Pages

Wednesday, July 27, 2016

සංකල්පනා









රෑ අහසේ
තාරුකාවක් දිලිසේ
නුඹේ ඇස සේ

දිලෙන තාරුකාවේ සැඟවෙනවාද
පුරුදු හීන කළුවර මට දෙනවාද
නුඹේ දෑස ගෙන නොපෙනී යනවාද
මගේ තනිකමට ඉන්නට දෙනවාද

- කසුරි

ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය

මහාචාර්ය ජෝ හැන්ඩ්ල්ස්‌මන් මහත්මිය පසුගිය දා ඇමෙරිකානු ජනාධිපති කාර්යාලයයේ විද්‍යා හා තාක්‌ෂණ ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ තනතුරට පත් කරනු ලැබුවා ය. නියෝජ්‍ය අධ්‍යක්‌ෂ තනතුරක්‌ වුව ද මෙය ඇමෙරිකාවේ බලවත් තනතුරකි. මන්ද යත් ඇමෙරිකාව තුළ මෙන්ම මුළු ලෝකය තුළ ම විද්‍යාවේ (සැබැවින් ම අද සංස්‌කෘතිය පවා පාලනය වන්නේ විද්‍යාවෙනි) ආධිපත්‍යය පතුරුවන්නේ මේ ආයතනය (විද්‍යා හා තාක්‌ෂණ ප්‍රතිපත්ති කාර්යංශය) හරහා වන බැවිනි. එහෙයින් බොහෝ දෙනා පවසන්නට වූයේ පවතිනවා යෑයි කියන ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ වෙනස්‌ කොට සැලකීම් ඇමෙරිකාවේ නැති බවයි. එහෙත් මහාචාර්යවරියට හිමි වූයේ අධ්‍යක්‌ෂ තනතුර නො වන බව මේ අයට අමතක විය. එසේ ම ඇමෙරිකාව ජනාධිපතිවරයකු පත් කරගත් 1789 සිට මේ දක්‌වා ම කිසිදු ජනාධිපතිවරියක බිහි නො වූ බව ද මේ අයට අමතක වී තිබේ. 

අප කලින් සඳහන් කළ මහාචාර්යවරිය වන ජෝ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එක්‌ කරුණක්‌a නම් ඇය මේ තනතුරට ආවේ බරපතළ සටන් මැදින් බව ඇය ම පැවසීමයි. දෙවැනි කරුණ නම් ඇමෙරිකාවේ විද්‍යා ක්‍ෂේත්‍රය තුළ පවත්නා ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට සම්බන්ධ අසාධාරණකම් ගැන ඇය අධ්‍යයනයක්‌ ද සිදු කර තිබීමයි. එහි ප්‍රතිඵල මගින් පෙනෙන්නේ ද ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව උග්‍ර ගැටලු ඇමෙරිකානු විද්‍යා ප්‍රජාව තුළ පවතින බවයි. ජෝ හැන්ඩ්ල්ස්‌මන් විසින් කරන ලද මේ අධ්‍යයන නිබන්ධයේ නිල නාමය Science Faculty's Gender Biases Favour Male වුව ද ඒ ගැන බොහෝ සගරාවල ලිපි පළ වූයේ "පිරිමි විද්‍යාඥයනි, තවමත් ඔබ ගේ නිරුවත පෙනේ" යන මාතෘකාවෙනි. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු National Academy of Sciences ජර්නලයෙහි පළ විය. 

ඇයට මේ පර්යේෂණය කරන්නට සිතක්‌ පහළ වූයේ තමා සේවය කළ විද්‍යා පීඨ තුළ ශිෂ්‍යාවන්ට හා ආචාර්යවරියන්ට සිදු වන අසාධාරණකම් ගැන ඇසූ දුටු විට ය. එසේ අසාධාරණකම් සිදු වන විටත් පිරිමි විද්‍යාඥයන් ජනමාධ්‍ය මගින් හැම විට ම කියා සිටියේ අන් ක්‍ෂේත්‍රවල එවැනි ස්‌ත්‍රීන්ට අගතියක්‌ වුව ද විශ්aවවිද්‍යාල විද්‍යා පීඨවල එවැන්නක්‌ නො වන බව ය. එසේ ම පොදුවේ විද්‍යා ක්‍ෂේත්‍රය තුළ එවැන්නක්‌ දක්‌නට නොමැති බවත්, සුදුස්‌සාට සුදුසු තැන ලැබෙන බවත් ය. සුදුස්‌සාට ලැබෙන තැන පිලිබඳ හොඳ පිළිතුරක්‌ ජෝ ගේ අධ්‍යයනය තුළ ඇත. 

ජෝ මේ අධ්‍යයනය කළේ අමුතු ආකාරයකට ය. ඇය හා ඇගේ සහායකයෝ ඇමෙරිකාවේ විශ්aවවිද්‍යාලවල විද්‍යා පීඨ හයක විද්‍යාඥයන් (අංශාධිති, පීඨාධිපති, විද්‍යාඥ) 127ක්‌ තෝරාගෙන ඔවුන් ගේ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආකල්ප පරීක්‌ෂා කරන්නට කල්පනා කළ හ. මේ 127 දෙනා අතර පුරුෂයෝ මෙන්ම ස්‌ත්‍රීහු ද සිටිය හ. ඔවුහු ජෛව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී විවිධ ක්‍ෂේත්‍රවලට අයත් මහාචාර්යවරු / වරියෝ වූ හ. මේ අය ගේ විද්යුත් ලිපින සොයාගත් පර්යේෂකයෝ ඒ අය වෙත විද්යුත් තැපෑලෙන් ලිපියක්‌ යෑවූ හ. ඒ ලිපිය යෑව්වේ තමන් යටතේ ඉගෙනගත් කිහිප දෙනකුට (අවම වශයෙන් එක්‌ අයකුට හෝ) ඔවුනොවුන් ගේ ආයතනවල පර්යේෂණ නිලධාරී/පර්යේෂණ කළමනාකරු වැනි 

රැකියාවක්‌ ලබා දෙන ලෙස ඉල්ලමිනි. මේ සමීක්‌ෂණ ලිපියේ වැදගත්කම වූයේ මෙය සමීක්‌ෂණයක්‌ බව සඳහන් නො කරන්නට වගබලාගෙන තිබීමයි. හුදෙක්‌ ම මෙය සැබැවින් ම කරන ඉල්ලීමක්‌ ලෙස ඉදිරිපත් කෙරිණි. එහි දී එක්‌ පීඨ නිලධාරියකුට / විද්‍යාඥයකුට අයදුම්පත් දෙකක්‌ හෝ දෙකේ ගුණාකාර යවන ලදී. ඒ ස්‌ත්‍රී පුරුෂ නියෝජනය සමාන ලෙස සිදු වන පරිදි ය. ස්‌ත්‍රී අයදුම්පත් එකක්‌ පමණක්‌ යෑව්වේ නම් පුරුෂ අයදුම්පත් ද එකක්‌ පමණක්‌ ඒ සමග යවන ලදී. මේ හැම අයදුම් පතක්‌ ම කෘත්‍රිමව සකසන ලද ඒවා ය. සමාන සුදුසුකම් ඇතුළත් වන පරිදි බොරු ගැහැනු පිරිමි නම් ඔබ්බවා මේ අයදුම්පත් සකසන ලදී. එහි දී පිරිමි සුදු, පිරිමි කළු, ස්‌ත්‍රී සුදු, ස්‌ත්‍රී කළු ලෙස ද වර්ග කර නම් ඉදිරිපත් කරන ලදී. මෙහි දී පර්යේෂකයන් ඉල්ලා සිටියේ රස්‌සාවක්‌ දෙන්නට නොහැකි නම් අවම වශයෙන් මේ අයදුම්පත් අගැයීමට ලක්‌ කර එවන ලෙස ය. එනම් මේ ශිෂ්‍යයන් ගේ කුමන විෂය වෙනස්‌කම් (පාඨමාලාවල) සිදු වුව හොත් ඔවුන්ට එය රැකියා ලබාගැනීමට උදව් වේ ද යන්න දන්වා එවන ලෙසයි. අයදුම්පත්වල සිටින අය බඳවාගන්නට ඉදිරියේ දී හෝ කැමැති වන්නේ නම් ගෙවිය හැකි වැටුප ගැන සඳහන් කරන ලෙස ද දන්වන ලදී. මෙහි දී ලද ප්‍රතිඵලය (සමස්‌ත) වූයේ දළ වශයෙන් 55%ක ගේ කැමැත්ත පුරුෂ අයදුම්පත්වලටත්, 45%ක කැමැත්ත ස්‌ත්‍රී නම්වලටත් ලැබීමයි. මෙහි දී පරතරය 10%ක්‌ වුව ද එය විශාල එකක්‌ බව මේ අධ්‍යයනය නිරීක්‌ෂණය කළ මැසචුසෙට්‌ස්‌ තාක්‌ෂණ ආයතනයේ ජෛව විද්‍යා මහාචාර්ය නැන්සි හොප්කින්ස්‌ පවසන්නී ය. එසේ ම මේ අධ්‍යයනය ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ අගතීන් හෙළි කරන ඉතා හොඳ අධ්‍යයනයක්‌ බව ද ඇය පෙන්වා දෙයි. 

