකගනු වස් බැඳගත් බෙරයම ගසති. මෙහිදී දෙබිඩි ජීවිත උදාවීම ස්වාභාවික නොවෙිද?එහෙත් ඒවා සාධාරණීයකරණය කළ හැකිද?
ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ කුළුඳුල් සිනමා සිත්තම හංස විලක් වූව ද එය සිංහල සිනමාවෙි එතෙක් මෙතෙක් බිහිවුණු අතිශය සිනමාරූපී රොමැන්තික සලරුවකි. එකල පෝලන්ත සිනමාකරුවන්ගේ පරපීඩන කාම (Sadism ) සිනමා දෘෂ්ටිවාද සහ ආකෘති ධර්මසිරි බණ්ඩාරනායකයෝ සෘජුවම අනුගමනය කළෝය. 1980 දශකයේ යුරෝපය පුරා කළුසුදු වර්ණ චිත්‍රපටවල නැගීමක් තිබිණි. ධර්මසිරි බණ්ඩාරනායකයෝ මෙි නව සිනමා ආඛ්‍යානය සිය සලරුව මූර්තිමත් කිරීමට යොදා ගත්හ. එහෙත් වාමාංශික දේශපාලන මතධාරියකු වූ බණ්ඩාරනායකයන් අසම්මත ලිංගික ඇසුරක් පිළිබඳ මෙබඳු සිනමා කෘතියක් නිර්මාණය කරනු ඇතැයි විචාරකයෝ පවා අපේක්ෂා නොකළෝය. මෙි ගීතයට දායකත්වය සැපයූ ප්‍රවීණ ගායන ශිල්පී ටී එම් ජයරත්න හැර අනෙක් කලාකරුවෝ සිවුදෙනාම ප්‍රබල වාමාංශික මතධාරියෝය. ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, ප්‍රේමසිරි කේමදාස, සුනිලා අබෙිසේකර පිළිබඳ දේශපාලනයෙන් විතැන් කොට කතා කළ නොහැකිය. මෙහිදී ධර්මසිරි පතිරාජයන්ගේ විශිෂ්ට ගී පද සංකල්පනාවත් ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිනාමාරූපී සංගීතයත් සිනමා කෘතියේ රූපරාමුත් අතර ඇති අවියෝජනීය බැඳීම චිත්‍රපටයේ සාර්ථකත්වයට තුඩු දී ඇතැයි නොකීම කුහකකමකි. මීට පෙර ධර්මසිරි පතිරාජගේ "බඹරු ඇවිත් " චිත්‍රපටයට පමණක් ගීතයක් ගැයු සුනිලා අබෙිසේකරගේ ශෘංගාරාත්මක හඬ පෞරුෂය ද මෙහිදී අමතක කළ නොහැකිය. ඇය හෙමින් සැරේ පියා විදා ගීතයට හඬ මාධුර්යෙන් උපරිම සාධාරණය ඉටු කරන්නීය. ටී.එමි ජයරත්නගේ කර්ණරසායන හඬ ද කේමදාසයන්ගේ සිනාමාරූපී සංගීතය ද විචිත්‍රෝපශෝභිතය.
මෙි ගීතයේ කථකාව වියවුල් මනසින් තම අසම්මත ප්‍රේමයේ රූපාන්තරණය පාපෝච්චාරණය කරන්නීය.
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ
බඹරකු මලක මකරන්ද උරා බී මත්වී එන්නා සේ ස්ත්‍රි ශරීරය පිරිමි ඇසට රසඳුනක් වන අයුරු රචකයා ධ්වනිතාර්ථපූර්ණ අන්‍යාලාපය මුසු කාව්‍යෝක්තියෙන් ප්‍රකාශ කරයි. මෙි කථකාව සැපවත් රසවත් ඔදවත් තෙදවත් නිලපති ජීවිතයක් ගත කළ තැනැත්තියක බව ගීතයේ ස්ථායි කොටසෙන් පසක් වෙයි."සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ " යන රූපකය තුළින් ඇය සුඛාස්වාදය, සුඛවිහරණය ලබන තැනැත්තියක බව ගම්‍ය නොවෙිද? පීඩත පන්තියේ ගැහැනියකට නම් පැදුරු කඩමලු මිස විල්ලුද ඇතිරු මෙබඳු සුමුදු සයනාසන කොහින්ද? සෙනෙහෙවන්ත සැමියකුගේ බිරියක වන මෙි කථකාවගේ සිතුවිලි කුරුල්ලන් මෙන් කැදැල්ලෙන් එපිට අසම්මත පෙම්වතාගේ තුරුලට ඉගිල යයි. සැමියා සමඟ සුමුදු සයනයක සිනිදු ඇතිරිල්ලක සැතපී සිටින විටත් ඇය අනියම් ප්‍රේමයේ කාමරසාස්වාදයට ලොබ ලිය ලියලවන්නීය.
මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින
මල වනාහි වර්ණ ගන්ධයෙන් සපිරි ලෝකය සුන්දර කරන සොඳුරු සංකේතාර්ථයකි. මලකට අයිති සුකුමාර, රුවනාර, මනහාර, රූබර ජීවිතයක් ඇත. එබැවින් මලක් නම් එය මලක්ම විය යුතු බව නොවේද මෙි කියන්නේ? එහෙත් මලක මහිම නොදත් බඹරු නොදුටු මල් ලොව කොහිවෙත්ද? විලක් ද එසේය. විලක් යනු දිය සිඳිගිය ජරපත් කොදෙව්වක් නොවෙි. මෙි වුකලි ඔිලූ නෙළුම්. මානෙල්, කුමුදු මලින් සුපුෂ්පිත සුගන්ධිත ස්වර්ණ හංසයන් දිය කෙළින දුටුවන් වශී කරන මන බඳින සොබා සොඳුරු රූපකයකි. මෙහි නීල ඉඳුවර යනු නිල් මහනෙලට කියන තවත් නමකි. විලක් නම් එය නීල ඉඳුවර දියෙන් ඉපදිය යතු බව රචකයා කියයි. මෙි කථකාව ධනය හිමි නිලපති කුලයෙන් මිදිී පතන්නේ කවරනම් ආස්වාදයක් ද? ඇය පතන්නේ පරම රමණීය ප්‍රේමානන්දයක් ද? එසේත් නැත්නම් අසම්මත ප්‍රේමයක කාමසම්භෝගයක් ද? ඇගේ සිතේ රජයන දෙගිඩියාව මෙි ගීතයෙන් ප්‍රකාශයට පත්වෙයි.
නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදාහැරදා පවුරු සිරියහනේ
ප්‍රේමයත් රාගයත් අතර දෝලනය වී වල්මත් වන සිත අවසානයේදී නතර වන්නේ සිහින නිම්නයකය. නිම්නය යනු කඳු දෙකක් අතර ඇති තැනිතලාවයි. මෙබඳු තැනිතලාවක සුපුෂ්පිත වන පුෂ්පය කෙතරම් සොඳුරු ද? නැවුම් හැඩ පැහැ රුවැති මෙි කුසුම වර්ණ ගන්ධගුණෝපේතව,සුපුෂ්පිත ව සුදිලේ. එහි පරමානන්දය විඳීම ලොව්තුරු සැපය නොවේද? එහෙත් අවසානයේ මෙකී අසම්මත පෙම්සුවය ඇගේ සිතට ගෙන දෙන්නේ කිසියම් වරදකාරී හැඟීමකි. සිහින් හඬකින් මහද අමතයි යනුවෙන් ඇය පවසන්නේ එනිසා නොවෙිද? දෙවැනි අන්තරා කොටසෙහි අවසන් පද දෙක ගීතයේ කූටප්‍රාප්තියයි. සිරියහනට කුමන පවුරක් ද? මෙහිදී රචකයා ව්‍යාංගාර්ථයෙන් පවසන්නේ නෛතික විවාහ බන්ධනය ඇයට රහසේ ඔච්චම් කරන බවයි. මෙි ගීතයේ සමස්තාර්ථය චිත්‍රපටයට මුසුවී ඇති හෙයින් ඇතැමි ගී පාද තුළ සංකේන්ද්‍රිත දෝංකාරය රූපරාමුවලින් තොරව විඳීමට අපහසුය. එහෙත් ඇය මුහුණපා සිටින්නී අතිශය දුෂ්කර අවස්ථාවකට නොවෙිද? අසම්මත පෙමක පැටලී ඇගේ අධ්‍යාත්මය වෙළාගෙන පවත්නා අසන්තුෂ්ටිය පශ්චාත්තාපය මෙයින් ධ්වනිත නොවේද? මෙි අසම්මත ප්‍රේම සංක්‍රාන්තියෙන් සැබැවින්ම දුක් විඳින්නෝ කවරහුද? ඔවුහු දරුවෝය.