මේ අධ්‍යයනයේ දී 1 සිට 7 දක්‌වා වූ පරිමානයක ලකුණු දමන්නට පීඨ නිලධාරීන්ට / විද්‍යාඥයන්ට සිදු වූ අතර 7 යනු හොඳ ම ලකුණ විය. සමස්‌තයක්‌ ලෙස ගත් විට පිරිමි නම්වලට ලකුණු 4ක්‌ ලැබී තිබිණි. ගැහැනු නම්වලට ලැබුණේ 3.3කි. දෙන්නට කැමැති වැටුපට අදාළව පරස්‌පරතා පැවැතිණි. ගැහැනු අයට දීමට කැමැති වූ වැටුප පිරිමියකුට වඩා ඩොලර් 4000කිsන් අඩු විය. වඩාත් ම ආකර්ෂණීය කරුණ නම් මහාචාර්යවරියන් පවා බහුතරය තම ආයතනය සඳහා බඳවාගන්නට උනන්දු වී තිබුණේ පිරිමි අයදුම්කරුවන් ය. සමාන සුදුසුකම් පැවතිය ද පිරිමින් දක්‌ෂ යෑයි විශ්වාසයක්‌ මිනිසුන් හා ගැහැනුන් තුළ පැවතීම මේ අගතියට හේතු විය යුතු යෑයි ජෝ විශ්වාස කරයි. 

එක ම උත්තරේ අඩු ලකුණු ඇයි?

ප්‍රශ්න පත්‍රයක ඇති ප්‍රශ්නවලට බොහෝ විට මුද්‍රිත පිළිතුරු පත්‍රයක්‌ ද පරීක්‌ෂකවරුන් විසින් සකසනු ලැබේ. එසේ නො කළ ද සාමාන්‍යයෙන් එක ම ආකාරයේ පිළිතුරකට කෙනකුට ලැබෙන ලකුණු ගණන ඒ උත්තරය ම දෙන අනෙක්‌ කෙනකුටත් ලැබිය යුතු ය. උත්තරය ලියන කෙනා ගේ පාට, ජනවර්ගය හෝ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය ඊට බලපාන්නට බැරි ය. එහෙත් මහාචාර්ය Sara Hofer පවසන්නේ අතිශයින් දියුණු අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ තිබෙනවා යෑයි කියන ස්‌විට්‌සර්ලන්තය, ඔස්‌ටි්‍රයාව හා ජර්මනියේ පවා මේ අගතිය (ගැහැනු ළමයින්ට නිවැරැදි උත්තරයට පවා අඩු ලකුණු ලැබීම) සිදු වන බවයි. 

ඇය මේ බව පවසන්නේ තමන් විසින් කරන ලද දිගුකාලීන අධ්‍යයනයක ප්‍රතිඵල විග්‍රහයට බඳුන් කරමිනි. Studing Gender Bias in Physics යන මැයෙන් වූ මේ අධ්‍යයනය Science Education ජර්නලයෙහි පළ විය. [2015:37.17.2879.DOI:10.1080/09508693]

"හිතන්න ඔබ ගැහැනු ළමයෙක්‌ කියලා. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයකට ඔබ උත්තරයක්‌ ලියනවා. ඒ උත්තරය ම ලියන පිරිමි ළමයකුට ඔබට වඩා වැඩි ලකුණු ලැබෙනවා. මේක සිද්ධ වෙන්න බැහැයි කියා ඔබ හිතනවා ඇති. ඒත් මේ දේ සිද්ධ වෙනවා. " 

එසේ පවසන්නේ Sara Hofer ය. තම අධ්‍යයනයේ දී Sara ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය හා ඕස්‌ටි්‍රයාව යන රටවල ගුරුවර ගුරුවරියන් 780ක ගෙන් දත්ත ලබාගත්තා ය. එහි දී ඔවුන් ගෙන් ලබාගත් තොරතුරුවලින් පෙනී ගියේ ඒ රටවල් තුනේ ම ගුරුවරුන් වෙතින් ශිෂ්‍යාවන්ට ලකුණු දීමේ දී යම් යම් මට්‌ටමේ අසාධාරණකම් සිදු වන බවයි. එනම් ස්‌විට්‌සර්ලන්තය හා ඕස්‌ටි්‍රයාව යන රටවල ගුරුවරු හා ගුරුවරියෝ යන දෙපාර්ශ්වය ම මේ අසාධාරණය ශිෂ්‍යාවන්ට සිදු කළ හ. ජර්මනියේ දී මෙ අගතිය සිදු කර තිබුණේ ගුරුවරියන් පමණි. ජර්මානු ගුරුවරුන් එක ම උත්තරය සඳහා පිරිමි ළමයින්ට වැඩි ලකුණු දීමක්‌ කර තිබුණේ නැත. කෙසේ වෙතත් ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව මේ දොaෂය සිදු ව තිබුණේ අවුරුදු 10කට වඩා අඩු පළපුරුද්ද ඇති ගුරුවරු ගුරුවරියන් වෙතින් පමණි. ඉතා දිගු පළපුරුද්දක්‌ ඇති ගුරුවරු ගුරුවරියන් මෙලෙස අගතීන් නො කරන බව ද පෙනී ගියේ ය. 

"මෙලෙස ශ්‍රේණි ලබා දීමේ දී අසාධාරණයක්‌ සිදු කිරීම නිසා ගැහැනු ළමයාට පැති කීපයකින් ම අගතීන් සිද්ධ වෙනවා. තමන්ට ශ්‍රේණිය අඩු වූ විට එම දැරිය කලකිරී එම විෂය අත්හරිනවා. විද්‍යාවෙන් කුඩා කල දී ම හැළී යන්නට මෙය හේතුවක්‌ වෙනවා. එසේ ම සුදුසුකම් සහිත අය කැපී, රහිත අය මතු වන්නට මෙය හේතුවක්‌ වනවා." 

ඒ Sara ගේ අදහස්‌ ය. 

ඇමෙරිකාවේ පවා විද්‍යා ක්‍ෂේත්‍රයෙහි කතුන්ට සම අයිතීන් නැහැ

Gender Bias in Academia නම් නිබන්ධය අරඹමින් ආචාර්ය Penelope Hangy මෙසේ සඳහන් කරයි. 

"ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ආචාර්ය උපාධිවලින් හරි අඩක්‌ ම හිමි කරගන්නේ කාන්තාවන් වුව ද විශ්වවිද්‍යාල තුළ සේවයේ යෙදී සිටින්නේ කාන්තාවන් 39%ක්‌ තරම් අඩු ප්‍රතිශතයක්‌ පමණයි. ඒ සියලු විෂය දහරාවන්ට අදාළ තත්ත්වයයි. විද්‍යාවට අදාළ තත්ත්වය මීට වඩා ෙ€දනීයයි. විද්‍යා හා ඉංජිනේරු අංශ සැලකූ කල කාන්තාවන් ආචාර්ය උපාධි ප්‍රමාණයෙන් 40%ක්‌ පමණ හිමි කරගන්නවා. ෙ€දනීය කරුණ නම් එම පීඨවල සේවයේ යෙදී සිටින කතුන් ප්‍රතිශතය 28%ක්‌ තරම් අඩු සංඛ්‍යාවක්‌. ඇමෙරිකාව තුළ සිටින සියලු ම අංශවල විශ්වවිද්‍යාල මහාචාර්යවරියන් ගේ ප්‍රතිශතය 24%ක්‌ පමණයි. එනම් පිරිමින් හා සසඳන කල 4න් එකකටත් අඩුයි.

විද්‍යා අංශයේ හා ඉංජිනේරු අංශයේ මහාචාර්යවරියන් ගේ ප්‍රතිශතය මීටත් අඩුයි. එනම් 19%ක්‌ පමණයි. Penelope තම නිබන්ධයෙන් පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඇකඩමියාව කෙතරම් ප්‍රජාතාන්ත්‍රවාදී හා සම අයිතීන් සහිත එකක්‌ යෑයි කීව ද විද්‍යා ඉංජිනේරු පීඨ ආශ්‍රිත ව සුවිශාල පුරුෂ හෙජමොනියක්‌ (බලාධිකාරයක්‌) ගොඩනැගී ඇති බවයි. පුරුෂ කායික ශක්‌තිය ජීව විද්‍යාත්මක වෙනස්‌කම් චර්යා මීට බලපාන බව Penelope පෙන්වා දෙයි. 

විද්‍යා පීඨ තුළ පුරුෂ හෙජමොනියක්‌ 

"පීඨවල නිතර ම උත්සව පැවැත්වෙනවා. මේවායේ දී බාර්වලට ගොස්‌ පැවැත්වෙන උත්සව හා සාකච්ඡා බහුලයි. මේ වගේ අවස්‌ථාවල දී ස්‌ත්‍රිය අසරණ වනවා. 'බාර් මීටිං' විද්‍යා පීඨවල බහුලයි. මැත්පැන් බීගෙන පිරිමිත් එක්‌ක පිස්‌සු නටාගෙන 'සෙට්‌' වෙන ස්‌ත්‍රීන්ට විශේෂ සැලකිලි ලැබෙනවා. ඒ දෙය බොරු නො වෙයි. ඒ දේවල්වලට සහභාගි නො වන ස්‌ත්‍රී ආචාර්යවරියන්ට මිත්‍රත්වයේ හස්‌තය දිගු වන්නේ නැහැ. එසේ ම සමහර ඉදිරි අවස්‌ථා මගහැරී යනවා. ඉතිං ස්‌ථීර ව ම පිරිමින්ට සමීප නො වන කාන්තා ආචාර්යවරියන්ට අසාධාරණයක්‌ වනවා." 

එසේ සඳහන් කරන්නේ Penelope ය. Penelope සඳහන් කරන තවත් වැදගත් කරුණක්‌ වන්නේ ශිෂ්‍යයන් මහාචාර්යවරියන්ට හා ආචාර්යවරියන්ට ගරු කරන්නේ එම තනතුර ම දරන පුරුෂයන්ට වඩා අඩුවෙන් බවයි. සමහර සිසුන් අවවාද දීම් නො රුස්‌සන බවත් ඇතැම් අවස්‌ථාවල දී පිරිමි සිසුන් වෙතින් ඉතා හිංසාකාරී ප්‍රතිචාර ලැබෙන බවත් ඇය පෙන්වා දෙයි. 

Penelopeට අනුව විද්‍යා හෝ ඉංජිනේරු පීඨ තුළ ඉහළ ම තනතුරු දරන කතුන් ස්‌වල්පයක්‌ සිටිය ද ඔවුනට එතැනට යා හැකි ව තිබුණේ පවුලක්‌ ගොඩනගාගන්නේ නැති ව විෂයට ම කැප වීමෙනි. එනම් එවැනි උසස්‌ තනතුරු දරන සියලු කතුන් අවිවාහක හෝ දික්‌කසාද වූ අය බව Penelope කියයි. එහෙත් විද්‍යා පීඨවල හෝ පර්යේෂණ ක්‍ෂේත්‍රවල උසස්‌ තනතුරු දරන පිරිමින් ගේ තත්ත්වය මීට වෙනස්‌ බවද ඇය කියයි. විද්‍යා හා ඉංජිනේරු ක්‍ෂේත්‍රවල යම් තරමක ස්‌ථාවරභාවයට පත් ව සිටින (ඉහළ ම නො වේ) පිරිමින් ගෙන් 83%ක්‌ විවාහ වී හොඳ පවුල් ජීවිත ගෙවන මුත් ඔවුනට සමාන තනතුරු දරන ස්‌ත්‍රීන් ගේ එම ප්‍රතිශතය පුරුෂ ප්‍රතිශතයේ අගයෙන් අඩකට සමාන ය. 

ලංකාවේ විද්‍යාඥවරියන්ට පුරුෂ බලපෑම් නැහැ

විජාතික විද්‍යා පදනමේ සීතා වික්‍රමසිංහ හා දිල්රුක්‌ෂි රණතුංග විසින් Status of Women Scientist in Sri lanka ක්‌බන් මැයෙන් කරන ලද අධ්‍යයනයක්‌ මගින් ලංකාවේ විද්‍යාඥවරියන් ගේ තත්ත්වය ගැන පුළුල් මට්‌ටමේ අනාවරණයක්‌ සිදු කර තිබේ. 

විශේෂයෙන් ම ඉංජිනේරු හා තොරතුරු තාක්‌ෂණ ක්‍ෂේත්‍ර ආශ්‍රිත අඩු කාන්තා සහභාගිත්වය ගැන එහි දී විග්‍රහ කොට තිබේ. මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයන් කාන්තා විද්‍යාඥයන් 1628 දෙනකු ගේ දත්ත භාවිත කොට තිබේ. උත්තර දුන් සාම්පලයෙන් 26ක්‌ ම ආචාර්ය උපාධිධාරිනියන් ය. මෙහි දී පර්යේෂකයන් අවධාරණය කරන වැදගත් ම කරුණ විද්‍යාඥයකු ලෙස ඉදිරියට යැමේ දී ස්‌ත්‍රියක වීම හේතු කොටගෙන පුරුෂයන් වෙතින් අසාධාරණකම්වලට ලක්‌ වන්නට තමන්ට සිදු නො වූ බව මේ විද්‍යාඥවරියන් පවසා තිබීමයි. 

එය එසේ වෙතත් පිරිමින්ට සාපේක්‌ෂව නිබන්ධ ඉදිරිපත් කිරීම් ආදියේ දී තමා ගේ පමා වීම් ඇති වූ බව සමහර කතුන් පිළිගෙන තිබේ. එසේ ම ගෙදර දොර වැඩ කටයුතු (ගෘහනියක හා මවක) නිසා උසස්‌ අධ්‍යාපන කටයුතුවලට බාධා ආ බව ද ඔවුන් පිළිගෙන තිබේ. මේ කරුණ ද පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු වන්නකි.

මන්ද යත් ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාව (Gender Inequality) යන්න තුළට ගොනු වන්නේ පුරුෂයන් වෙතින් ස්‌ත්‍රීන්ට වන අකටයුතුකම් පමණක්‌ නො වන බැවිනි. අනිවාර්යයෙන් ම ගෙදර දොර වැඩ, (විවාහ ජීවිත තුළ) සැමියා ගේ විරෝධතා, දරුවන් ගේ ප්‍රශ්න ආදිය ද ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට සම්බන්ධ ගැටලු වේ. මන්ද යත් මෙවැනි සබඳතා කාන්තාව වෙත කේන්ද්‍රගත වන්නේ ඇය කාන්තාවක වීම නිසා ම ය. 

ඇය කාන්තාවක නො වී නම් ඇයට ආචාර්ය උපාධි නිබන්ධය සැකසීමට ගත කළ යුතු කාලය දරුවන් හා සැමියා නැළවීමට/සැනසීමට ගත කළ යුතු වන්නේ නැත. ආචාර්ය උපාධියකට සැරසෙන පිරිමියකු රැකියා ස්‌ථානයෙන් නිවාඩු ලබාගත් කල සාමකාමීව තම නිබන්ධයේ වැඩවලට කාලය (ආර්ථිකව සවිමත් ව සිටිය යුතු ය) වැය කළ හැකි ය. ස්‌ත්‍රී විද්‍යාඥයකුට, ආර්ථිකව සවිමත් වුවත් එය එසේ කළ නොහැකි ය. කුඩා දරුවකු සිටිනවා නම් ඒ දරුවා ගැන බැලිය යුතු ය. ගෙදර මහලු අබල දුබල කෙනකු සිටිනවා නම් ඒ කෙනා ගැන බැලිය යුතු වේ. එහෙයින් මේ පාර්ශ්වයන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අය ප්‍රස්‌තූතය නිරවද්‍ය ලෙස අවබෝධ කරගෙන සිටියා ද යන්න ගැටලුවකි. 

කෙසේ වෙතත් පර්යේෂකයන් කාන්තාවන් මුහුණ දෙන මේ ගැටලු පොදුවේ හඳුනාගෙන ඇති බව පෙනෙන්නේ ඔවුන් තම නිගමනය ඉදිරිපත් කිරිමේ දී ලබා දෙන යෝජනා අනුව ය. විශ්වවිද්‍යාල හා වෙනත් එවැනි ආයතන තුළ දරුවන් බලාගැනීමේ මධ්‍යස්‌ථාන වැනි දේ ඉදි කළ යුතු ය යන යෝජනාව පර්යේෂකයන් ඉදිරිපත් කර තිබේ. 

එසේ ම මෙහි දී තරුණ කනිෂ්ඨ විද්‍යාඥවරියන් විසින් කරන ලද චෝදනාවක්‌ ගැන ද සඳහන් කර තිබේ. තමන්ට උපරිම ධාරිතාවෙන් සේවය කරන්නට තරම් සම්පත් ආයතන තුළින් නො ලැබෙන බව එම චෝදනාවයි. තමන්ට ස්‌ත්‍රියක වීම නිසා අනාගත අවස්‌ථා ද මගහැරෙන්නේ ය යන්න බොහෝ ලාංකික කනිෂ්ඨ විද්‍යාඥවරියන් පවසන දෙයකි. 

මේ අධ්‍යයනයේ දී බරපතළ මට්‌ටමේ පීඩන පුරුෂ පක්‌ෂයෙන් එල්ල නො වන බවට මතවාදයක්‌ ගොඩනැගී තිබුණ ද නම් හෙළි කිරීමට අකැමැති ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියන්, පර්යේෂිකාවන් හා පර්යේෂණ හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල ප්‍රධානීන් කීප දෙනකු ම අප හා කියා සිsටියේ ලංකාවේ ද අධ්‍යාපන විද්‍යා හා පර්යේෂණ ක්‍ෂේත්‍රවල පුරුෂාධිපත්‍යය ක්‍රියාත්මක වන බවයි. එම පීඩන සුළු සුළු විහිළුවල සිට බරපතළ ලිංගික අඩන්තේට්‌ටම් හා තර්ජන දක්‌වා විහිද ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

මිථ්‍යා විශ්වාස, විද්‍යාව හා කාන්තාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයන අංශයේ එච්. එම්. ඒ. හේරත් විසින් 2015 වසරේ දී කරන ලද "Place of Women in Sri Lankan Socitey මැයෙන් වූ අධ්‍යයනයෙහි ලංකාවේ කතුන් ගේ තත්ත්වය පිළිබඳ කදිම විවරණයක්‌ ඇතුළත් වේ. මේ අධ්‍යයනය ගැන තොරතුරු Vmj ජර්නලයේ 2015 Vol 01 (1)14 හි පළ විය. 

එහි දී හේරත් අවධාරණය කරන්නේ ලංකාව තුළ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය හේතු කොටගෙන විද්‍යා අධ්‍යයන හෝ වෙනත් ක්‍ෂේත්‍රවල වෘත්තික කාන්තාවන්ට විශාල පීඩනයක්‌ නොමැති මුත් පීතෘ මූලික සමාජ ක්‍රමය හා තවත් අයහපත් සාධක හේතු කොටගෙන හානිකර තත්ත්ව ගොඩනැගී ඇති බවයි. සමාජයේ පවතින මිථ්‍යා විශ්aවාස ඇතැම් විට කාන්තාවන්ට තම වෘත්තිය ක්‍ෂේත්‍රවල ඉහළට යන්නට බාධා පමුණුවන බව හේරත් පෙන්වා දෙයි. ගැහැනු ළමයකු ගේ උපත පවා අඩු තස්‌කේරුවකට බඳුන් කරන (පිරිමි දරුවකු ගේ උපත මහත් ප්‍රීතියෙන් වැළඳගන්නා) සමාජයක ස්‌ත්‍රයට අගතීන් සිදු වීම අරුමයක්‌ නො වන බව ද හේරත් පෙන්වා දෙයි. එසේ ම ගැහැනු ළමයකු වී උපත ලැබීම පෙර කර්මයක්‌ යෑයි විශ්වාස කරන අය මේ සමාජයේ බහුල බව ද හේරත් පෙන්වා දෙයි. තව ද පිරිමියකු වීමට නම් මේ අත්මයේ වැඩිපුර පින් රැස්‌ කළ යුතු යෑයි ද මේ සමාජය තුළ විශ්වාසයක්‌ මුල් බැසගෙන තිබේ. එනිසා මේ රට තුළ පවා සමාන අයිතීන් තිබෙන බවට ව්‍යවස්‌ථාවල සඳහන් වුව ද එය සැබෑවක්‌ නො වන බව පෙනී යයි. ගම්බද අහිංසක දැරියක උපත ලබන්නේ සියලු සමාන අයිතීන් (පිරිමි දරුවකුට සාපේක්‌ෂව) සහිත ව විය හැකි ය. එහෙත් හැදී වැඩෙන්නේ ගැහැනු ළමයකු ගේ අයිතීන් කප්පාදු කරන්නට බලා සිටින පරිසරයක ය. 

විශ්වවිද්‍යාලවල බහුතරය ශිෂ්‍යාවන් වුව ද ශිෂ්‍ය නායක තනතුරු සඳහා (ශිෂ්‍ය කවුන්සිලවල) කිසි විට ගැහැනු ළමයින් පත් නො වන බව ද හේරත් අවධාරණය කරයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සැලකුව හොත් අනුපාතය ගැහැනු 60%ට පිරිමි 40%ක්‌ වේ. එහෙත් විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්‌ඩල සැලකූ කල ඕනෑ ම අධ්‍යයන අංශයක බහුතරය පිරිමි ය. ශ්‍රී ලංකාවේ උසස්‌ අධ්‍යාපන ඉතිහාසය තුළ උපකුලපතිවරියන් හා විද්‍යාපීඨාධිපතිවරියන් සිටින්නේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙන් බව පර්යේෂකවරිය පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක්‌ යටතේ දී කවුරුන් හෝ විද්‍යා හා උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රවල ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ ගැටලු නැතැයි පවසන්නේ නම් ඒ හුදෙක්‌ විහිළුවක්‌ නො වන්නේ ද? 

මනෝඡ් රත්නායක

ස්‌ත්‍රී පුරුෂ වශයෙන් අගතීන් සිදු වීමක්‌ විද්‍යා හා උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රවල සිදුවේ ද යන්න ගැන අප විමසා සිටි විද්වතකු වූයේ සංවර්ධන අධ්‍යයන ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණික උගතකු වන කැලණිය සරසවියේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අධිපති ආචාර්ය ඒ. ජී. අමරසිංහ මහතා ය. අමරසිංහ විද්වතාට අනුව ලංකාවේ උසස්‌ අධ්‍යාපන හෝ විද්‍යා අධ්‍යාපන හා පර්යේෂණ ආයතනවල එවැනි අගතියක්‌ නො තකා හැරීමක්‌ සිදු නො වේ. මේ ඔහු ඒ ගැන දැක්‌වූ අදහසයි. 

"ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය යනුවෙන් හඳුන්වන්නේ ස්‌ත්‍රී හා පුරුෂ වශයෙන් ජීවවිද්‍යාත්මක ලක්‌ෂණ මත ලිංගභේදය අනුව බෙදීම හේතුවෙන් නිර්මාණය වී තිබෙන සාමාජීය හා සංස්‌කෘතික තත්ත්වයයි. 

ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය යන වදන ගොඩනැගී ඇත්තේ ඉංගී්‍රසි Gender පාදක කරගෙනයි. ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය අර්ථ දැක්‌වීමේ දී සමාජ පිළිගැනීම නැමැති සාධකය ඉතා වැදගත් වනවා. දැන් ඔබ විමසූ ප්‍රධාන ප්‍රශ්නයට මා පිළිතුරක්‌ දෙන්නම්. විශ්වවිද්‍යාලයයේ ආචාර්යවරයකු ලෙස හා පරිපාලන නිලධාරියකු ලෙස අත්දැකීම් ඇතිs පර්යේෂකයකු වන මගේ වැටහීම අනුව නම් ලංකාව තුළ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දී ස්‌ත්‍රියක වීම නිසා කවුරුන් හෝ අගතියට මුහුණ දෙන්නේ නැහැ. සමහර රටවල උසස්‌ අධ්‍යාපන ආයතනවල එහෙම තත්ත්වයක්‌ තිබෙන්නට පුළුවන්. එහෙත් අපේ රටේ එහෙම දෙයක්‌ නැහැ. අප රටේ කාන්තාවන්ට සමාන හිමිකම් (Equal Rights) තියෙනවා. විශ්වවිද්‍යාලවල පවා උසස්‌ තනතුරු දරන කතුන් ඕනෑ තරම් සිටිනවා.

හැබැයි සමහර ක්‍ෂේත්‍රවල කාන්තාවන් අඩු වැඩි වීම නිසා කෙනකුට වැරැදි වැටහීමක්‌ අති වන්න පුළුවන්. මොකද සමහර කාර්¨යයන් හෝ විෂය ක්‍ෂේත්‍රවලට කාන්තාවන් අඩුවෙන් තමයි යොමු වන්නේ. සමහර ඒවාට වැඩියෙන් යොමු වෙනවා. ඔබ ම සඳහන් කළ පරිගණක හා තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු අංශවල අඩු කාන්තා සහභාගිත්වයක්‌ ඇත්නම් ඒ පුරුෂයන් ගෙන් සිදු වූ අගතියකින් වූවක්‌ නො වෙයි. එයට බලපාන්න ඇත්තේ වෙනත් හේතු. ශිෂ්‍ය මට්‌ටමේ දී හෝ ආචාර්ය මට්‌ටමේ දී පිරිමි පාර්ශ්වයෙන් කාන්තාවන්ට විෂය තෝරාගැනීමට අදාළව අනිසි බලපෑමක්‌ කෙරෙන්නේ නැහැ නේ. සමහර වෙලාවට ගැහැනු ළමයින් ඒ විෂයන්ට යොමු නො වන්නේ ඒ අය ගේ අකැමැත්ත නිසා. සමහර වෙලාවට ගෙදරින් ඇති වන බලපෑමක්‌ මත තෝරාගැනීම කරන්න නො කරන්න ඉඩ තියෙනවා. හැබැයි කාන්තාවන්ට කළ හැකි වැඩ තියෙනවා. කරන්න තරමක්‌ අමාරු වැඩ තියෙනවා. මේ දේවල්වලට සමාජ පිළිගැනීමත් යම් තරමකට බලපානවා. 

ස්‌ත්‍රිය මේ මේ විදිහට හැසිරෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ කියලා සමාජය තුළ පිළිගැනීමක්‌ තියෙනවා. එය සමාජ ගොඩනැංවීමක්‌ (Social Construction) ලෙස හැඳින්විය හැකියි. ස්‌ත්‍රිය අඳින්න ඕනේ ගවුම හෝ සාරිය. නැත්නම් රෙද්ද හැට්‌ටය. ස්‌ත්‍රිය ඇග වැඩිය නො පෙනෙන පරිදි අඳින්න ඕන කියන පිළිගැනීම පවතිනවා. පිරිමියා සරම කලිසම කමිස වේට්‌ටි අඳිනවා. පිරිමියා ඕන නම් උඩු කය විවර කරගෙන සිටිනවා. ස්‌ත්‍රිය කථා කරන්නේ මෘදු ව. පිරිමියා ඊට වෙනස්‌ විදිහට කතා කරනවා. දෙගොල්ල අඳින පළඳින ක්‍රම වගේ ම විලාසිතාත් වෙනස්‌. ගැහැනුන් තොල් නිය පාට කරනවා. පිරිමින් එහෙම කරන්නේ නැහැ. පැවරෙන කාර්යයන් වෙනස්‌. ගෙදර දොර වැඩ, දරුවන්a බැලීම, ඉවුම් පිහුම් ගැහැනිය කරනවා. ගේ අතුගාන්නේ බිරිය හෝ දුව මිස පුතා හෝ තාත්තා නො වෙයි. තාත්තා ගෙදර ඉපයීම කරනවා. ආරක්‌ෂාව සපයනවා. මේ විදිහට කාර්ය බෙදී යැම නිසා සමාජ ප්‍රගමනය ඉතා හොඳට සිදු වුණා. මේ විදිහට දෙපිරිසක්‌ විදිහට ගමන් කිරීම නිසා සමාජ වර්ධනය අවුලකින් තොර ව සිදු වුණා. එතෙන දි අසාධාරණයක්‌ වුණේ නැහැ. සමාජ පිළිවෙළ පවත්වාගෙන සමාජය ඉදිරියට ම ගියා. 

හැබැයි දැන් පිළිවෙළ අවුල් වෙලා. විකාරයක්‌, විකෘතියක්‌ ගොඩනැෙගන බව පෙනෙනවා. ඉස්‌සර ගැහැනුන් විතර නේ ඇහිබැම ගෑවේ. නිය පාට කළේ. දැන් පිරිමිත් ඒ දේ කරනවා. කොණ්‌ඩය ටින්ට්‌ කළ, ගැහැනු විදිහට කොණ්‌ඩය වවාගත් පිරිමි දැන් දැකගත හැකියි. පිරිමින් විදිහට අඳින පළඳින හැසිරෙන ගැහැනුත් දැකගත හැකියි. මේ විදිහට වෙනස්‌ වී ගිය හොත් අවුලක්‌ විකෘතිsයක්‌ ඇති වනවා තමයි." 

ජාතික විද්‍යා පදනමෙහි මුල් පුටුව හොබවන්නේ ද කාන්තාවකි. මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු ඒ කාන්තාවයි. 

ශ්‍රී ලංකාවේ විද්‍යාඥ ප්‍රජාව තුළ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව යම් අගයක්‌ පවතින්නේ ද යන්න ගැන විමසීමට අපි ඇය සම්බන්ධ කර ගතිමු. 

"ජාතික විද්‍යා පදනම මෑතක දී ව්‍යාපෘතියක්‌ ඇරඹුවා "Women In Science" කියා. එය ආරම්භ කළේ පර්යේෂණවල නියෑළී සිටින කතුන් සවිබල ගැන්වීමටයි. එහෙම ව්‍යාපෘතියක්‌ පටන් ගන්නෙ ම ස්‌ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව අගතීන් පවතින නිසයි. හැබැයි මීට හේතුව පුරුෂාධිපත්‍යය කියා මා පවසන්නේ නැහැ. හැබැයි යම් ප්‍රශ්න තිබෙනවා. උසස්‌ තනතුරුවලට අදාළ හා තිරණ ගැනීම් තත්ත්වවලදී ප්‍රශ්න තිබෙනවා. විද්‍යා ක්‌ෂේත්‍රයට අදාළ මණ්‌ඩලවල සංයුතිය සැලකුව හොත් පිරිමි ප්‍රතිශතිය වැඩියි. හැබැයි විශ්වවිද්‍යාලවලට ඇතුළු වන ගැහැනු ළමයි ප්‍රමාණය වැඩියි. ඉහළ තනතුරුවල කාන්තා ප්‍රතිශතය අඩුයි. විශේෂයෙන් ම දරුවන් ලැබීමෙන් පසු වැඩට යන කතුන්ට රාජකාරිමය ගැටලු ඇති වනවා. මේ දේවල් ගැන කතා නො කර හිටියොත් මේ තත්ත්වය කවදා වත් වෙනස්‌ වෙන්නේ නැහැ. මං හිතන්නේ මේ ගැටලුවලට හේතුව දිගු කලක්‌ තිස්‌සේ ඇති වූ සංස්‌කෘතික ගොඩනැගීම්. 

තුළ ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් අප හා අදහස්‌ දැක්‌වූ තවත් ලාංකීය විද්‍යාඥවරියක වූයේ විද්‍යා තාක්‌ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයයේ ව්‍යාපෘති විද්‍යාඥ වෛද්‍ය සචී පනාවල මහත්මිය ය. ඇයට අනුව මෙරට විද්‍යා පර්යේෂණ ක්‍ෂේත්‍රය තුළ යම් ආකාරයක අසාධාරණකම් ස්‌ත්‍රීන්ට සිදු වේ. මේ ඇගේ ප්‍රකාශයයි. 

"මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක්‌ නැහැයි කියන්න බැහැ. උපාධි අපේක්‌ෂකයන් වැඩි දෙනෙක්‌ ගැහැනු අය වුණත් පරිපාලන අංශය තුළ ගැහැනු අය අඩුයි. වගකීම් දෙන අය ස්‌ත්‍රීපුරුෂ සමාජභාවය (Gender) දෙස බලනවාට වඩා පුද්ගලයා දෙසයි බලන්නේ. හැබැයි අන්තිමේ දී අසාධාරණයක්‌ වෙලා තියෙන්නේ කාන්තාවටයි. එනිසා ඇත්තට ම ගැටලුවක්‌ එනවා. මගේ අදහසට අනුව නම් ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය යන්න තුළින් අර්ථකථනය වන්නේ ස්‌ත්‍රිය හා පුරුෂයා ජෛව විද්‍යාත්මකව වෙනස්‌ බවයි. එකෙක්‌ අනෙකාට වඩා උසස්‌ හෝ පහත් බවත් එයින් ගම්‍ය වන්නේ නැහැ. ඇත්තෙන් ම ප්‍රශ්නය ඇති වන්නේ කෙනෙක්‌ අනෙකාව පහත් කොට බලනවා නම් තමයි. ගැහැනු අය ගේ පසුගාමී ලක්‌ෂණ තියෙනවා යෑයි කියා ඇතැමුන් හිතෙනවා. මේ පසුගාමී ලක්‌ෂණ ඇත්තට ම පවතින දේ නො වෙයි. තීරණ ගන්න අය ගේ මනසේ තමයි මේ සිතුවිලි තියෙන්නේ. ගැහැනු අය ගේ මේ පසුගාමී ලක්‌ෂණ ඇතැයි සිතමින් ඔවුනට ලබා දිය යුතු තැන් ලබා නො දී සිටීම නිවැරැදි නැහැ. "

http://www.vidusara.com

Thursday, July 21, 2016

ඒ සත්‍යයට ගරු කරන්න

තවමත් දරුවන් නොලද, තිස් වයස් සපිරි විවාහක කාන්තාවකි. ඇගෙන් නිරතුරු මෙසේ විමසීම සමාජය සිය වගකීම කොටගෙන සිටියි.

“තාම බබාලා නැහැ නේද?”

දින දින ඇගේ පිළිතුරු විවිධාකාර වනු ඇති. නමුදු ඒ පසුපස වෑයමෙන් ඇතිකරගත් හික්මීමක් සමගින් අපහසුවෙන් මුවට නංවා ගත් සිනහවක් තිබෙනු ඇති.

“නැහැ... තාම නැහැනේ” ඇය දිනපතා තමන් පත්වන මේ අපහසුතාව සඟවමින් සිනාසී පවසනු ඇති.

“අපො අපෝ. දැනටත් පරක්කු වැඩියිනේ. දන්නවානේ මේ බලල මේ බලනකොට කාලේ ගිහින් ඉවරයි. ඔයාට තේරෙනවානේ මං කියන දේ!” තමන් ඇයට ලබා දුන් ඉතාමත් වැදගත් වූ දැනුම් සම්භාරය ගැන බොහෝ සතුටට පත්වන ඒ මහ දැනුමැත්තා පිටව යයි. ඇය මද සිනාවකින් මුව සරසාගෙන ඒ සමුගැනීම දෙස බලා සිටියි. ඉන් ඉක්බිති ව තනිව කඳුළු සලයි.

ඇය හඬන්නේ,

සිව් වරක් ගැබ් ගෙන ඒ හැමවරම ගබ්සාවන් වූ නිසාය.

දරුවෙකු වෙනුවෙන් මංගල රැයේ සිට ම බලාපොරොත්තු මල් පූදාගෙන සිටියත් ඒ මල් ඵල නොගැන්වී පස් වසරක් ම ඉකුත් ව ඇති නිසාය.

ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමගින් එක්ව දරුවන් උපදවමින් සිටින නිසාය.

නළ දරු උපතක් වෙත යාමට උවමනා වුවත් මූලික පිරිවැයවත් දරා ගන්නට නොහැකිව ඇති නිසාය.

නළ දරු උපත් සඳහා කිහිප වාරයක් ම උත්සහ දැරුවත් එය අසාර්ථක වූ නිසාය.

ඇගේ හොඳම මිතුරිය ඇය වෙනුවෙන් දරුවෙකු උපද්දවා දෙන්නට සූදානම් නැති නිසාය. “අපොයි මං කොහොමද එහෙම දෙයක් කරන්නේ?” මිතුරිය අසන්නීය.

වෙනත් අසනීප සඳහා ගන්නා ඖෂධ ගැබ් ගැනීමෙන් ඈ වළකන නිසාය.

මේ එකක් හෝ බොහොමයක් කාරණා එකට ගැටී ඇගේ විවාහ දිවිය දෙදරවමින් සිටින නිසාය.

වෛද්‍යවරයා තමන් සෞඛ්‍යය සම්පන්න යැයි පැවසූවත් ගැටළුව ඇත්තේ තමන් තුල බව ඈ දන්නා නිසාය.

නිතර දෙවේලේ තමන්ට ම දොස් පවරා ගනිමින් සිටින ස්වාමියා එකට දිවි ගෙවන්නට අපහසු වන තරමේ පුද්ගලයෙකු වෙමින් සිටින නිසාය.

ඇගේ සියලුම සොයුරියන්ට දරුවන් සිටින නිසාය.

ඒ අතර දරුවන්ට කිසිසේත් ම කැමැත්තක් නොදක්වන කෙනෙකුත් සිටින නිසාය.

ඇගේ හොඳම මිතුරිය ගැබ්ගෙන සිටින නිසාය.

“මොකද දරුවෝ තවත් බලාගෙන ඉන්නේ”යැයි ඇගේ මව් අසන නිසාය.

ඇගේ ස්වාමියාගේ දෙමව්පියන්ගේ නොසංසිඳුනු බලාපොරොත්තුව නිසාය.

යාබද නිවැසියන්ට නිවුන් දරුවන් ලැබීත් ඒ දරුවන්ට දක්වන අඩු සැලකිළි නිතර නෙත ගැටෙන නිසාය.

දහසය වියැති තරුණියන් පවා කිසිඳු උත්සහයකින් තොරව ම ගැබ් ගන්නා හැටි නිතර සවනත වැටෙන නිසාය.

තමන් ඉතාමත් හොඳ නැන්දනියක ව සිටින නිසාය.

කාලයක් තිස්සේ තමන්ට උපදින දරුවන්ට තබන්නට නම් පවා එකතු කරගෙන මග බලාගෙන සිටින නිසාය.

දරුවන් වෙනුවෙන් මග බලාගෙන ඉන්නා හිස්, පාළු කාමරයක් සිය නිවසේ තිබෙන නිසාය.

දරුවෙකු වෙනුවෙන් මග බලාගෙන ඉන්නා හිස්, පාළු ඉඩක් සිය සිරුරේ තිබෙන නිසාය.

දරුවෙකු වෙනුවෙන් දෙන්නට බොහෝ දේ ඈ සතු වන නිසාය.

ඔහු ඉතාමත් යහපත් පියෙකු වනු ඇති නිසාය.

තමන් ඉතාමත් යහපත් මවක වනු ඇති නිසාය.

නමුත් තවමත් එය සිදු වී නැත...

*******

මේ අතරතුරේ තවත් තැනක තිස් හතර වියැති පස් දරු මවක වෙත සමාජය මේ ලෙස සිය බැල්ම යොමු කරමින් සිටියි.

“පහක් ඈ? මගේ දෙයියනේ මොන තරම් බරක්ද? මං හිතුවේ ඔයා ඒක කරගෙන හිටියේ කියලා” ඉන් අනතුරුව කොක් හඬලා නැගෙන සිනාවකි. මක් නිසාද යත් ස්වභාවයෙන් ම ඒ ආකාර අදහස් හාස්‍යය මවන නිසාය. ඇයත් සිනා නගයි. නමුදු ඇතුලාන්තයෙන් ම නොවේ. අනතුරු ව වහා පුරුදු පරිදි මාතෘකාව වෙනස් කරන්නට වග බලා ගනියි. වෙනත් දිනකදි, වෙනත් තැනකදි, ඈ තනිව කඳුළු සලයි.

ඇය හඬන්නේ,

තවත් ගැබක් ඈ දරා සිටින අතරේ ඒ සතුට සඟවන්නට සිදුව ඇති නිසාය.

ලොකු පවුලකට තමන්ගේ හිතේ බලවත් කැමැත්තක් තිබියදී සමාජය එය මහ කරදරයක් ලෙසින් දකින්නේ මන්දැයි වටහාගත නොහැකි නිසාය.

පවුලේ තනි දරුවා වූ තමන් හැමදාමත් කිසිසේත් ම ඉවත් කළ නොහැකි හුදෙකලාවක් අත්විඳින නිසාය.

දරුවන් දොළොස් දෙනෙකුගේ මවක වූ ඇගේ මිත්තණිය මෙන් ප්‍රීතිමත් මවක වන්නට තමන්ට ඇති උවමනාව අන් අයට නොවැටහෙන නිසාය.

සිය දරු කැල නොමැති දිවියක් සිතා ගැනීමටවත් නොහැකිව ජීවත් වන අතරේ සමාජය ඒ ආදරණීය දරුවන් තමන් ලද දඬුවමක් ලෙසින් දකිනා නිසාය.

අනුකම්පාවට ලක්වීමේ කිසිඳු උවමනාවක් නොවුණු නිසාය.

මේ ‘ඇයට අවශ්‍යය දේ නොවේය’ යන උපකල්පනයේ සමාජය සිටින නිසාය.

තමන් කිසිඳු වගකීමක්, සැලකිල්ලක් නොමැති කෙනෙකු ලෙසින් සමාජය උපකල්පනය කර ඇති නිසාය.

තමන් විපිළිසරව ඇතැයි සමාජය සිතාගෙන සිටින නිසාය.

සමාජය තමන් ව වරදවා වටහාගෙන ඇතැයි ඇයට දැනෙන නිසාය.

තමන්ගේ සිතැඟියාවන් වෙනුවෙන් සමාජය ඉදිරියේ සටන් කරන්නට සිදුවී තිබෙන නිසාය.

ඔවුන් දෙපළ ඉතාමත් හොඳ දෙමව්පියන් ව සිය පවුල මනා ලෙස පවත්ගෙන යත්දීත් ඒ පිළිබඳ නිවැරදි වැටහීමක් සමාජයට නොවන නිසාය.

මේ ආකාර හාස්‍යයජනක අදහස් පළ කිරීම් ඉදිරියේ ඇය වෙහෙසට පත්ව සිටින නිසාය.

තමන් මෙන් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නට අන් අයට නොහැකි ව ඇති නිසාය.

අන් අය තමන්ගේ වැඩක් බලාගෙන සිටිනු ඇතැයි නිතර දෙවෙලේ ඇය ප්‍රාර්ථනා කරන නිසාය.

විටෙක තමන් පිළිබඳව ම පුදුමයට පත්ව දරු දෙදෙනෙකුගෙන් නවතින්නට තිබුණා නේදැයි වරින් වර සිතෙන්නට වන නිසාය.

විවේචන කරන්නට ඉදිරිපත්වන තරම් ඉක්මනින් උදව්වක් කරන්න ඉදිරිපත්වන කෙනෙකු නැති නිසාය.

මේ සුපරික්ෂාකාරී ඇස්වලින් වෙහෙසට පත්ව ඇති නිසාය.

තමා ප්‍රදර්ශන භාණ්ඩයක් නොවන නිසාය.

මේ සමාජයේ අණක් ගුණක් නැති මිනිසුන් නිසාය.

ඇගේ පුද්ගලික ජීවිතය පිළිබඳව බොහෝ දෙනෙකුට පළ කරන්නට බොහෝ මත ඇති නිසාය.

ඉතාමත් සාමකාමීව ජීවත්වීම ඇයට ඇති එක ම උවමනාව නිසාය...

*******
වෙනත් තැනක හතලිස් වියැති එක් දරු මවකගේ ජීවිතයට සමාජය ඇඟිලි ගසන්නේ මේ ආකාරයෙනි.

“එක්කෙනයි?... තව දරුවෙක් දෙන්නෙක් හිටියොත් මොකද?”

“මේ දරුවා එක්ක මං බොහොම සතුටින් ඉන්නේ” දහස්වරක් සපයා ඇති පිළිතුර ඇය එවරත් සාමකාමීව සපයන්නීය. විශ්වාස කරන්න!, කවුරුත් නොහිතනා පරිද්දෙන් ඇය ද තනි වූ මොහොතේ හඬා වැටෙන්නීය.

ඇය හඬන්නේ,

ඇගේ එක ම පිළිසිඳ ගැනීම ආශ්චර්යයකින් මෙන් සිදූ වූවක් නිසාය.

ඇගේ දරුවා නංගියෙක් හෝ මල්ලියෙක් වෙනුවෙන් මග බලා සිටින නිසාය.

අඩුම තරමේ දරුවන් තිදෙනෙකුවත් ලැබීම ඇගේ සිහිනය වූ නිසාය.

ඇගේ ජීවිතය වෙනුවෙන් දෙවන පිළිසිඳ ගැනීමෙන් මිදෙන්නට වූ නිසාය.

තවත් දරුවෙකු පිළිබඳ ව සිතීම දැඩි අවධානම් තත්ත්වයකට යොමු වීමකැයි වෛද්‍යයවරයා පවසන නිසාය.

සිය එකම දරුවා රැක බලා ගැනීමට ද දැඩි අරගලයක නියුතු වන්නට සිදුව ඇති නිසාය.

තවත් දරුවෙකු ගැන සිතීමවත් ඇගේ සැමියාට සතුටක් නොවන නිසාය.

ඇගේ සැමියා මිය ගියායින් පසු, කිසිවෙකු ඇයට සෙනෙහසින් ලං නොවූ නිසාය.

ඇගේ පවුලේ උදවිය එක් දරුවෙකු පමණක් සෑහේ යයි සිතන නිසාය.

වෘත්තිය ජීවිතය තුල තමන් ගිලී ගොස් ඇති තරමට එයින් මිදී දරුවෙකු ගැන සිතීමට නොහැකි ව ඇති නිසාය.

තමන් ආත්මාර්ථකාමී යැයි හැ‍ඟෙන නිසාය.

පළමු දරු ප්‍රසූතියෙන් පසුවත් ඇගේ සිරුරේ බර අඩු නොවූ නිසාය.

පසු ප්‍රසව විෂාදියෙන් දැඩි ලෙස පීඩා විඳි නිසාය.

එම සිදුවීම් නැවතත් අත්දකින්නට සිතන්නටත් අපහසු නිසාය.

ගැබ් ගැනීම ඇගේ ශාරීරික සංකූලතා අවුස්සාලන නිසාය.

අතික්ෂුධාව (පාලනය කළ නොහැකි අධික ලෙස ආහාර ගැනීමේ උවමනාව) හා සටන් වදිමින් සිටින නිසාය.

කරන්නට සිදු වූ තීරණාත්මක ගර්භාෂ සැත්කම නිසාය.

ඇයට තවත් දරුවෙකු ලබන්නට හොඳට ම උවමනා වුවත් එය සිදු කළ නොහැකි නිසාය...

*******

මෙවන් දුකබර සිතුවිලි වලින් සිත් පුරවාගත් කාන්තාවන් ලොව සැම තැනම සිටි.

ඈ අපේ අසල්වැසියාය. මිතුරියය. සොයුරියය. අප සමග එක්ව සේවයෙහි නියුතු වන්නීය. අපේ ඥාති දියණියය.

අනවශ්‍ය අවවාද හෝ උපදෙස් වලින් ඇගේ මනස පුරවන්නට නොයන්න. ඒ ගර්භාෂය ඇයගේය. ඒ සත්‍යයට ගරු කරන්න.

ඉංග්‍රීසි බසින් රචනය
නදීරා ඇන්ගෙල්

පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

Wednesday, July 20, 2016

මින්දද හී සර වැදී සැ‍ලෙන හද...


‘සංයෝගය’ යන සුලකළකුරු මියුරු තෙපලෙහි සරල අරුත එක් වීම යනුය. එක් වනු පමණක්ම, පමණ නොවෙයි; ඒ එක් වීම මොනවට ගැළපෙන හොඳ එක් වීමක්ද විය යුතුය. එසඳ සංයෝගය ‘සුසංයෝගයක්’ බවට පත් වෙයි.

මෙසමයෙහි ඡේකයන් පමණටම දුහුනන් විසින්ද භාවිතයෙහි මෙන්ම අවභාවිතයෙහිද යොදනු ලබන ඒ අපූරු යෙදුම මගේ මතකයට ආවේ, එවදන සුභාවිතයෙහි යෙදුණු හා යෙදෙන අපූර්වතර අවස්ථා කිහිපයක් ගැන සඳහන් කරන්නට සිතුණු නිසාය.

අමරදේව - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

අමරදේව - අරීසෙන් අහුබුදු

අමරදේව - මහගමසේකර

මේ තුන් තැනෙහිම ඇත්තේ අපූර්වතර සුසංයෝගයකි. පණ්ඩිත් අමරදේවයන්ගේ තනුවත්, සංගීතයත්, ගායනයත් සමඟ මානවසිංහගේ, අහුබුදුගේ, සේකරගේ ගී පද රචනයක් එක් වන විට, එතැන ඇත්තේ සංයෝගයක් නොව සුසංයෝගයකි.

මෙතැන්හිදී අපට අමතක වන තවත් සුසංයෝගයක් වෙයි. ඒ, අමරදේව - මඩවල එස්. රත්නායක නම් වන සුසංයෝගයයි.

අමරදේව - මඩවල සුසංයෝගයටත් ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඒ ඉතිහාසය, අපේ ගුවන්විදුලියේ සෞභාග්‍ය සමය වූ ඉකුත් සියවසේ හැත්තෑ ගණන් - හැටගණන් තරම් වන ඈතකට දිවෙයි.

අමරදේවත් මඩවලත් සුසංයෝගි වන්නේ සිංහල සංගීතයෙහි - සිංහල සුභාවිත ගීතයෙහි - අතිශයින් තීරණාත්මක වූ සුවිශේෂ කඩඉමකදීය. එදවස දේශීය සිංහල සංගීතයක් ගැන පිඹුරුපත් සැකසෙමින් පැවති සමයක් විය.

අරීසෙන් අහුබුදු කවියා මෙසේ පවසයි:

“ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව යනු දේශීය සිංහල සංගීතය නමැති රන්දමේ මුල් පුරුක් තුනෙකි. බස පිළිබඳ දැනුම (භාෂාඥානය), රැස පිළිබඳ ඇල්ම (ජාත්‍යාලය), දෙස පිළිබඳ වැටැහුම (දේශීයත්වය), රස පිළිබඳ විනැණ (රස විඥානය) යන සිවු කරුණ සිංහල ගී ලොවේ අමරදේව සතු තැන ඔප් නැංවූ බව කිව යුතුය. මේ සිවු ගුණ එක් තැන් වීමේ පරම දුලබ වාසනාව අමරදේව කෙරේ වෙයි.”

(අමරදේව ප්‍රතිසංවේදය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

එකී පරම දුලබ ගුණැති නැණැති සංගීත ප්‍රාඥයා සිංහල ගීතයේ දේශීයත්වය සොයමින් සිටි අවධියේදීය, මඩවල රත්නායක නමැති කවියා සන්නිවේදකයා ඔහුට මුණගැහෙන්නේ. සැබැවින්ම කවියකුව සිටි මඩවල, ගේයපද රචකයකු බවට පත් වන්නේ අමරදේවගේ ආරාධනයත් මෙහෙයවීමත් හේතුවෙනි. එබැව් කිහිප වතාවක්ම මඩවලද ලියාද කියාද ඇත.

දේශීය වන සිංහල සංගීතයක් සොයා යන ගමනේදී අමරදේවටත්, දේශීය සිංහල ගීත කලාවක් සොයා යන ගමනේදී මඩවල රත්නායකට හමු වුණේ අපගේ ජනකවිය සහ ජනගීතයයි. ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට දේශීය සංගීත පර්යේෂණයක නියුක්ත වූ අමරදේව නමැති ප්‍රතිභාවත් සංගීතඥයාට, සිංහල ජනකවියත් ජනගීයත් පදනම් කරගෙන මඩවල රත්නායක විසින් පබඳන ලද, අනවශ්‍ය ආටෝපයෙන් තොර අවිදග්ධ ගීත රචනාවන් අපූර්ව උත්තේජනයක් ගෙන දුන්නේය. එහි ප්‍රතිඵලය වූයේ ගුවන්විදුලියේ ‘ජන ගායනා’ වැඩසටහනය. ඉකුත් දිනක අපගේ සාකච්ඡාවට බඳුන් වූ, මඩවල රත්නායකම ලියූ ‘රන්වන් කරල් සැලෙයි’ යන හිසින් ආ ගීතය, අමරදේවගේ ‘ජන ගායනා’ වැඩසටහන් මාලාවේ ආ මුල්ම ගීත ප්‍රබන්ධයකි. එකී මහරු ගේය පදය, තුරඟා වන්නම ඇසුරෙන් ලියන ලද බවද, ඒ ඇසුරෙන්ම සංගීතයට නඟන ලද බවද එහිලා අප විසින් මඳ වශයෙන් සාකච්ඡා කරන ලදි.

අමරදේව සමඟ සුසංයෝග වූ ගේය පද රචකයන් අතර, ජනකවියේත් ජනගීතයේත් මහරු තැන් මතු කොට පෙන්වූ ප්‍රමුඛ කවියා මඩවල රත්නායක බැව් සඳහන් කිරීම අපගේ නව සාහිත්‍යයටත් සංගීතයටත් නිහඬ සේවාවක් කළ ඒ උතුම් මිනිසාට පිරිනමන අනවශ්‍ය ප්‍රශංසාවක් ‍නොවේමැයි.

‘ජන ගායනා’ අතික්‍රමණය කරමින්, සිංහල සංගීතයේ දේශීයත්වය දෙසට තවත් පියවරක් ඉදිරියට තබන අමරදේවයන් ඉනික්බිති ගුවන්විදුලිය උදෙසා නිර්මාණය කරන්නේ ‘ස්වර වර්ණ’ නම් වූ අපූරු වැඩසටහනකි. අද අපගේ ප්‍රස්තුතය වන මඩවල රත්නායක කවියා ලියූ ‘මින්දද හීසර’ නම් වන රචනය, එකී වැඩසටහනෙහි මුල්ම නිර්මාණ අතරට ගැනෙන ගීතයකි. ඒ පිළිබඳව පණ්ඩිත් අමරදේව කරන විවරණයට දැන් සවන් දුන මැනවි:

“මඩවල රත්නායක ප්‍රබන්ධ කළ මෙම ගීතය, මුල්ම වරට මා ගායනා කළේ ගුවන් විදුලියේ ‘ස්වර වර්ණ’ වැඩසටහනකට. මෙම ප්‍රබන්ධය අතිශයින්ම ශෘංගාරාත්මක නිර්මාණයක්; ප්‍රේමායාචනයක විලාසයෙන් පබඳන ලද ගීතයක්. ඒ සඳහා රචකයා ආභාසය ලබා තියෙන්නෙ ප්‍රශස්ති නිර්මාණවලින් බව ඉතා පැහැදිලියි.

‘බන්දා මින්දද මද අරවින්දා සරලා සර යානේ

කැන්දා වර පැරකුම් නරනින්දා සකිසඳ හඳපානේ...’

“සංගීත නිර්මාණයේදීත් මා ප්‍රශස්ති ආභාසය නොමඳව ලැබුවා. ඒ නිසා මේ ගීයේ භාවිතා වන්නෙ ශුද්ධ ස්වර පමණයි; කෝමල ස්වර කිසිවක් ඇත්තේ නැහැ. මේ ගීතය, එය බිහි වුණු මුල් කාලයේදී අතිශයින්ම ජනප්‍රිය වුණු ගීතයක්. මා හිතන්නේ අපගේ ජන සංගීතයේ ඇසුර හේතු කොටගෙන එසේ වන්ට ඇත කියා. මින්දද හී සර ගීතයේ තනු සකස් කරගත්තේ, ඒ ස්වර රූපයෙන්. මගේ කුඩා ඩෝල්ෆින් කාර් එකේ ගුවන්විදුලියට යන අතරමඟදී තමයි, ගීතයේ තනුව නිර්මාණය වුණේ. ගෙදර ඉඳලා ගුවන්විදුලියට එන කොට තනුව හැදිලත් ඉවරයි.”

(IAS හෙවත් ‘ඉන්ටර්නැෂනල් ඇඩ්වර්ටයිසින් සර්විසස්හි’ මා වැඩ කළ කාලයේදී, මේ පුංචි ඩොල්ෆින් රථයේම නැඟී කොළඹ නගරයේ නෙතැන සරමින් අමරදේවත් සමඟ කවි-සින්දු ගැන නිදහසේ කතාබස් කළ අයුරු සඳහන් කිරීම, මෙතැනට කිසි සේත්ම අදාළ නැති නමුත්, නොකියා බැරිය!)

මඩවලගේ ගීතයෙහි සංගීත නිර්මාණය කළ අයුරු පහදමින් අමරදේව, තවදුරටත් මෙසේ ද පවසයි:

“මෙම ගීතයේදී බසේ ගීතාත්මක ලක්ෂණ අනුවයි සංගීත නිර්මාණය යෙදෙන්නෙ. සංගීතය, බසේ ගමන අනුකරණය කරනවා. ඒ අනුව තමයි, රචනයේ බස ස්වරවලට නැඟෙන්නෙ. ... මෙම ගීත නිර්මාණයේ එක් විශේෂ කාරණයක්, ගීතයේ සමුච්චිත ඵලය කෙරෙහි විශේෂයෙන් බලපා තිබෙනවා. ඒ තමයි, රචකයාගේ නිර්මාණය තුළින් බිහි වන චිත්තරූපය හෙවත් පද චිත්‍රය. මඩවලගේ බොහෝ රචනාවල අපූර්වාකාරයෙන් ඉස්මතුව පෙනෙන චිත්තරූපය මෙහිලාද මොනවට දැකගන්ඩ පුළුවනි. සැබෑවත් මායාවත් මිශ්‍ර කරගෙන නිර්මිත එකී පද චිත්‍රය හේතු කොට ගෙන, සංගීත නිර්මාණය සජීවි හැඩයක් ගන්නවා.”

පණ්ඩිත් අමරදේව නිවැරදිවම තේරුම්ගත් ආකාරයට මඩවල රත්නායකගේ මේ ගීතය පද චිත්‍රයකි. ඒ පද චිත්‍රය, රචකයා විසින් ඇඳ ඇත්තේ සැබෑවත් මායාවත් සමෝසමව මිශ්‍ර කොට ගෙනය. අපේ ජනකවියේත් ජනගීතයේත් ඇත්තේ සැබෑවේත් මායාවේත් සම්මිශ්‍රණයක් නොවන්නේද? මෙකරුණ මොනවට වටහාගත් මඩවල රත්නායක, ස්වකීය ගේය පද රචනය නිමවන්නේ, සහෘදයාගේ මනස කිසියම් පමණකට මායාව තුළද රඳවා ගනිමිනි. ‘තුරඟකු පිට නැඟි නීල වලාකුළු’ මත නැඟි සහෘදයා එකී මායා ලෝකයට පිවිසවිය හැකි වන්නේ රචකයා මවන චිත්තරූපයේම ඇති මායා ගුණය නිසාය.

ගී පද රචනයේත්, සංගීතයේත් ඇති අපූර්වතම සුසංයෝගය අමරදේවගේ භාවපූර්ණ ගායනයෙන් මොනවට පැවසෙනු අරුමයක් නොවෙයි. එතෙකුදු වුවත්, කවියක් හැටියටත්, යළිදු ගේයපදයක් හැටියටත් මේ නිර්මාණ තීව්‍ර වන්නේ අපගේ ජන ගීතය පාදක කරගන්නා ශබ්ද රස මාධුර්යය නිසාය. මුළු රචනාව පුරා ඇති ඒ ශබ්ද මධුරතාව වඩාත් ම ඉස්මතුව පෙනෙන්නේ, රචනයේ මුල් අඩෙහි වන අනුප්‍රාස බාහුල්‍යය හේතු කොට ගෙනයි. මින්දද හී සර, නංවන දුක් ගී - චන්දන මල් අතුරා, කන්ද කපා පායන්... වැනි තැන් විමසුව මැනවි.

රචනය තුළ සපුරාම ඇති ගේයතා ගුණය, අමරදේවගේ අපූර්වතර සංගීත නිර්මාණයටත්, භාව පූර්ණ ගායනා ලීලාවටත් උත්තේජනයක් වූ වග අමුතුවෙන් කිව යුතු නැත.

සම්භෝගයටත් වඩා, විප්‍රලම්භයේදී ශෘංගාර රස ජනනය කරමින් යුද වදින අංගයා හෙවත් මින්දදයාගේ හී සර පහරින් හද දැදුරු වන පමණටම අමරදේවයන් කරන ගායනය ඔබටත් ඇහෙන්නේ නොවේද? 
 
ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ- Courtesy by - Silumina

Thursday, July 14, 2016

උණුහුම 2

අාරාධනා....................

නෙතඟින් ගෙනා සන්සාරේ සිහිනේ දෙහද යා කළා

හංඟා ගෙනා මල් අතුරලා
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා...........................

ඔය දෙකපුල් තෙමා රත් නාදළු සිබින්

මම දෙනුවන් වසා නුඹ අහසින් වඩින්
සන්සුන් සිතින්, පෙර මඟ ඉමි බලන්
මගෙ රණ හංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඹ මට අත වනන්
මගෙ පතිනියනි ආදරෙයි නෙ මා............................

හුස්මත් උණුයි, කඳුළුත් අඩයිමට ඉන්න බෑ හරිම පාළුයි

මතකය නුඹයි, එතකොට දුකයි
දිවිගෙවෙන වාදෝ හරි සැකයි
මේ කුළු මතින් රිදී ඉර නුඹයි
මම දන්නවා නුඹ නොයනා හැඩයි...........................

සන්සුන් සිතින්, පෙර මඟ ඉමි බලන්

මගෙ රණ හංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඹ මට අත වනන්
මගෙ පතිනියනි ආදරෙයි නෙ මා.............................

Tuesday, July 12, 2016

First picture of Mr and Mrs Dahiya revealed

TV actor Divyanka Tripathi, who got married to her Yeh Hai Mohabbatein co-star Vivek Dahiya on Friday night in Bhopal, has finally shared the first pictures of ‘Mr and Mrs Dahiya’.

Sharing the first picture of the newly-weds, Divyanka posted on her Facebook, “#Happily Married. #Mr. N Mrs. #Dahiya.”

Sharing yet another image from her wedding, Divyanka wrote on her Instagram account, “This is it! #MrsDahiya”.

Divyanka and Vivek tied the knot in a traditional wedding ceremony in Divyanka’s home town Bhopal in the presence of family and close friends. While Divyanka looked stunning in a resplendent red-and-gold lehenga, complete with heavy gold jewellery, the 31-year-old groom opted for an emobroided golden-maroon sherwani.

Pictures of the wedding were shared by the official Instagram account of TV show Yeh Hai Mohabbatein.

The newly-weds will host a reception in Chandigarh and later a party in Mumbai for their industry friends. The couple earlier shared pictures from their pre-wedding functions including sangeet, haldi and mehendi.

Hindustan Times